Temples of Sri Lanka

ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ධූරයට නැවත වරක් තෝරා පත් කර ගැනේ

රටවල් 39කට අධික ප්‍රමාණයක් සාමාජිකත්වය දරන, බෞද්ධ සංවිධාන 300 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරන, ලොව විශාලත ම ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය වන “ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයෙ”හි (International Buddhist Confederation) විධායක කමිටු, පාලක සභා හා මහා සභා රැස්වීම පසුගිය නොවැම්බර් මස 27 හා 28 යන දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වුණි. ඒ සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, ජපානය, තායිලන්තය, වියට්නාමය, සිංගප්පූරුව, තායිවානය, කාම්බෝජය, ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, දකුණු කොරියාව ඇතුළු රටවල් 39කින් පමණ බෞද්ධ විද්වතුන් සහ බෞද්ධ නායකයන් විශාල පිරිසක් සහභාගී වූහ.

එහි දී රට රටවල් නියෝජනය කරන බෞද්ධ නායක ස්වාමීන් වහන්සේලා, ජේ‍යෂ්ඨ භික්ෂූන් වහන්සේලා, ධර්ම පුහුණුකරුවන් ආදී සාමාජිකයන්ගෙන් සමන්විත ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ මහා සභා රැස්වීම පැවැත්වූ අතර, මෙවර එය පැවැත්වීමේ මූලික අරමුණ වූයේ ඉදිරි වසර තුන සඳහා පාලක මණ්ඩල නිලධාරීන් තෝරා පත් කර ගැනීම ය. මෙම මහා සභා රැස්වීමේ දී සිදූ වූ සුවිශේෂී සිදුවීමක් වන්නේ ‘ගියවර ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ නියෝජ්‍ය මහාලේකම් ධූරය දැරූ ශ්‍රී ලංකා-ටිබෙට් බෞද්ධ සහෝදරත්ව සංගමයෙ හි හා බෞද්ධ සහෝදරත්ව පදනමෙ හි ගරු සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ම නැවත වරක් එහි නියෝජ්‍ය මහාලේකම් ධූරයට තෝරා පත් කරගැනීම ය.

එමෙන් ම එම සම්මේලනයේ දී ම, ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ විධායක කමිටු සාමාජිකාවක් වූ ආචාර්ය ෂර්මිලා මිල්රෝයි මහත්මිය ‘ධර්ම ලේකම් – ශ්‍රී ලංකා’ ධූරයට තෝරා පත් කරගන්නා ලදී.

නව නිලධාරී මණ්ඩලයේ මෙහෙවර ප්‍රකාශය වන්නේ ‘ලොව පුරා විසිරී සිටින බෞද්ධයන්ගේ සාමූහික ප්‍රඥාව එක්රැස් කොට ඉන් එක්සත් බෞද්ධ හඬක් නිර්මාණය කිරීමත්, එම හඬ භාවිතා කොට බෞද්ධ වටිනාකම් ගෝලීය පද්ධතියේ වැදගත් කොටසක් බව ලෝකයට පෙන්වා දීමත්, ඒ සමඟ ම බෞද්ධ උරුමයන්, සම්ප්‍රදායන් හා භාවිතයන් ආරක්ෂා කිරීමත්, ප්‍රවර්ධනය කිරීමත් ය”.

මෙලෙස සාර්ථකව පවත්වන්නට යෙදුණු ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහානායක හිමි, අතිපූජ්‍ය මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර අනුනායක හිමි, අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි අනුනායක හිමි, අතිපූජ්‍ය ආචාර්ය කිතලගම හේමසාර නායක හිමි සහ අතිපූජ්‍ය ආචාර්ය වෑතර මහින්ද හිමියන් යන ස්වාමීන් වහන්සේලා සහභාගීත්වය දැරූහ.

You might also like
en English
X
X