භාවනාව ජීවිතේට අති සාර්ථක විසඳුමක් කියන්නෙ ඇයි?
ඇයි අපි භාවනා කරන්නේ ?
භාවනාව කියන්නෙ එදිනෙදා ජීවිතයේ දී ඇතිවන ආයාසයන් සමනය කළ හැකි මානසික ව්‍යායාමයකි. නිවසේ හෝ රැකියා ස්ථානයේ අප ගත කරන ජීවිතය හිත්තැවුල්, භේදවීම, දෙගිඩියාවෙන් බලාපොරොත්තු සුන්වීම් හා අසහනයන් ආදියෙන් ගහන වූ විට මේහා ඒකාත්මික විය හැකිය.
නාගරික හෝ කාර්මික පරිසරයක ජීවත් වන අය හට ආතතිය (මානසික පීඩන) තදින් බලපාන දෙයක්.
කළබල රහිත වේලාවන්හිදී පවා අපගේ මනස තුළ දොම්නස් භාවය, තනිකම හෝ බිය ආදිය ඇති වන්නට පුලුවන්.
බලාපොරොත්තු රහිත ප්‍රශ්න පැන නගින අවස්ථාවන්හි දී අපගේ ජීවිතය මහත් ගැටලුවක් සේ දිස් වීමට බොහෝ ඉඩ තියනවා.
තමන් භාවනාව පුරුදු පුහුණු කිරීමෙන් මෙම හිරිහැරදායක අවස්ථාවලින් සිත වෙහෙසට පත් නොවී තබාගත හැකිවෙනවා පමණක් නොව ජීවිතයේ දුක සැප හෝ කුමන ආකාරයේ තත්ත්වයකට වුවද ඉවසීමෙන් සහ සතුටින් මුහුණදීමට හැකිවනවා.
ඔබේ වයස හෝ වෘත්තීය කුමක් වුවත් භාවනාව මගින් ඔබේ ජීවිතයට යහපතක් උදාකර ගන්නට පුලුවන්. දවසේ බොහෝ වේලාවක් වෙහෙස මහන්සි වී රාජකාරියෙහි නියුතු වුවත් දිනකට සුළු වේලාවක් වුවත් භාවනාවේ යෙදෙන්නේ නම් ඔවුන්ගේ මනස සැහැල්ලු වෙනවා. ඒකාකාරී ක්‍රියාවන්හි නිරතවීමෙන් නීරස සහ අසහනකාරී භාවයට පත්වන මනස එම තත්ත්වයෙන් මුදවා ගැනීමට භාවනාව මහෝපකාරී වනවා.
වයෝවෘධ හා රෝග පීඩාදියෙන් පෙළෙන අයට, ඒ නිසා ඇතිවෙන නොයෙක් අපහුතාවයන් සහ බිය, භාවනාව නිසා දුරුවේ.
සිසුනට ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමෙන් තම අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමටත්, භාවනාව උපකාරී වේ. ගෘහ ජීවිතය, වෘත්තීය කටයුතු සහ සමාජයීය සබඳතා ඉතා සතුටුදායක තත්ත්වයකට පත්කර ගත හැකිය. භාවනාවේ යෙදීමෙන් මනසේ ස්වභාවය ශක්තිමත් වන බැවින් ශාරීරික හා මානසික දුර්වලතාවයන් නැතිකර ගත හැකිය. සැහැල්ලු මනසක් ඇති තැනැත්තාට ඉතා සුවදායක නින්දක්ද ලබන්නට පුලුවන්.
සමස්ථයක් වශයෙන් ගත් කළ භාවනාව තුළින් ඉතා ඵලදායී මෙන්ම තෘප්තිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගොඩනගා ගත හැකිය. එපමණක් නොව භාවනා කරන තැනැත්තාට තම නුවණ දියුණුවීම හේතුවෙන් ලැබෙන පී‍්‍රතියට සමාන තරම් පී‍්‍රතියක් කිසිදු අන් ක්‍රමයකින් අත්කර ගත නොහැකිය.
භාවනාව යනු කුමක්ද ?
මෙලොව ජීවත් වන සෑම කෙනෙකුටම පින උපකාර වන බවත්, පින් ඇත්නම් ජීවිතයේ සැප ළඟා කර ගත හැකි බවත් අප තථාගතයානන් වහන්සේගේ ඉගැන්වීමයි. පින් වැඩෙන පහසු ක්‍රමයකි භාවනා කිරීම. ඉතා දුෂ්කර දෙයක් සේ සලකා සමහරු එය නොකරති. සමාජය අතහැර දමා ජීවිතය ගැන කළකිරීමක් හෝ සිත් තැවුලක් ඇති වූ විටක, බාහිර උපද්‍රවයන් ගෙන් මිදී, ගසක් යටට වී කරන මහා අමාරු වැඩපිළිවෙළක් ය යන හැඟීම නිසා බොහෝ දෙනා මෙයට බිය වෙති. ජීවිතයෙන් පලායෑමකැයි සිතති. නමුත් එය එවැනි දෙයක් නොවේ. ජීවිතය සමඟ සම්බන්ධ කර ගත හැකි, කරගත යුතු දෙයකි. භාවනා කිරීමෙන් ජීවිතය මනා ලෙස හැඩ ගැසේ. බුදුපියාණන් වහන්සේගේ භාවනා ක්‍රම මගින් සහනදායී සැපවත් ජීවිතයක් උදාකරගත හැකිය.
මෙලොවට ජනිත වන ඕනෑම සත්වයෙකුට ජීවත් විය හැකිය. එම ජෛව ශක්තිය සෑම සත්වයෙකුටම උපතින්ම උරුම වන දෙයකි. ජීව ශක්තිය අතින් බලන විට මනුෂ්‍යායාත් අනිත් සත්වයාත් අතර කිසිදු වෙනසක් නැත. මනුෂ්‍යයා හා සත්වයා අතර ඇති එකම වෙනස නම් පරිණත වූ සිතක් මනුෂ්‍යයාට උරුමව තිබීමයි. මනුෂ්‍යයාට මේ සිතම තවදුරටත් දියුණු කර ගැනීමේ හැකියාව තිබේ. මෙලොව බුදු කෙනෙක් පහළ වන්නේ අපේ මනස දියුණු කර දෙන්නයි. මනස දියුණු කර ගන්නා ආකාරයට “භාවනාව කියලා කියනවා.”
සිතෙහි ස්වභාවය හා භාවනා ක්‍රම
අපි රාත්‍රී කාලයක ජනෙල් දොරවල් ඇර ඇති කාමරයක ඉටිපන්දමක එළියෙන් පොතක් කියවීමක් වැනි යම්කිසි කාර්යයක යෙදී සිටිනවා යැයි සිතමු. සුළඟට මේ ඉටිපන්දමේ දැල්ල සෙලවෙනවා. අපේ වැඩේ කිරීමට මෙය බාධාවකි. දැල්ලේ සෙලවීම නතර කළහොත් අපට හොඳ ආලෝකයක් ලැබෙනවා. එමෙන්ම අපේ සිත් නිතරම සැලෙමින් පවතිනවා. සිත එක්තැන් කරගත හොත්, හැඩ ගස්වා ගතහොත් ඉන් ජීවිතය ආලෝකමත් කර ගන්න පුළුවන්.
අපි බලමු මේ සිත සැලෙන්නේ ඇයි කියා. මනුෂ්‍යයාගේ ඇස, කන, නාසය, දිව හා ශරීරය යන පංච ඉන්ද්‍රීයන් (නම් වූ දොරටු) විවෘතව තිබෙන නිසාය. මේ සැලීම සිදුවන්නේ. මේ දොරටු පහ හැකි තරම් වසා ගැනීමට, සංවර කර ගැනීමට පුරුදු වුවහොත් සිතෙහි සැලීම අඩුවෙනවා. බුදුන් වහන්සේ මේ සිත එක්තැන් කර ගන්නා ආකාරය, ඉන්ද්‍රියන් සංවර කර ගන්නා ආකාරය, නොයෙක් ආකාරයෙන් දේශනා කර තිබෙනවා. මෙය සරළ අභ්‍යාසයේ පටන් ඉගැන්වෙන ගැඹුරු විද්‍යාවක්. මෙය හොඳින් ඉගෙන ගතහොත් ජීවිතයේ කොයි අවධියක වුවත් උපරිම ප්‍රයෝජන ගත හැකියි.
සිත සකස් කර දියුණු කර ගැනීමට ඉවහල් වන ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම දෙකකි. එනම්, සමථ භාවනා, විපස්සනා (විදර්ශනා) භාවනා වශයෙනි. සමථ භාවනා මගින් කෙරෙනුයේ සිත එකතැන් කර ගැනීමක් නැතහොත් සිත තැනපත් කර ගැනීමක්. විදර්ශනා භාවනාව මගින් අපේ දුර්වලකම් ක්‍රම ක්‍රමයෙන් ඉවත් කර ප්‍රඥාව දියුණු කර ගැනීමෙන් දුක් නැතිකර ගැනීම සිදු කෙරේ.
සමථ භාවනාවේ මූලධර්ම කුමක්ද ?
සමථ භාවනාව මගින් සිත එකඟ කරගන්නේ කෙසේද ? අප විසින් කරන නිරන්තර ක්‍රියාව හුස්ම ගැනීමයි. ආශ්වාස ප්‍රශ්වාස කිරීම නිරායාසයෙන්ම සිදුවෙතත්, හැම විටම අපට එය දැනෙන්නේ නැත. එහෙත් ඒ සඳහා සිත යෙදුවහොත්, එම ක්‍රියව දැනේ. නිදාගෙන සිටි විට පංච ඉන්ද්‍රියත්, ඉන්ද්‍රියයන් නිශ්චලයි. ඊට හේතුව සිත ඉන්ද්‍රියයන්ට සම්බන්ධ නොවීමයි. සිතත්, ඉන්ද්‍රියත්, ඉන්ද්‍රියට ගෝචර අරමුණත් යන කාරණා තුන එක්කාසු වීමෙන්ය අපට දැනීමක් ම ඇතිවන්නේ . ඇස, කන ආදී සෑම ඉන්ද්‍රියයක් ම ක්‍රියා කරනුයේ මේ ක්‍රමයටයි.
රූපය, ඇස, සිත යන තුනෙහි එකතුවීමෙන් ම දැකීම නම් ක්‍රියාව ඇති වේ. ශබ්දය, කන, සිත යන තෙවදෑරුම් සම්බන්ධයෙන් ඇසීම සිදුවේ. හුස්ම හෝ ඇස මගින් ලැබෙන දැනීමක් ඔස්සේ සිත නැවත නැවත පවත්වා ගැනීමෙන් සිත එකඟ කරගත හැකිය. සමථ භාවනා ක්‍රම මේ ක්‍රමයෙන් බොහෝ දැකිය හැකිය. ආනාපානා සති භාවනාව ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව සිහිය පැවැත්වීම බොහෝ දෙනෙකුට අසන්නට ලැබීම නිසාත්, පහසුවෙන් කළ හැකි නිසාත්, එය ජනප්‍රියත්වයට පත් වී ඇත.
එහිදී කරනුයේ වාතයත්, නාසයත්, සිතත් අතර සම්බන්ධයෙන් ඇතිවන දැනීමම නොකඩවා පවත්වා ගනිමින් සිටීමයි. හුස්ම ගැනීම පිට කිරීම සිදුවන විට එය නාසයේ අගටත් උදරයටත් පහසුවෙන් දැනේ. එබැවින් නාසයේ අග හෝ උදරයේ චලනය (උස් පහත්වීම) අරමුණු කරගත හැකියි. වැදගත්කම තිබෙන්නේ ස්ථානයේ නොව සිත එක් අරමුණක පවත්වා ගැනීමට පුරුදු කර ගැනීම මතය. මෙය හොඳින් ඉගෙන ගතයුතු විද්‍යාවක් යැයි කීවේ එහෙයිනි.
සිත, ඇස සම්බන්ධ කරගෙන යම්කිසි පාටක් දෙස බලාගෙන හෝ මැටි දෙස හෝ ජලය දෙස හෝ ගින්නක් දෙස හෝ සුළගෙන් වැනෙන ගසක දල්ලක් හෝ බලාගෙන එම අරමුණම සිත තබා ගැනීමෙන් සිත එකඟ කරගත හැකියි. මේවා කසිණ භාවනා නමින් හඳුන්වනවා. මළ සිරුරක් හෝ ඇට සැකිල්ලක් දෙස බලා සිත එක්තැන් කළ හැකියි. මෙය අසුභ භාවනා නමින් හඳුන්වනවා. ආශා බහුලනයට මේ අසුභ භාවනාවෙන් සිත සංවර කරගත හැකියි. අසහනය හා දොම්නස් ඇත්තත්ට තමා හා සියලු සත්ත්වයන් සුවපත් වේවා යි සිතීම හොඳයි.
මෙම මෛතී‍්‍ර භාවනාවත් ජනපි‍්‍රය වී තිබෙනවා. මෙයින් අපට සමථ භාවනා ක්‍රම සම්බන්ධව පැහැදිලි මූලධර්මයක් සොයාගත හැකිය. එනම් අවශ්‍ය කරනුයේ එක් අරමුණක් මත නැවත නැවත සිත පිහිටුවා ගැනීමයි. එය ශරීරයේ ස්ථානයක් හෝ බාහිර ස්වාභාවික දැයක් හෝ යහපත් සිතුවිල්ලක් හෝ වූවාට කම් නැති බව පෙනේ.
ස්වභාව ධර්මයෙන් මෙසේ භාවනා අරමුණු කමටහන්ව රාශියක් සොයාගත හැකි බව පරීක්ෂා කරන්නෙකුට අමුතුවෙන් කිවයුතු නොවේ. හින්දු යෝගීන් ද නොයෙකුත් සමථ භාවනා ක්‍රම නිපදවා තිබේ. බෞද්ධ සමථ භාවනා ක්‍රම 40 කි. හුස්ම ගැනීමේ දී උදරයේ ඇතිවන චලනය දෙස සිතින් බලා හිඳීමෙන් සිත එකතු කර ගැනීමට නොහැකි යයි සමහරෙක් සිතනුයේ මෙම භාවනා ක්‍රමවල මූලධර්ම නොදැනීම නිසයි.
සැරියුත් හාමුදුරුවන්ගේ ගෝල හිමි නමකට බුදුන් වහන්සේ මලක් දෙස බලා හිඳීමට සැලැස්වූයේත්, චූල පන්තක හිමියන්ට රෙදි කඩක් පිරිමදිමින් බලා හිඳීමට සැලැස්වූයේත් පළමු කොට මේමගින් සිතේ එකඟවීමක් ඇතිවන බව බුදුන් වහන්සේ දත් බැවිනි.
සිත නොකෙලසවන, සිත් හි ශක්තිමත් භාවය වඩවන, අටලෝ දහමෙහි කම්පා නොවන ,නිවූ සිතක අයිති කරු හෝ අයිතිකාරිය වීමට භාවනාවේ ව්ටිනාකම වටහා ගැනීම තුලින්… ඔබේ ජය විජයක් කරනු ඇත.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood