Temples of Sri Lanka

පව විපාක දෙන කල දැරීම පහසු නොවේ

මිනිසා විසින් කරනු ලබන ක්‍රියාවන් මූලික වශයෙන් “හොඳ සහ ‘නරක’ වශයෙන් බෙදා දැක්විය හැකිය.

එයම තවත් ආකාරයකින් ‘පින’ ‘පව‘ හා ‘කුසල්’ ‘අකුසල්’ වශයෙන් දැක්විය හැකිය.

මිනිසාගේ සහජ ස්වභාවය පාපකාරී සිතිවිලි, පාපකාරි වචන, පාපකාරි ක්‍රියාවන් කරන එකය. එසේ කිරීමට අමුතුවෙන් දැන ඉගෙන ගෙන අධ්‍යාපනය ලැබීමට වුවමනා නොවේ.

අධ්‍යාපන සහතික කිසිවක් නැතිව නරක ක්‍රියා කිරීමට පෙළඹිය හැකිය. එසේ වන්නේ පුද්ගලයා උපදින විටම නරක දේ සඳහා නැඹුරුවක් දක්වන බැවිනි. හොඳ ක්‍රියා කිරීම සදහා නැවත ද නැවත ද කරමින් එය පුහුණුවිය යුතුය.

එමගින් පුද්ගලයා යහපත් දෙසට නැඹුරු වන්නේ නරක ක්‍රියාවන් කිරීම ලෙහෙසි බවත් හොද ක්‍රියාවන් කිරීම අපහසු දෙයක් බව එමගින් පැහැදිළිවේ.

මනුෂ්‍යයෙක් ලෙස එම කාරණා දෙකෙන් හොඳ, යහපත්, දේ අමාරුවෙන් හෝ කළ යුතුයි. හොඳ දේ යනු මොනවාද? යන්න සමාජය විසින්ද, තමා විසින්ද, ධර්මය විසින්ද තීරණය කරනු ලැබේ. ඒ අනුව හැසිරීම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ලෙස හඳුන්වනු ලැබේ. කවුරු හෝ පුද්ගලයකු නරක ක්‍රියාවක් කළහොත් එහි විපාකය නියත වශයෙන්ම ඔහුට හෝ ඇයට ලැබේ.

කුමන තරාතිරමක සිටියත්, කුමන අධ්‍යාපන මට්ටමක සිටියත්, කුමන සමාජ මට්ටමක හිටියත් තමන් කළ නරක ක්‍රියාවේ ප්‍රතිඵල විපාක වශයෙන් විඳීමට තමන්ට ලැබෙනවා මයි. නමුත් තමන් කළ අපරාධයේ හෙවත් අකුසල් ක්‍රියාවේ ප්‍රතිවිපාකය තමන්ට එසැනින් ම නොලැබිය හැකිය.

ප්‍රතිවිපාක එසැනින්ම ලැබෙන අවස්ථාද ඇත. එය පාප කර්මයේ තිබෙන ස්වභාවය වේ. සමාජයේ නරක වැඩ වල යෙදෙන මිනිස්සුන්ටම හරියන්නේ කියලා සමහර විට අප ප්‍රකාශ කරන අතර බැලූ බැල්මට එසේ පෙනෙනවාද විය හැකිය. නමුත් එය සදාකාලික නොවේ. තමන් කරපු ක්‍රියාවේ විපාක තමන්ට පෙරළා එයි. එයින් ගැලවිය නොහැකිය. ඒක හරියට තමන් කළ අකුසල කර්මයේ විපාක එසැනින්ම නොලැබෙනවා කියලා කියන එක, හරියට එළදෙන ගෙන් දෙවු ගමන්ම දෙවූ කිරි මිදෙන්නේ නැහැයි වගේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එළ දෙනාගෙන් දෙවු කිරි ඒ වෙලාවෙම නොමිදෙයි. නමුත් එම කිරි මුදවිය හැකිවේ. ඇතැම් අකුසල කර්මත් ඒ වගෙයි.

දිනක් ‘මුගලන් මහරහතන් වහන්සේත් ‘ ලක්ඛන මහරහතන් වහන්සේත් ‘ රජගහනුවර ගිජ්ජකූට පර්වතය මුදුනේ සිට පහළට වඩින විට මුගලන් හාමුදුරුවන් දැකපු යම් දෙයකට සිනා පහල කරන ලදී. එම කාරණාව දුටු ලක්ඛන හාමුදුරුවන් ඒ පිළිබඳව විමසූ විට මම හිනා වුනා නොවෙයි . මට හිනා ගියා යැයි ප්‍රකාශ කළ සේක. මුගලන් හාමුදුරුවන් ප්‍රකාශ කරනවා. ඇයි? ඔබ වහන්සේ මහා විශාල ප්‍රේතයෙක්   දැක්කේ නැද්ද? අප එම  ප්‍රේතයා පසු කරගෙන ආවේ කියලා. මිනිස් හිසක් තියෙන නාගයෙක් වගේ සිරුරක් තිබෙන බැලූ බැල්මට මුහුණ මනුෂ්‍යයෙකු වගේ පෙනුනත් සිරුර සර්පයකු වගෙයි. ඔහු ඉන්න ප්‍රදේශයම ගඳයි. සිරුරේ ප්‍රමාණය ගව් ගණනක් විශාලයි. මෙම විශාල සිරුර සහිත ප්‍රේතයා මුගලන් හාමුදුරුවන් සමඟ වඩින ලක්ඛන හාමුදුරුවන් දැක්කේ නැහැ.

මේ තරම් විශාල සිරුරක් තිබෙන මෙම ප්‍රේතයා  ලක්ඛන හාමුදුරුවන්ට නොපෙනුනේ,ඇතැම් ප්‍රේත ආත්මවල ශරීර කොතරම් විශාලට තිබුණත් හැම දෙනාටම දකින්න ඤාණ ශක්තිය අඩු නිසයි. ඒ සඳහා විශේෂ ඤාණ ශක්තියක් තිබිය යුතුයි. නොපෙනෙන ප්‍රේත, භූත, යක්‍ෂ ආදි දේවල් ප්‍රඥාව දියණු කරගත්ත කෙනෙකුට මිස සාමාන්‍ය කෙනෙකුට නොපෙනෙයි.

මෙම සිදුවීම පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් ලක්ඛන හාමුදුරුවන් විමසනු ලැබුවේ මෙම ප්‍රේතය කළ අකුසල කර්මය කුමක්ද? යන්න පිළිබඳවයි. මෙම ප්‍රේතය වෙලා ඉපදිලා තිබෙන පුද්ගලයා පෙර සංසාරයේ ගොවියකු වී ඉපිද තිබේ. එම ගොවියාගේ කුඹුරට එහා පැත්තේ ආරාමයක පසේ බුදුරජාණන්වහන්සේ නමක් වැඩ සිට තිබේ. පසේ බුදු හාමුදුරුවන් දකින්න, බලන්න, ඇප උපස්ථාන කරන්න යන මහ පිරිස වැඩියි. ඒ පිරිස් සියල්ලම මෙම කුඹුර උඩින් යන නිසා කුඹුරට හානි පැමිණේ. පසේ බුදුරජාණන් වහන්සේ නිසා තමන්ගේ කුඹුර විනාශ වෙනවායැයි ගොවියා කේන්තියට පත්විය.

පසේ බුදු හාමුදුරුවන් මෙතන වැඩ ඉන්න එක නැවතුණොත් මිනිස්සු කුඹුර උඩින් යන එක නවතීවි. එහෙම වුණොත් කුඹුරට වන හානිය නවතීවි යැයි මෙම අඥාන ගොවියා කල්පනා කළහ. එම නිසා පසේ බුදුහාමුදුරුවන්ට මෙතන වැඩ ඉන්න එපා වෙන තැනකට වැඩකටයුතු කරන්න ඕනෑ යැයි ගොවියා සිතූහ. පසේ බුදු හාමුදුරුවන් වෙනත් තැනකට වඩින තෙක් ඉඳල එම සේනාසනය ගිනි තබා විනාශ කර දැමූහ. මිනිස්සු එන්නේ නැති නිසා කුඹුරට හානි පැමිණෙන්නේ නැහැ. ගොවියාගේ ප්‍රශ්නය විසඳුණා.

හොඳින් ගොවිතැන් කරගෙන යන්න හැකි වුණත් ගොවියා කරගත්තේ මහා පාප කර්මයකි. සංසාරය පුරා විපාක දෙන බරපතල අකුසල කර්මයක්. ගොවියා තමන් කරපු අකුසල කර්මය නිසා අපායේ ඉපදිලා කල්ප කාලාන්තරයක් පුරා දුක් විඳලා නැවත උපන්නෙත් ප්‍රේතයෙක් වෙලාය.මෙම ප්‍රේත ආත්මයේ ඉපදිලා දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. තමන් කරපු අකුසල කර්මයේ විපාක විඳීනවා. මෙම සිදුවීම බුදුරජාණන් වහන්සේ උපමාවකුත් සමග බණ පදයක් දේශනා කරනු ලැබූහ. තමන් අකුසල ක්‍රියාවක් කළොත් කොපමණ හැංගෙන්න හැදුවත් තමන් කරපු නරක ක්‍රියාවෙහි විපාකය තමන්ට ලැබෙනවාමයි. එයින් මිදෙන්න බැහැ. හැබැයි එහි විපාකය එසැනින් නොලැබෙන්න පුලුවන්. හරියට එළදෙනගෙන් දෙවු කිරි එසැනින් මිදෙන්නේ නැතිවා වගෙයි. කල් ගතවීමෙන් මිදෙන්නා වගෙයි.

තෙරුවන් සරණයි…🙏🙏🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X