“දම්සක් දරුවෝ”
දහම් නැණින් හික්මුණු දරුවෙක්; සාමකාමී, සදාචාර සම්පන්න හෙට දවසක්
සදහම් පාලම (Dhamma Bridge) ව්‍යාපෘතිය යටතේ ලොව ප්‍රථම හා එකම පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරනු ලබන “දම්සක් දරුවෝ” ධර්ම අධ්‍යාපන වැඩසටහනේ සමාරම්භක වැඩසටහන 2026 ජූලි 26 වැනි දින පෙරවරුවේ පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.
වැඩසටහනට සමගාමීව තායිලන්තයෙන් වැඩම කරවූ උත්තම බුද්ධ ප්‍රතිමා වහන්සේ ශුභ මූර්තයෙන් බෝධිදෲමාරාම විහාරස්ථානයේ සිට පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය වෙත ශ්‍රී සම්බෝධි දහම් පාසලේ දූ දරුවන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන්, සාධූ නාද මධ්‍යයේ අලංකාර පෙරහැරකින් වැඩම කරවනු ලැබීය.
අනතුරුව ආචාර්ය දමෙන්ද පෝරගේ මැතිතුමා විසින් උත්තම බුද්ධ ප්‍රතිමා වහන්සේට ප්‍රථම පුශ්පෝහාර දැක්වීමෙන් පසු පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ ආගමික, සංස්කෘතික හා සමාජ සබඳතා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති පූජ්‍ය බලංගොඩ සීලරතන හිමි සහ පූජ්‍ය ගැට අරළුවේ ඤාණානන්ද හිමි විසින් ආගමික වතාවත් ආරම්භ කරනු ලැබීය.

පංචශිලයේ පිහිටුවෙන් පසු සියලු සම්බෝධි දරුවන් හා සපැමිණි සියලු සුපින්වතුන් උදෙසා දම්සක් පැවතුම් සුත්‍ර දේශනාවෙන් පසු දම්සක් පැවතුම් සුත්‍රය ඇසුරින් ධර්ම අධ්‍යාපන සැසිය ආරම්භ කිරීමට පෙර, පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ ලේඛකාධිකාරිනී ආචාර්ය ශර්මිලා මිල් රෝයි මැතිණිය ශ්‍රී සම්බෝධි දහම් පාසලේ දූ දරුවන් සමඟ සුහද සිසු පිළිසඳරක නිරත වූ අතර, එය දරුවන්ගේ චිත්ත සංවර්ධනය හා ආත්ම විශ්වාසය වර්ධනය කිරීම අරමුණු කරගත් සුවිශේෂී මනෝවිද්‍යාත්මක උපදේශන සැසියක් ලෙස පැවැත්විණි.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පාලි භාෂාවේ මූලික ආශ්‍රයන් සමඟ සරල හා ආකර්ෂණීය සිංහල බසින් දරුවන්ට හඳුන්වා දීම, ඔවුන් තුළ සදාචාරාත්මක වටිනාකම්, යහපත් ගුණධර්ම සහ ධර්මානුකූල ජීවන දැක්මක් වර්ධනය කිරීමයි. මේ තුළින් පුරාණ ඉන්දියානු ධර්මභාෂිත වු පාලි බස ඉගෙනිම පිළිබඳ ආශාව දරුවන් තුළ රෝපණය කිරීම මෙම වැඩසටහනේ දූර්දර්ශි අරමුණක් විය.
වැඩසටහන සඳහා සහභාගී වූ දූ දරුවන් ඉතා උනන්දුවෙන් හා සතුටින් සියලු ඉගෙනුම් ක්‍රියාකාරකම්වල නිරත වූ අතර, පාලි ගාථා, ධර්ම කරුණු සහ දෛනික ජීවිතයට අදාළ සාරධර්ම සරල හා ප්‍රායෝගික ආකාරයෙන් ඔවුන් වෙත පැහැදිලි කර දෙන ලදී.
මෙම වැඩසටහන දරුවන්ගේ භාෂාමය දැනුම වර්ධනය කිරීමට පමණක් නොව, කරුණාව, මෛත්‍රිය, විනය, ගෞරවය සහ යහපත් පුරුදු වැනි මානවීය ගුණාංග වර්ධනය කරමින් අනාගත සමාජයට වගකීම් සහගත යහපත් පුරවැසියන් බිහිකිරීමේ වැදගත් පියවරක් බවත්, පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් බවට පත්කරමින් ඉන්දීය රජය සිදුකළා වු ඒ ඓතිහාසික ක්‍රියාවලියට ගෞරවයක් ලෙස ලාංකික අප බුද්ධභාෂිත සුපිරිසිදු දහම අවබෝධයට පාලි භාෂාව ප්‍රවර්ධනය කළ යුතු බවත් Dhamma Bridge ව්‍යාපෘතියේ නිර්මාතෘ හා අන්තර්ජාතික බෞද්ධ මහා සමිති සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා සඳහන් කළේ ය.
සමාජයක සැබෑ ප්‍රගමනය මැනෙන්නේ එහි ගොඩනැඟිලිවල උසින් හෝ තාක්ෂණයේ දියුණුවෙන් පමණක් නොව, හෙට දවස භාරගන්නා දරු පරපුරේ සිත් තුළ රෝපණය වන යහපත් සිතුවිලි, සබුද්ධික ආකල්ප සහ උතුම් මානව ගුණධර්ම තුළිනි.
අද අප ආදරයෙන් රැකබලා ගන්නා මේ පුංචි සිත්, හෙට දවසේ පවුලක, සමාජයක සහ රටක වගකීම් දරන වැඩිහිටියන් බවට පත්වනු ඇත. එබැවින් ඔවුන්ගේ නුවණැස දැනුමෙන් පමණක් නොව, කරුණාවෙන්, මෛත්‍රියෙන්, විනයෙන්, ගෞරවයෙන් සහ අනෙකාගේ දුක හඳුනාගත හැකි සංවේදී හදවතකින් ද පෝෂණය කිරීම අප සැමගේ වගකීමකි.
වේගයෙන් වෙනස් වන වර්තමාන සමාජය තුළ දරුවන්ගේ බුද්ධිය හා කුසලතා දියුණු කිරීමට අප බොහෝ උත්සාහ ගන්නා නමුත්, ඒ හා සමගාමීව ඔවුන්ගේ සිත් තුළ ගුණධර්ම වගා කිරීම ද අත්‍යවශ්‍යය. මන්ද, දැනුමෙන් පිරිපුන් මනසකට මඟ පෙන්විය යුත්තේ ගුණයෙන් පිරි හදවතක් බැවිනි.
මේ දරුවන් තුළ රෝපණය කරන එක් යහපත් සිතුවිල්ලක් හෙට සමාජයක් ආලෝකවත් කරන පහනක් විය හැකිය. සම්බුදු දහමේ ධර්මාලෝකයෙන් ඒ පුංචි සිත් ආලෝකවත් කරමින්, තමන්ටත් අනෙකාටත් සෙනෙහසින් හා වගකීමෙන් ජීවත් විය හැකි ගුණගරුක දරු පරපුරක් හෙට ලොවට දායාද කිරීම “දම්සක් දරුවෝ” වැඩසටහනේ උතුම් පරාර්ථකාමී අභිලාෂයයි.
“සදහම් පාලම” ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී සෑම මසකම මෙවැනි දහම් අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, තවත් දූ දරුවන් මෙම වටිනා ධර්ම අධ්‍යාපනික ගමනට එක්කරවන ලෙස දෙමාපියන් වෙත ද ආරාධනා කෙරිණි.
🌉 සදහම් පාලම (Dhamma Bridge)
🌼 දම්සක් දරුවෝ – දහමින් දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරමු.