Temples of Sri Lanka

සමගිව පතුරමු , මෙත් සිත තුටිනා…

ලෝ සත දුකින් මුදවාලන පිණිස සම්මා සම්බුද්ධත්වය අපේක්ෂාවෙන් සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා අප මහා බෝසතාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක.

අවිදු අඳුරේ ගිලී දුක පසුපස ම හඹායන ලෝසතුන් වෙනුවෙන් උන්වහන්සේ පන්සාළිස් වසක් පුරා අමා දහම් දේශනා කළහ. ඒ සදහම් ආලෝකයෙන් ලෝ දනන් අදටත් සුවපත් වෙති.

වෙසක් පුන් පොහෝ දිනය ලෝවැසි බොදු දනන්ට ඉතාම සුවිශේෂී ය. තම ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් අන් කවරදාටත් වඩා ආමිෂ පූජාවෙන්, ප්‍රතිපත්ති පූජාවෙන් ගෞරව දක්වන්නට බෞද්ධයෝ පෙළ ගැසෙති. එහෙත් බෞද්ධයන් ලෙස තමන්ට එරෙහි වන්නා කෙරෙහි වුවද එරෙහි වන්නට, වෛරයේ ක්‍රෝධයේ ගිනිදැල් මුදා හරින්නට, හිංසාවට ඉඩක් නැත. අවිහිංසාව අගයන බුදුදහමට අනුව ජීවන ප්‍රතිපදාව සකසා මෝහයෙන් මුලා වී වෛරයේ ගිනිදැල්වලින් හදවත පුරවාගත් අඥානයන් වෙත මෛත්‍රිය පතුරවන්නට අප සිතා ගමු..

අවිගත්තෝ නැසෙන්නේ අවියෙන් ම ය. එහෙත් ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ම ආරක්ෂා කරනු ලබන බව බුදු වදන ය. අපට පිහිටට ඇත්තේ ධර්මය පමණි. එහෙයින් අප තථාගතයන් වහන්සේ අනුව ජීවිත හැඩ ගස්වා ගන්නට, ප්‍රතිපත්ති පූජාවෙන් සම්බුද්ධ පූජාව පවත්වන්නට ඇප කැප වෙමු.

තුන්ලෝකයට අග්‍ර වූ අපගේ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ නායකයෙක් බවට පත්වූයේ තමන් වහන්සේ විසින්ම දියුණු කරන ලද අධ්‍යාත්මික ශක්තියෙනි. සම්බුද්ධ චරිතය පුරාම දක්නට ලැබෙන උතුම් ලක්ෂණ යම්තාක් දුරකට හෝ අපවෙත පවත්වා ගන්නට උත්සාහ ගැනීමට අදිටන් කරගනිමු. උන්වහන්සේගේ ජීවිතය පුරාම ඇත්තේ ආදර්ශවත් බවයි. අප සමාජයේ යහපතට අවවාද, අනුශාසනා කළ යුතු පළමු කොට ආදර්ශයෙනි. බුද්ධ චරිතය ඊට හොඳම නිදසුන ය. ඒ මග යමින් බෞද්ධයන් ලෙස අපි ලෝකයට ආදර්ශවත් වෙමු.

මිනිසා නොමිනිසුන් කරන්නේ රාගය, ද්වේශය, මෝහය ආදී කෙලෙස් ධර්මයන් ය. මේ කෙලෙසුන්ට වසඟවන මිනිසා අපමණ පාප කර්මයන් හි නියැළෙයි. මෙලොව ද පිරිහී පරලොව ද දුගතිගාමී වෙයි. අප තථාගතයන් වහන්සේ රහසින්වත් පව් නොකළහ. උන්වහන්සේගේ චරිතවත්බව ආදර්ශයට ගැනීම සැබෑ බෞද්ධයකුගේ ස්වභාවයයි.

බුදුරජාණන් වහන්සේ සමානාත්මතාවය ඉහළින් අගය කළහ. ගිහි කල රාහුල පුතුට ද මෙත් සිත පැතිර වූහ. සතුරුකම් කළ දේවදත්තට ද මෛත්‍රීය කළහ. සමානාත්මතාවය ප්‍රගුණ කළ අයගෙන් සමාජයේ කිසිවෙකුට අසාධාරණයක් වන්නේ නැත.

අප ශාස්තෘන් වහන්සේ අටලෝ දහමින් කම්පා නොවූ ආකාරය, උන්වහන්සේගේ මහා කරුණාව, අගතිගාමී නොවීම, නම්‍යශීලීත්වය, සෘජු බව, නිවැරැදි තීන්දු තීරණ ගැනීමේ ස්වභාවය, නිවැරැදි දැක්ම, ශ්‍රී සදහම් මග යන අප විසින් ද ජීවිතයට පුරුදු කළ යුතුම ය.

අද බොහෝ දෙනෙකුට තැනට සුදුසු නුවණ මද ය. විවිධ සමාජ අභියෝග හමුවේ වැරැදි තීරණවලට එළැඹෙන්නේ එහෙයිනි.

එහෙත්ඒ තීරණ මහා විනාශයක මුලවිය හැකි ය. වෛශාඛ්‍ය දිනය සැබෑ ලෙස සැමරීම යනු අප, අපගේ ශාස්තෘන් වහන්සේ දෙසූ මඟයාම ය. උන්වහන්සේගේ ජීවිතාදර්ශය අපගේ ජීවිතවලට ද ළං කර ගැනීම ය. ඒ සඳහා අප්‍රමාදී වන්නට මේ වෙසක් පුන් පොහෝ දා නොබිඳෙන අධිෂ්ඨානයක් ඇති කර ගනිමු.

පවුලක වේවා, සමාජයක වේවා යහපත් පැවැත්මට අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ගරුත්වය ඇවැසිම ය. සංවේදී බව අවැසි ය. එකමුතුකම ගිලිහුණ තැන ඕනෑම සතුරෙකුට ළං වීම පහසු ය. ඊර්ෂ්‍යාව, තරහව, කුහකකම, ක්‍රෝධය පසෙක ලා අප එකිනෙකා පිළිබඳව සිතමින් බැඳී සිටිය යුතුව ඇත. එවිට අපට එරෙහිව එන කිසිදු සතුරෙකුට අපට ළං විය නොහැකි වනු ඇත.

වටු වැද්දාගේ කතාවේ වටු කුරුල්ලන් පළමුව බේරී ගියේ එකමුතුකම නිසා ය. තමන්ගේ ලාභය සිතන්නට ගොස් දෙවන වර ඔවුන් සියල්ලෝ ම විනාශයට පත් වූහ. ආත්මාර්ථකාමී වූයේ නම් අපට ද එවැනි අත්දැකීම්වලට මුහුණ දෙන්නට වීම වැළැක්විය නොහැකි ය. එහෙයින් පළමුව අපි සමගි වෙමු. එවිට සතුරාට ජයගත නොහැකි ය.

ඔබ සැමට තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X