Temples of Sri Lanka

ධර්ම දානයේ වටිනාකම

 

තිලොවට තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ “සබ්බ දානං ධම්ම දානං ජිනාතී” යැයි වදාරා ඇත.ධර්ම දානමය පින සියලු දානමය පින්කම් අභිබවා කුසල් වඩන බව අප දැන ගත යුතුයි. එහි ඇති අගය මෙසේ විග්රහ කරමු.
“සචේපි හිම චක්කාල ගබ්භෙහි යාච බ්රහ්ම ලෝකා
නිරන්තරං කත්වා චීවරානී දදෙයිය තස්මිං සමාගමේ
චතුප්පදිකාය ගාථාය කථානු මෝදනාව සෙට්ඨා”

 

මෙහි සරල අර්ථය දෙස බලතොත්… සක්වල ගැබ සිට නේවසඤ්ඤා නාසඤ්ඤායතන අරූපී බඹලොව දක්වා අතොරක් නැතිව සිටින සේ වඩා හිඳුවා බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ට කෙසෙල්බඩ මෙන් අතිශයින්ම දුහුල් සිනිඳු සිවුරු දෙන්නේ වේද, ඒ චීවර දානමය පිංකමට ද වඩා එහි සතර පද ගාථාවකින් හෝ කරන ලද අනුමෝදනාව ම ශ්රේෂ්ඨ වේ කියාය…
මේ ආකාරයෙන් බුදු බණ පදයක් වුවත් දේශනා කිරීම ශ්රවණය කිරීම මහත් ඵල මහා ආනිසංස ගෙනදේ යයි බුදුන් වහන්සේ වදාරා තිබෙනවා. තවදුරටත් මෙය විග්රහ කරන විට ධම්මපදට්ඨ කථාව මෙන්න මෙසේ වදනක් පවසා සිටිනවා.
එනම්,

 

සක්වල ගැබ සිට භවාග්රය දක්වා අතොරක් නැතිව බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්රණීත පිණ්ඩපාත දානය ට ද වඩා ධර්ම දානමය පිංකම ඉතා ශ්රේෂ්ඨ බවයි.
එසේම, වඩා හිඳුවා පාත්ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට වඩා ධර්ම දානමය පින ඉතාමත් ශ්රේෂ්ඨ බවයි.
මහා විහාරය සමාන විහාර ද එසේම ලෝවාමහාපාය වැනි ප්රාසාදය නොයෙක් සිය දහස් ගණන් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා ධර්ම දානමය පින ඉතා උතුම් බවයි.

අනාථපිණ්ඩික සිටුතුමා දෙවුරම් වෙහෙර සඳහා වැය කළ කෝටියක ධන පරිත්යාග චේතනාවට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින් අනුමෝදනා කරන ලද ධර්ම දේශනයක් සිදු කෙරේ නම්, ධර්ම දානමය පින්කමක් සිදු කෙරේ නම්, ඒ ධර්ම දානමය පිංකම ම දානමය පින්කම් අතර අග්ර වෙයි ශ්රේෂ්ඨ වෙයි උතුම් වේ යැයි බුදුන් වහන්සේ දක්වා තිබෙනවා.

එයට හේතුව වශයෙන් සඳහන් කරන්නේ, සිවුරු පිදීම පිණ්ඩපාත දාන සෙනසුන් ඉදිකිරීම ආදී පුණ්ය කර්ම කරන්නේ ධර්මය අසා දැනගත් නිසයි. ධර්මය දැන කියා ගැනීමට නොලැබුණේ නම්, කැඳ බත් හැන්දකුදු නොදෙන බව ධර්මයේ පෙන්වා දී තිබෙනවා.
මේ කාරණාවෙන් ද ධර්ම දානමය පිංකම සියලු දන් පරදන බව දැන ගත යුතුයි. තවද රහත් බෝධියෙන් නිවන් දුටු පිරිස අතර අගතැන්පත් සැරියුත් ස්වාමීන් වහන්සේට කල්පයක් මුළුල්ලේ වහින වර්ෂාවේ දී දිය බිඳු ප්රමාණය කිරීමට තරම් මහා නුවණක් ඇත්තේ යයි කියැවේ.මෙතරම් නුවණක් ඇති සැරියුත් හිමිට ද බණපදයක් දැනගැනීමට නොලැබුණා නම්, නිවන් දැකීමට නොහැකි වන්නේය.
මේ හේතුව නිසාම, ධර්ම දානමය පින සියලු දානමය පිංකම් වලට වඩා ශ්රේෂ්ඨ වන බව සහ අග්ර වන බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුන්ට වදාරන්නට යෙදුනි.
එබැවින් සත් පුරුෂයෙනි…. ධර්ම ප්රචාරක වැඩ කටයුතුවල නිරත වන්නට ,ධර්ම දානාදී කුසල් ක්රියාවල නිරතවන්නට ඔබට ඇරයුම්….
බණ කීමට අවස්තා සලසා දීම, ධර්ම ග්රන්ථ, ප්රතිකා ,මුද්රණය කොට බෙදා දීම්…. ආදී පින්කම් වල නුවණින් යෙදීමට ඔබට කාලයයි මේ……

 

තෙරුවනේ අනන්ත ගුණ බෙලෙන් සියලුදෙනාහට සෙත් වේවා!!!

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X