Temples of Sri Lanka

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නමක් ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ වෙත පූජා කෙරේ…

ශ්‍රී ලංකා ටිබෙට් බෞද්ධ සහෝදරත්ව පදනමෙහි උදාර සංකල්පනාවකට අනුව වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයෙහි වැඩවාසය කරන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා අතරින් එක් ධාතූන් වහන්සේ නමක් පසුගිය අප්‍රේල් මස 05වැනි දින ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ වෙත පූජා කරන ලදී. මැණික් සහ දියමන්ති ඔබ්බවා රනින් කළ කරඬුවක තැන්පත් කළ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ ලාංකීය නියොජිත පිරිස කංග්‍රා ගුවන්තොටුපලේ දී අතිපූජ්‍ය ලින් රින්පොචේ හිමිපාණන් සහ ටිබෙට් ජනාධිපති පෙන්පා ට්සෙරින්ග් මහතා විසින් මහත් ගෞරව භක්තියෙන් පිළිගන්නා ලදී. අනතුරුව ධාතූන් වහන්සේ මහමඟ දෙපස රැස්ව සිටි දස දහස් ජනයාගේ ගෞරව බහුමානයට ලක්වෙමින් ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේ වැඩ වාසය කරන ධරම්ශාලාහි ආරාම පරිශ්‍රය වෙත වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ එදින වස්කඩුවේ මහින්දවංස මහානායක හිමි සහ ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා විසින් ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ වෙත පූජා කරන ලදී.

මෙම ඓතිහාසික පුණ්‍ය කර්මය සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නය, ශ්‍රී ලංකා ටිබෙට් බෞද්ධ සහෝදරත්ව පදනමෙහි නිර්මාතෘ හා එහි සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා, ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය හා තවත් සම්භාවනීය නියෝජිතයන් කිහිප දෙනෙක් ලංකාව නියෝජනය කරමින් සහභාගී වූහ.

මෙම ධාතූන් වහන්සේ දලයි ලාමා වහන්සේ වෙත පූජා කිරීමේ උත්තම කාර්යයෙහි නියමුවා වන්නේ ශ්‍රී ලංකා ටිබෙට් බෞද්ධ සහෝදරත්ව පදනමෙහි නිර්මාතෘ ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ය. සෑම විටෙම බෞද්ධ දර්ශනය සහ ශාසනය සුරැකීමෙහි ලා මහඟු කාර්යයන් සිදු කරන එතුමාගේ උදාර අරමුණට අනුව ලොව විවිධ ආකාරයෙන් බෙදී පවතින බෞද්ධ සම්ප්‍රදායන් අතර සහයෝගීතාවය සහ අවබෝධය වර්ධනය කොට එම සම්ප්‍රදායන් අතර දුරස්ථභාවය අවම කර එක්සත් බෞද්ධ ලෝකයක් නිර්මාණය කිරීම උදෙසා මෙම ධාතූන් වහන්සේ පූජා කිරීම මහඟු දායකත්වයක් උසුලනු ඇත.

සහෝදරත්වයෙන් එක්වෙමු!

-බෞද්ධ සහෝදරත්ව පදනම –

You might also like
en English
X
X