බිනර පොහොයේදී තැබූ ප්‍රථම, උත්තම කාන්තා පියවර
එදවස රෝහිණී නදී තෙරෙහිදී තමන් හැරගිය කුමාරවරුන් පිළිබඳ බිඳුනු සිතින් , ශෝකයෙන් බරිතව සිටි භාර්යාවෝ තැන තැන කඳුලු සැලූහ. තමා කළ වරද කිම?
ස්වාමිවරු බුද්ධ ශාසනයට ඇතුලු වූ බව ඔවුන්ට ආරංචි වූ පසු තම වර්තමානය හා අනාගතය පිළිබඳ දැඩි අවිනිශ්චිත බවකින්ය ඔවුන් පසුවූයේ.
‘කතරට දිය බිඳක්’ මෙන් වූ කුඩා බලාපොරොත්තුවක් පතන කල එලෙස දුක්බරිත භාර්යාවෝ පන්සියයකට පෙර සිදුහත් උත්තමයාණන්ගේ සුලු මව්තොමෝ වූ මහා ප්‍රජාපතිය හමු විය.
දුකට හේතුව වන්නේ අල්වා ගැනීමයි, හැරගිය වුන්ද, හැර යන්නවුන්ද, අනාගතයේ හැර යා හැකි යයිද සිතන බියයි, තණ්හාවයි. තමන් කළ වරද භාර්යාවන්ට වැටහෙන්නේ දැන්ය. ඔවුහු බන්ධන ඇති කළහ.
තම තම සැමියන් එය වටහා ගන්නට ඇත. ඔවුහු නිවීම පිණිස පවතින මඟ වන බුද්ධ මඟට අවතීර්ණ වන්නට ඇත්තේ එබැවිනි.
” නිසේසා ඉමා භික්ඛු වේදනා, වුත්තමයා සුඛ වේදනා, දුක්ඛ වේදනා අදුක්ඛමසුව වේදනා”
අප මේ පවතින්නේ දුක යැයි සැප යැයි මධ්‍යගත ලොවක නොවේද? කොතරම් අවිනිශ්චිත රාමුවකද අප පසුවන්නේ? මේ දුක සැප නිසැකයෙන් ම වටහා ගන්නේ භික්ෂූන් නොවේද?
“ඉතින් අපිත් ඒ මඟ යමු” යැයි ප්‍රජාපති තොමෝ සෙසු වැන්දඹුවන් 500 කැටුව අදිටන් මඟකට පිවිසුණහ.
“කිඹුල්වතට තව ගව් කී දහසක් ද?” ගව්වෙන් ගව්ව සියුමැලි පය කැපී, ලේ ගැලී, රලු වී ගමන මහා දුක්ඛිත වුවද අවසන් අරමුණ කරා ඔවුහු ගමන් ගති.
කාන්තා ස්වරූපය එයයි. අවසන් අරමුණ කරා කොතෙක් දුෂ්කර වුවත් එමඟ ගමන් කරයි. එහෙත් එතුවක් කාන්තා පැවිද්ද සඳහා බුද්ධ ශාසනය මඟින් අවසර නොදුන්නේ ඇයි?
කාන්තාවන් කෙරෙහි පවතින සමාජ රාමුව හෙයිනි.
“ස්වභාවයෙන්ම කායික ශක්තිය ලද්දෝ පුරුෂයෝය. මානසික ශක්තිය ලද්දෝ කාන්තාවෝය.”
එබැවින් මෘදු කාන්තාවන්ට ශාරීරිකව බාධක බහුලය.එය නිවන් මගෙහිදී බාධාවන් මතු කරයි. බුදුන් වහන්සේ මෙය මනාව අවබෝධිත සිටි සේක
කිඹුල්වත් පුරහිදී බුදුන් වහන්සේ හමු වූ පිරිස තම ඉල්ලීම ඉදිරිපත් කළේය. මැදිහත් සිතින් ඉල්ලීම් විඳ දරා ගත් බුදුන් වහන්සේ එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ ඉහත සඳහන් හේතු සාධක අවධාරණය කරමිනි
අනතුරුව උන්වහන්සේ විශාලා නුවරට වැඩි කළ “තවත් අප උත්සාහ දරමු” යැයි කාන්තාවෝ තිරණය කළහ.
ඔවුහු තම කියඹු ලතා කපා විසිකොට කසාවත් දරා අදිටන් මඟට නැවතත් පෙළඹුණි. ධර්ම භාණ්ඩාගාරික අනඳ හිමි මෙම කාන්තා විමුක්ති සටන දෙස විමතියකින් පසු වන්නට ඇත. තමාද මේ සඳහා මැදිහත් විය යුතුය.”බුදු හිමියනේ, සිය ස්වාමියන්, පුත්‍රයන් අහිමි ගිය, සරණක් අහිමි, ඉමහත් දුකට පත් මේ කාන්තාවන් සඳහා පැවිද්ද ලබා දෙනු මැන” අනඳ හිමි කාන්තාවන් හට ලැබිය යුතු පුරුෂ මැදිහත් වීම එලෙස ඉටු කළේය.
කාන්තා අදිටනට ඇති බලය පිළිබඳ ඒ වන විට මනා අවබෝධයෙන් යුතු, (මෙය ඇතැම් විට බුදුහිමි විසින් කාන්තාවන්ට ලබා දුන් විමුක්ති මාර්ගයෙහි පරීක්ෂාවක් වන්නට ඇත.) බුදුන් වහන්සේ තිරණාත්මක කොන්දේසිය ඔවුන්ට ඉදිරිපත් කරන ලදි.
එනම් ” අෂ්ට ගරු ධර්මයි”. පැවිදි මගෙහිදී භික්ෂු භික්ෂුණීන් අතර ඇතිවන ඝට්ටන අවහිර කරන මඟ එයයි. එය පිලිපදින්නේ නම් කාන්තා පැවිද්ද ලබා දිය හැකි බව උන්වහන්සේ දැනුම් දුනි.
දෙපාර්ශවයක් අතර කාර්යයෙහිදී සම්මුතියක් පැවතිය යුතුය. එය සැමවිටම ධනාත්මන ඵල අත් කර දෙයි. ප්‍රජාපතිය අෂ්ට ගරු ධර්ම පිළිගත්තාය.
වැසි බිඳු ඇදි වැටෙන බිනර පුන් පොහොයක කාන්තාවන් 501 ක් සිය ප්‍රථම, උත්තම පියවර නිවන් මඟට තබන ලදී…
නමෝ බුද්ධාය!!!