දහම් සුවය ලබන දැහැමි දිවිය
ධර්මානුකූල වූ ජීවිතයක් තුල භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් ධර්ම මාර්ගය තමා තමාට ම මොනතරම් මානසික වශයෙන් සුවපත් වන ආස්වාදයක්, සැනසිල්ලක් ලබා දෙන්නේ දැයි ඔබ ම තේරුම් ගන්න.
ඔබ මෙම ධර්ම මාර්ගය තුළ බැහැරට යොමු නොකොට, අධර්ම මාර්ගයට යොමු නොකොට, වික්ෂිප්තභාවයට පත් නොකොට ඉලක්ක කරගත් එකම මාර්ගයක් ඔස්සේ ගමන් කරන බව ඔබ ම තේරුම් ගත යුතුයි. මෙය සතර සතිපට්ඨානයේ පෙන්වාදුන් ඒකායන මාර්ගයත්, එහිම පෙන්වා දෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය බවත් අප දැන් තේරුම් ගෙනයි පවතින්නේ.
එම නිසා ආදීනවය තේරුම් අරගෙන රාගාධි කෙලෙසුන් හි සංසිඳීමක් ඇතිකර ගන්නා විට ඔබගේ, අපගේ සිත්වල සකස්වෙන චිත්ත චෛතසික ස්වභාවය, එනම් මානසික ස්වභාවය කුමක් ද? කෙටියෙන් සඳහන් කරන්නේ නම්, ලෝකය කුමන ආකාරයකින් අප දුටුවත්, අස්සාදයෙන් හෙවත් සොම්නසින් දුටුවත්, ඒ වගේ ම යම් තැනක දුකෙන්, කනගාටුවෙන් සංවේගයෙන් දුටුවත්, මේ කිසිදු අවස්ථාවක් නිසා ලෝභ, ද්වේෂ, මෝහ ආදී වූ කෙලෙසුන් හි හටගැනීමක් නොවන බවයි. අප මේ සාකච්ඡා කරන්නේ,
නිවන යන සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය වීමෙන් ඇතිවන ඉතා ම පිරිසුදු අවස්ථාව මුල්කරගෙනයි. එම ඉතා ම පිරිසුදු අවස්ථාව මුල්කරගෙන කරන සාකච්ඡාවේ පළමු, දෙවැනි, තුන්වැනි ආදී පූර්වභාග අවස්ථාවන්හි ඔබට, අපට කළ හැකි වන්නේ කරුණු අවබෝධ කරගැනීම, ඒවා යටපත් කර ගැනීම, බලවත් ලෙස ධ්‍යාන අවස්ථාවකින් යටපත් කර ගැනීම හා ඉන් අනතුරුව අප කෙළවර ලෙස දක්වන රහත්භාවයට අනුව සමුච්ඡේද වශයෙන් මුළුමනින් ම බැහැර කිරීමයි.
අවසානයේ ලැබෙන උත්තම වූ ඵලය පිළිබඳ අවබෝධයක් අප සිතෙහි පවත්වා ගත යුතුයි. ඒ අරමුණ සිතෙහි දැඩිව තබාගෙන පෙළින් පෙළ “ආනුපුබ්බී කතා” හැටියට, ආනුපුබ්බී කතා නම් නිවන අරමුණු කරගත් පිළිවෙලින් දේශනා කරන ධර්ම පෙළයි. ඒ වගේ ම අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා යනුවෙන් පෙන්වන නිවන අරමුණු කරගන්නා වූ ප්‍රතිපදා අනුපූර්ව ප්‍රතිපදා මාර්ගයයි. ඒ අනුව මූලික පියවරේ දී අපේ සිත ඇසට රූප, කනට ශබ්ද වශයෙන් මේ ආරම්මණ සකස්වන විට හෝ සකස් කර ගන්නා විට හැකිතාක්දුරට මහා සතිපට්ඨාන සූත්‍රයෙහි පෙන්වාදුන් ආකාරයෙන් මේ සත්‍ය සංස්කාර ලෝකයේ කිසිදු ධර්මයක් කෙරෙහි, එනම් මෙතැන ධර්මතාවයක් යනු හේතූන්ගෙන් හටගත් ඵලයයි. ඒ වගේ ම ඒ හේතූන් විසිර යෑම නිසා නැතිවන ඵලයයි.
එනම් සියලු සංඛත, සංඛාර වස්තූන් හි දැඩි ආශාවක් හෝ දොම්නසක් හෙවත් ගැටීමක් ඇති නොකරගන්නේ ය. එසේ ඇතිවීම මුළුමනින් ම බැහැර කරන්නේ ය යන අදහස සිතෙහි පවත්වා ගැනීමයි. එවිට නිස්සරණ නම් වූ කෙලෙසුන් ඇසුරු නොකිරීම, කෙලෙසුන්ගෙන් බැහැරවීම, කෙලෙසුන් කෙරෙන් ඉවත්වන්නේ ය යන අදහස සිතට නගා ගන්න පුළුවනි. මේ ලෙසින් අස්සාද, ආදීනව, නිස්සරණ ඔස්සේ ඔබ සම්මත ලෝකයේ ජීවිතය පවත්වන්නට ඔබේ සිත පුරුදු කරන්න. භාවනාව යන වචනය නගා ගන්නේ මෙතැනයි.
මහා සතිපට්ඨාන සුත්‍ර දේශනාවේ පෙන්වාදුන් ආකාරයෙන් සතර සතිපට්ඨානය ම සතර ඉරියව්වේ දී ම පවත්වා ගත යුතු බව ඉතා ම පැහැදිලි යි. මෙහි දී සම්මත ලෝකය තුළ ඔබ කුඩා කාලයේ ඉගෙනීම මුලින් සඳහන් කළ අවබෝධයෙන් යුක්තව සිද්ධ කරනවා. පුංචි දරුවෙකුට එවැනි ගැඹුරු අවබෝධයක් නැතත් වැඩිහිටි මව්පියන් හා ගුරුවරුන් විසින් සරල ලෙසින් පොඩි දරුවන්ට ජීවිතයේ යථා ස්වභාවය තේරුම්කොට දිය හැකියි.
වර්තමානයේ අප රටේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් බොහෝ පිරිසක් මල් පූජා කරන “පුජේමි බුද්ධං කුසුමෙන නේන” ගාථා රත්නය ඔස්සේ පොඩි දරුවන්ට ගැඹුරු දහම් කතාවක් පුංචි සිතට වැටහෙන ආකාරයෙන් සරල ලෙස පෙන්වා දිය හැකියි. මේ නොයෙක් ආකාරයෙන් විසිතුරු, සුවඳැති මල් බුදුරජාණන් වහන්සේ අභියස පූජා කරනවා. එහෙත් මේ මල් පරවී යනවා. මල් පරවී යන්න මත්තෙන් මේ මල් නෙලාගෙන පැමිණියා. අපේ ජීවිතයත් මේ වගෙයි. මේ මල් සේ ම ලෙඩවෙනවා. දිරාගෙන යනවා. මරණයට පත්වෙනවා. අප මල්වලට කැමැති වුණේ මල ප්‍රසන්න නිසයි. පිවිතුරු නිසයි. සුවඳැති නිසයි. අපේ ජීවිතත් ප්‍රසන්න වෙන්නේ ගුණවත්කම නිසයි. හැදුනුකම නිසයි. තමන්ට යමක් සිදුවෙනවාට අකැමැති නම්, අන් අයත් ඒ වගේ ම, ඒ වගේ දේවල් ඒ අයට සිදුවෙනවාට අකැමැතියි.
එනම් මට දුකක් වෙනවා නම්, ඇදවැටීමෙන් හෝ තුවාලයක් වෙනවා නම්, හිසේ වේදනාවක්, දතේ වේදනාවක් හෝ ඇති වෙනවානම්, රිදෙනවා නම් එයට මම අකැමැතියි. මේ ලෝකයේ හැම දෙනා ම ඒ ලෙස ම දුකට අකැමැතියි. මලක් වගේ පරවී යන මේ ජීවිතයේ එනම් ලෙඩදුක් ඔස්සේ කෙළවරකට යන මේ ජීවිතයේ මා වරදක් කරන්නේ නැත. මගේ මව්පියන් වගේ ම ගුරුවරු වගේ ම, ආච්චි, සීයා වගේ ම අනෙකුත් නැන්දා, මාමා, වගේ ම මම ද ඒ ලෙස වැඩිහිටි බවට පත්වෙමි. ඕනෑම මොහොතක මියැදෙන්නේ ය. යන අදහස පුංචි සිතකට හඬන්න නොව ඒ දරුවාගේ යම් විටක අඩුපාඩු තරහ යන ගතිය, කෑ කෝ ගහන ගතිය ඔබ පවසන ආකාරයෙන් දඩබ්බර ගතිය. ස්වල්ප වූ වෙලාවක හෝ එක තැනක එක ඉරියව්වක සිටින්නට නොහැකි ස්වභාවය. නුවණැතිව කල්පනා කොට දරුවාගේ සිත සංසුන්කර ගන්නට මුලින් සඳහන් කළ අදහස් පෙළ පවත්වා ගත හැකියි.
පොඩි දරුවෙකුට පවසනවාට වඩා ගැඹුරු අදහසකින් තරුණ දරුවෙකුටත්, වැඩිහිටි වූ ඔබටත්, විවිධ විෂය ඥානයන්ගෙන් පිරිපුන් වූ සියලු දෙනාටමත් මේ දහම් කතාව තේරුම්ගත හැකියි. එවිට අකර්මන්‍ය වූ ජීවිත නොව දහම නිසා කර්මන්‍ය වූ ජීවිත පවත්වන බව ඔබට ම පැහැදිලි වේවි. ඔබ මොනතරම් භෞතික ලෝකය තුළ ක්‍රියාකාරී අයෙක් වූවත්, ඒ වගේ ම ඔබ විෂය ඥානයෙන් පිරිපුන් වූ අයෙක් වූවත්, මේ අධ්‍යාත්මික දහම් කතාවෙහි ඔබ ළදරු අයෙක් බවට පත් වුණත්, දුර්වල අයෙක් බවට පත් වුණත්, භෞතික ලෝකයේ ඔබේ ක්‍රියාකාරිත්වය, ඔබට සතුටක් නොව දුකක්ගෙන දෙන හේතුවක් විය හැකියි. ගසක හටගත් පිළිලයක් විසින් ගසම නසන්නා සේ, යකඩයේ හටගත් මළ යකඩය ම නසන්නා සේ මහ විපතක් විය හැකියි.
උණ වෘක්ෂයේ හා කෙසෙල් වෘක්ෂයේ ඵල දරන්නේ එම වෘක්ෂවල විනාශය ට ම ය. එසේ නැතිනම් අවසානය ම මුල් කොටගෙන ය. එ බැවින් මොනතරම් ක්‍රියාකාරී වූවත්, ලෞකික විෂය ඥානයන්ගෙන් පරිපූර්ණ වූවත්, කෙලෙසුන්වලින් පීඩිත වන සිතක් නිසා ඒ ජීවිතවල මහත් වූ විනාශයක් මෙලොව හා පරලොව වශයෙන් ඇතිකරගත හැකියි.
මේ නිසා ධර්මානුකූල ජීවිතයක භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් ධර්ම මාර්ගය තමා තමාට ම මොනතරම් මානසික වශයෙන් සුවපත් වන ආස්වාදයක්, සැනසිල්ලක් ලබා දෙන්නේ දැයි ඔබ ම තේරුම් ගන්න. මේ දහම් පෙළ තේරුම් ගන්න නොහැකි වූ කාලයක හෝ තේරුම් ගන්න ඕනෑකමක් නොතිබුණු කාලයක හෝ එසේත් නැතිනම් මෙවැනි අදහස් ජීවිත අකර්මන්‍ය කරන්න, ශෝකයකට, දුකකට, කඳුළකට හේතුවන අදහස් බව සිතේ කාලයකට වඩා මේ දහම් පෙළ අනුක්‍රමයෙන් තේරුම් ගන්නා විට අත්හැරීම යනු ලෞකික ලෝකයෙන් පලායාමක් නොව දුර්ලභව ලබාගත් මේ ලෞකික ලෝකයේ සතුටින් ම ජීවත්වන අවස්ථාවක් හැටියට ඔබ තේරුම් ගන්නවා ඇති. එවිට අත්හැරීම තරම් පහසු යමක්, අත්හැරීම නිසා ඇතිවන මානසික සුවය තරම් යමක් නැති බව ඔබ විසින් ම තේරුම් ගන්නවා ඇති. මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම් ම මනුෂ්‍ය රත්නය තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ආශ්චර්යවත් වූ ධර්ම මාර්ගය ඔබ විසින් විමසා බලන්නට වාසනාව ලැබේවා….🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood