Temples of Sri Lanka

ලොව දිනන්නේ මෙත් සිතයි

සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සූපිනං පස්සති, මනුස්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති, දේවතා රක්ඛන්ති, නාස්ස අග්ගිවා විසංවා සත්ථාංවාකමති, තුවටං චිත්තං සමාධියති, මුඛ වණ්ණෝ විප්ප සීදනි, අසම්මුලහෝ කාලං කරෝති, උත්තරිං අප්පටි විජ්ඣනෙත් බ්‍රහ්ම ලෝකුපගෝහෝති.

සමවතට සමවැදුණා සේ සුව සේ නිදයි. පිපීගෙන එන පියුමක් සේ සුව සේ පුබුදියි. නපුරු සිහින නොදකියි. මිනිසුනට පි‍්‍රයවෙයි. අමනුෂ්‍යයනට ප්‍රිය වෙයි. දෙවියෝ ආරක්ෂා කරති. සිරුර ගිනි නොගනී. වස විස නොකැවේ. සිත වහා සමාධි වේ. මුහුණ ඉතා පි‍්‍රය වේ. නොමුළාවම නිදි ගත් සේ කලුරිය කරයි. රහත් ඵලය නොලැබෙතොත් බඹලොව උපදියි.

මේ උක්ත සඳහන් පාඨයේ සරල තේරුමයි.

මෛත්‍රී වඩන තැනැත්තාට මෙලොවදීම මෙම සම්පත් ලැබෙයි.

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බඹවිහරණ වලින් මෛත්‍රී බ්‍රහ්ම විහරණය වන්නේ සිත තුළ හටගන්නා ක්‍රෝධය වෛරය, ද්වේෂය, දුරු කිරීම යි. ක්‍ෂාන්තිය ඇති කර ගැනීම යි.

දුටෙඨා ඛො ආවුසො දොසෙන අභිභුතො පරියාදින්න චිතෙතා පාණමපි හන්ති

මහණෙනි, ද්වේෂයෙන් දූෂිත වූ අභිභූත වූ හාත්පසින් අල්ලා ගන්නා වූ සිත් ඇත්තහු ප්‍රාණඝාතය කරන්නේ ය. මෛත්‍රී සිත නැති තැනැත්තාට ඕනෑම සත්ත්ව මනුෂ්‍ය ඝාතනයක් කළ හැකිය. ඔහු තුළ සෞම්‍ය සිතක් නොමැත.

මෛත්‍රීය වැඩීම වන්නේ සිත තුළ පවත්නා ක්‍රෝධය, වෛරය, ද්වේෂය, දුරුකර ගැනීමයි. ඒ සඳහා ප්‍රථමයෙන් තමන්ට මෛත්‍රීය කරගත යුතු ය. නිතැතින්ම තමන් තුළ තමන්ට මෛත්‍රී ඇත. තමන් දියුණුවන තමන්ට ධන සම්පත් ලබන්න යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම් ලබන්න ඕනෑ කෙනෙක් කැමති වෙයි. එසේනම් තමන්ට මෛත්‍රී කර ගැනීමක් අමුතුවෙන් අවශ්‍ය ද යන්න ප්‍රශ්නයකි. නවක භාවනා යෝගියා තමන් වෙත මෛත්‍රීය ඇතිකර නො ගතහොත් ඔහුට අනෙක් අයට මෛත්‍රී වැඩීම, අසීරු ය. තමන් වෙත මෛත්‍රිය ඇතිකර ගත් විට මා මෙන්ම මාගේ මවුපියන් ද ගුරුවරුන්ද ඤාතීන්ද සුවපත් වේවා. ආදී වශයෙන් මෛත්‍රීය පැතිරවිය හැකි ය.

නවක භාවනායෝගියා ‘අහං අවේරෝහෝමි, අඛ්‍යාපජ්ඣොහෝමි, අනීඝොහෝමි…” ආදී වශයෙන් නොදන්නා පාලි පාඨ පටලවා නොගෙන තමන්ට තේරෙන භාෂාව අනුව මෙත් වැඩිය යුතු ය.

මනස දියුණු යෝගාවචරයාට නම්, මෙය ප්‍රශ්නයක් නොවේ. තමන්ට තේරෙන අන්දමට සිතිවිලි සකස් කර, භාවනා කිරීම හොඳම ක්‍රමය යි.

පළමුව මෛත්‍රී වඩන කළ අප්‍රිය, අතිප්‍රිය, මධ්‍යස්ථ, හා වෛරී අයට මෛත්‍රී නො කළ යුතුය. සිත මෛත්‍රියට යොමු නොවී අපි‍්‍රය පුද්ගලයාට මෛත්‍රී කළ නොහැකි ය. අති පි‍්‍රය පුද්ගලයාට , මෛත්‍රී වැඩීමෙන් ඔහුට යම් දුකක් වූ විට තමන්ට එය ඉසිලිය නොහැකි වන්නේ ය. වෛරී පුද්ගලයාට එක්වරම මෛත්‍රී කළ නොහැකි ය.

නිදුක් නිරෝගී සුවපත් වේවා කියා සිතුවත් හිත යට ඇත්තේ ඔහු කෙරෙහි තරහවකි. වෛරයකි. ස්ත්‍රීන් පුරුෂයන්ටත්, පුරුෂයන් ස්ත්‍රීන්ටත් මෛත්‍රී‍්‍ර කිරීම නුසුදුසු ය. එතැන ඇතිවන්නේ රාගයකි.

වෛරී ඇත්තෝ අවෛරී වෙත්වා, සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, කියා තමන් සිතුවත්, තම ක්‍රියා දියුණු නැතිනම්, යටි සිත තුළ එම අය කෙරෙහි තරහවක් ඇත්තේම ය. එබැවින් මම කිසිවකු සමඟ තරහ නොවෙමි. මට කිසිම තරහකාරයෙක් නැත. සියල්ලෝම මගේ මිත්‍රයෝ ය යනුවෙන් තමන්ට අහිත අය මිත්‍රයින් වශයෙන් සිතේ තැන්පත් කරගත යුතු ය.

තමන් හා නිතර ගැටෙන දෙය පිළිබඳ අවධානයෙන් සිටීමෙන් පහසුවෙන් සිත තැන්පත් කරගත හැකි ය. සියල්ලගේම භාව භෝග සම්පත් සරුවේවා. සරුසාර අස්වැන්න ලැබේවා.

සතුන්ගෙන් කරදර නොවේවා.

ස්වභාව ධර්මයෙන් කරදර නොවේවා

වර්ෂායෙන් නියඟයෙන් භවභෝග විනාශ නොවේවා

සැපවත් ජීවිතයක් ගෙන යෑමට හැකි වේවා

කරන රැකී රක්ෂාදිය බාහිර කරදර නොවේවා

රැකියා ස්ථානයේ සමගිය සමාදානය වැඩේවා

ආදී වශයෙන් තමාට පෙනෙන පරිසරයේ සිටිනා අයට මෛත්‍රී වැඩීමෙන් වහ වහා සිත මෛත්‍රීයට හුරුකර ගත හැකි ය.

කිසි මනුෂ්‍යයකුට හිසේ රෝගයක්වත් නොවේවා

දෙකන්වල රෝගයක්වත් ඇති නොවේවා

දෑසේ රෝගයක්වත් ඇති නොවේවා

නාසයේ රෝගයක්වත් ඇති නොවේවා

මුඛයේ රෝගයක්වත් ඇතිනොවේවා

බෙල්ලේ රෝගයක්වත් ඇති නොවේවා

දෑතේ රෝගයක්වත් ඇති නොවේවා

පපුවේ රෝගයක්වත් ඇති නොවේවා

දෙපයේ රෝගයක්වත් ඇති නොවේවා

මෙසේ හිසේ සිට දෙපතුල දක්වාම මෛත්‍රී සිත් පහළ කරගැනීම හුරුපුරුදු කරගත යුතු ය. සියලු සතුන්ටම මෛත්‍රී කරනවිට අපා, දෙපා, සිවුපා , බහුපා ආදී සියලු සතුන්ටම මරණ බිය නොවේවා, නිදහසේ ජීවත් වීමට ලැබේවා, ආහාරපාන ලැබේවා, සතුරු කරදර නොවේවා, ආදී වශයෙන් මෛත්‍රී කළ යුතු ය.

අපාගත පේ‍්‍රත ආදීන්ටද ඔවුන්ගේ දුකින් නිදහස්වීමට මෛත්‍රී වැඩිය යුතු ය. දිව්‍ය, බ්‍රහ්ම ආදීන්ගේ සැප සම්පත් තවත් වැඩි දියුණු වේවා’ යි මෛත්‍රී කළ යුතු ය.

කෙනෙක් භාවනා කළත් වෛරය, ක්‍රෝධය තම හිතෙන් නොගිලි හේ නම් මෛත්‍රී සිතක් ඇති නොවේ නම් තමන්ටම අවවාද කරගත යුතු ය. ඇයි මම කෙනෙකුට ක්‍රෝධ කරන්නේ? ඇයි මම කෙනෙකුට වෛර කරන්නේ? ඇයි මම කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ? එය මටම අනර්ථයක් නොවේ ද? ඇයි මම ද්වේශ කරන්නේ? ද්වේශය මට අයිති නැත. එය මට ලැබුණු දායාදයක් නොවේ. එය මගේ උත්පත්තියෙන් ලැබුණු දෙයකුත් නොවේ. එය මගේ ඥාතියෙක් ද නොවේ. එසේ නම් ඇයි මම ද්වේෂයට වහල් වන්නේ? ඊර්ෂ්‍යා වෛර, ක්‍රෝධ ද්වේෂ කළොත් මට සුගතියක් නැත. අද මට මනුෂ්‍ය ආත්මයක් ලැබී ඇත්තේ මම පෙර කළ කුසලයට යි. මම ද්වේශ , වෛර, ඊර්ෂ්‍යා කළොත් මට නැවත කිසිදාක සුගති ආත්මයක් නොලැබෙයි. මට හිමිවන්නේ දුගතියයි. මම මෛත්‍රී කළාට මට වන පාඩුවක් නැත. මගේ සිත මම මෙල්ල කරගනිමි. මම කිසිවකුට වෛර නොකරමි. කිසිවකුට ද්වේෂ නොකරමි. කිසිිවකුට ඊර්ෂ්‍යා නොකරමි. සියල්ලගේම සැප ප්‍රාර්ථනා කරමි. මම බුදුපියාණන් වහන්සේ අනුව යමි. මම සැබෑම බෞද්ධයෙකු වෙමි යැයි තමන්ටම අවවාද කරගෙන සිත මෙල්ල කරගත යුතු ය. වල් පැළ වැවේනම් රෝපණය කරන මල් ගස නො වැවෙයි. මල් ගස වැවීමට නම් සියලු වල් පැළ ගලවා දැමිය යුතු ය. එමෙන්ම මෛත්‍රීය වැඩීමට ක්‍රෝධ, මාන, ඊර්ෂ්‍යා ද්වේශ ආදී සියලු කෙලෙස් මුලින්ම උපුටා දැමිය යුතු ය.

සිත යනු චපල දූෂිත වූවක්. එය මෙල්ල කිරීම අපහසු ය. සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගි, සුවපත් වේවා කියා කොතරම් සිතුවත් මෛත්‍රීය සිත තුළ නොපිහිටියේ නම් එතැන මෛත්‍රීයක් නැත.

‘මෛත්‍රීය’ යනු මිත්‍රත්වයයි. ලොව සිටින සියල්ලන්ම මිත්‍රයන් කරගැනීමට උත්සාහ ගන්න. කිසිවකුට හෝ සතුරන් ඇති නොවනවාට, වුවමනා දේ ලැබෙනවාට, දුක් කරදර නැති වනවාට, අනුන්ගේ සිත්වල නපුරුකම් දුරු වී යනවාට, අනුන්ට නින්දා අපහාස නොලැබෙනවාට රෝගාබාධ නැතිවෙනවාට, අන්‍යයන් සතුටින් සමගියෙන් ජීවත්වනවාට කැමැත්ත සිත තුළ පහළ වේ නම් එය මෛත්‍රියයි, මේ මිත්‍රත්වය වඩා ගැනීමට හැකි තරම් උත්සාහ ගන්න. බෝධි සත්ත්ව චරිත මෙනෙහි කිරීමෙන් ද මේ මිත්‍රත්වය නැතහොත් මෛත්‍රීය තහවුරු කරගත හැකි ය.

වනයේ අතරමං ව වළක වැටී සිටි මිනිසා ගොඩටගෙන බේරාගත් බෝසත් වඳුරාට ඒ මිනිසාම ගලකින් තඩි බා මරන්න තැත් කළත්, බෝසත් වඳුරා වෛර කළේ නැත. බෝසත් වඳුරා සිතුවේ, මේ මනුස්සයා කුසගින්න උහුලන්න බැරිවයි මාව මරන්න හැදුවේ. මට ගලෙන් ගහල ඔලුව පැලුව තමා. ඒත් ඔලුව පැලුණා කියලා මේ මනුස්සයට වෛර කරල ඔලුව සනීප වෙන්නෙ නෑනේ? මේ මනුස්සය කුසගින්නෙ ඉන්නෙ. ගමට ගිහින් ඇරලන්න ඕන. බෝසත් වඳුරා තමන් මරන්න හදපු මිනිසාටත් මෛතී‍්‍ර කළා. ගහෙන් ගහට පැන පැන ගිහින් ගම්මානයට යන්න පාර පෙන්නුවා. මාව මරන්න හැදුවට හොඳ වැඩක් කරන්නම් කියලා ක්‍රෝධ සිතක් උපන්නා නම් කැලෑවෙ අලි, කොටි සිටින ස්ථානයක අරගෙන යන්න තිබුණා. සීලව ජාතකය, ක්ෂාන්තිවාදී ජාතකය, භූරි දත්ත ජාතකය, සංඛපාල , මාතුපෝසක ආදී ජාතක කතාවල සඳහන් බෝසතාණන් වහන්සේගේ මෛත්‍රීය ගැන මෙනෙහි කිරීමෙන් ඔබේ සිතත් මෛත්‍රීයට යොමු කිරීමට උත්සාහ ගන්න.

ඔබේ සිත මෛත්‍රීයෙන් පිරී ගියොත් ඔබට අනෙක් අයට ද පිහිට විය හැකි ය. යම් අයකුගේ දුක් කරදරයකදී ඒ අයට මෛත්‍රී සිතින් සෙත් පතන්න. එම අයට සැනසීම ලැබේ.

යම් අයෙකුගේ හිස ඇම්මක් හෝ ශරීරගත රෝගයක් වේ නම් සෙත් පතන්න. මගේ මෛත්‍රී බලයෙන් මෙම රෝගියාගේ හිසේ ඇම්ම සුව වේවා. පපුවේ ඇම්ම, අතේ් ඇම්ම කුසේ ඇම්ම සුව වේවා. වේදනා නැතිවේවා ආදී වශයෙන් කියමින් සෙත් පතන්න.

යමකුට සර්පයෙක් දෂ්ට කර ඇත්නම් මම සියලු සතුන් වෙත මෛත්‍රී කරමි. මගේ මෛත්‍රී බලයෙන් මෙම රෝගියාගේ ශරීරගත වී ඇති විෂ නැතිවේවා. මෙම රෝගියාට සුවය ලැබේවා කියා සෙත් පතන්න. යමකුට සර්පයෙක් දෂ්ඨකර ඇත්නම් මම සියලු සතුන් වෙත මෛත්‍රී කරමි. මගේ මෛත්‍රී බලයෙන් මෙම රෝගියාගේ ශරීරගත වී ඇති විෂ නැති වේවා. මෙම රෝගියාට සුවය ලැබේවා කියා සෙත් පතන්න. ඔබේ මෛත්‍රී බලයෙන් එම රෝගියා සුවපත් වෙයි. මෛත්‍රීයෙන් සමාධියට පත් සිතෙන් සකල සත්ත්වයාටම ශාන්තිය ලබාදිය හැකි ය.

ඔබේ භාවනා සිත නොමඟ යවන සතුරු පිරිසක් ද සිටින බව අමතක නොකරන්න. ඒ පංච නීවරණයි. නීවරණ නම් බාධා කිරීම නැතහොත් අවහිර කිරීමයි.

එනම්, 1. කාමච්ඡන්දය – ඉඳුරන් පිනවීමට පස්කම් සැපයට ඇති කැමැත්ත

2. ව්‍යාපාද – ද්වේශය නැතහොත් තරහව

3. ථීනමිද්ධ – කම්මැලිකම නැතහොත් අලසකම

4. උද්ධච්ච කුක්කුච්ච – නොසන්සුන්කම සහ පසුතැවීම

5. විචිකිච්ඡා – සැකය (බුද්ධා දී අටතැන්හි සැකය)

මේ පංචනීවරණ ඔබේ සිත විපිළිසර කරයි. නීවරණවලින් අත් නොමිදුණ හොත් ඔබේ සිත භාවනාවට එකඟ කර ගත නොහැකි ය.

කාමච්ඡන්දය යනු, පසිඳුරන් පිනවීමට ඇති කැමැත්තයි. ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී ඉන්ද්‍රිය පිනවීමට ඔබ කරන උත්සාහයයි. ආශ්වාදය තෘප්තිය ලැබීමට කැමැත්තයි. පසිඳුරන්ට වහල්වීමයි. මෙයට ප්‍රධාන වන්නේ සිතයි. සිතට වහල්වීම නිසා ඔබ මං මුළා වෙයි. පංච ඉන්ද්‍රියයන්ගේ ග්‍රහණයෙන් ඔබගේ මනස නිදහස් කර ගන්න. ඔබ ඔබටම අවවාද කරගන්න. මම භාවනා කරන්නේ මගේ සිත තැන්පත් කරගෙන සසර දුකින් අත්මිදීමට යි. මට ඇසෙන පි‍්‍රය හෝ අපි‍්‍රය ශබ්ද මම සිතට නොගනිමි. මට එන ගඳ සුවඳ මම ආඝ්‍රාණය නොකරමි. මෙත් සුවඳ පමණක් මම වැළඳ ගනිමි. මට ලැබෙන දර්ශන මම ප්‍රතික්ෂේප කරමි. මෛත්‍රී දර්ශනය පමණක් ලබමි. මගේ දිවට ලැබෙන රසය විනාඩි ගණනකට පමණ ය. මම ඒ රසයට මුළා නොවෙමි. මෛත්‍රී රසයම විඳිමි. මගේ ශරීරයට ලැබෙන රස ස්පර්ශ තාවකාලික ය. එයින් මගේ් සිත විපිළිසර කර නොගනිමි. මෛත්‍රියම ස්පර්ශ කරමි. මෙසේ සිතා ඔබේ සිත දමනය කර කාමච්ඡන්ද නීවරණය දුරුකර ගන්න.

‘ව්‍යාපාද’ වන්නේ, ද්වේෂය නැතහොත් තරහවයි. කෙනෙකු සමඟ තරහ වන්නේ, වැට මායිමකට නැතහොත් කිසිම ප්‍රයෝජනයක් නැති සුළු කරුණකටය. එසේ නැතහොත් ඔබ තුළ පවත්නා තණ්හාව, ඊර්ෂ්‍යාව, ආදිය නිසා ය. එසේ වූ විට ඔබ ඔබටම අවවාද කර සිත සකස් කර ගන්න. මා තරහ වූවා කියා, කෙනකුට පාඩුවක් නැත. එයින් මට ලැබෙන, සම්පතක් ද නැත. එනිසා මම කිසිවකු සමඟ තරහා නොවෙමි. සියල්ලෝම මගේ මිතුරන් ය. කියා සිතා ව්‍යාපාදයට යෑමට නොදී ඔබේ සිත මෙල්ල කර ගන්න. ථිනමිද්ධ යනු, අලස බවයි. අතපය රුදාව, කොන්ද කැක්කුම ඇතිවන්නේ භාවනාව හරිහැටි තමාට නොපිහිටීම නිසයි. ඔබේ ඉඳුරන්ට ඔබම අවවාද කරන්න. පොළොවට දිරා යන අස්ථිර වූ මේ ශරීරය මගේ නොවේ. සෝදා, නහවා කවා පොවා, ඔබට අවශ්‍ය දෙය කළෙමි. එනිසා ඔබ මට කරදර නොකළ යුතු ය. මා මේ ස්ථානයේ වාඩි වූයේ සිත එකඟකර භාවනා කිරීමටයි. ඔබ කැක්කුම් කළත් මම එය නොසලකමි. මම මගේ සිත දැඩිව තබා ගනිමි. අලසකම දුරුකරමි. මම මගේ සිත එකඟ කර භාවනාවේ ;යදෙමියි සිතා, සිත දැඩිකර ගන්න.

‘උද්ධච්ච කුක්කුච්ච’ යනු නොසන්සුන්කම හා පසුතැවීමයි. සිත නොසන්සුන් වන්නේ, තමා ලැබූ දෙයින් සෑහීමක පත් නොවීම නිසයි. ලැබූ දෙය තිබිය දී තව තවත් දේ සොයා යෑම නිසයි. ගේ දොර බඩුමුට්ටු, ඉඩකඩම්, ආදී සෑම දෙයක් තිබුණත්, තෘප්තියට පත් නොවී, සිත තව තව දේ සොයා අයාලේ යෑමයි. ලද දෙයින් සතුටු වීමට සිත සකස්කර ගන්න. මගේ අඹුදරුවන් රැකීමට මේ සම්පත් හොඳටම ප්‍රමාණවත් යැයි සිතන්න. අනෙක් කරුණ වන්නේ පසුතැවීම යි. ඔබ අතීතයේ කළ වැරැදි සිහි වී සිතෙන් පසුතැවෙයි. නොදැනුවත්ව ඔබ කළ ඒ වැරැදිවලට ඔබ ඔබටම සමාව දෙන්න. නැවත කිසිම වරදක් නො කරන බවට ඔබම ගිවිසගන්න. මිනිසුන් නව සිය අනූ නවයක් මැරූ අංගුලිමාල පසුව මහ රහතන් වහන්සේ නමක් වූ අයුරු සිතන්න. විචිකිච්ඡා යනු සැකයයි. සැකය ඇතිවුවොත් කිසිවිටක භාවනාවෙන් ඵල නොලැබෙයි. බුදු කෙනෙක් සිටියා ද? ධර්මය ඇත්තක් ද? නැවත උපදිනවාද? කාටවත් මෛත්‍රී කරලා මට වැඩක් වෙයිද? මෙලෙස සැක සහිතව භාවනා කළහොත් එයින් ප්‍රයෝජනයක් නොලැබෙයි. උගතුන්ගේ ගරුතර සංඝ රත්නයේ අවවාද ලබාගෙන විශ්වාසය ඇතිකර ගන්න. මෙම පංචනීවරණ ඔබ සිතින් ඉවත් කර ගතහොත් නිසැකයෙන්ම ඔබට මෛත්‍රී භාවනාවේ නියම රසය ලබාගත හැකිය.

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

 

You might also like
en English
X
X