Temples of Sri Lanka

මානව වර්ගයා වෙනුවෙන් බෞද්ධ කැපවීම

ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා හිමියන්ගේ අසූ අට වැනි ඡන්ම දිනය නිමිත්තෙන් පවත්වන්නට යෙදුණු බහුභාෂා විද්වත් සමුළුව පසුගිය බ්‍රහස්පතින්දා ( 2023.07.06) දින කැළණිය විශ්වවිද්‍යාලීය පරිශ්‍රය තුළ විද්වත් භික්ෂූන් වහන්සේලා සහ ගිහි භවතුන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලැබිනි.

මෙහිදි දලයි ලාමා හිමියන් සහ ටිබෙට් බුදු සමය අළලා කෙරුණු පර්යේෂණ පත්‍රිකා රැසක් ඉදිරිපත් කරමින් උපාධිධාරීන් විසින් පර්යේෂණ ඉදිරිපත් කිරීම විශේෂත්වයක් වූ අතර එය ශ්‍රී ලංකාව තුළ ටිබෙට් බුදු සමය මුල් කරගනිමින් කෙරුණු පළමු හා විශාලතම ශාස්ත්‍රීය කතිකාවතයි.

මෙම වැඩකටයුත්ත ආරම්භ කරමින් ප්‍රධාන දේශනය සිදු කරන ලද්දේ ඉන්දියාවේ සාරානාත් විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ටිබෙට් බුදු සමයේ විශිෂ්ට උගතකු ලෙස සැළකෙන ජ්‍යේෂ්ඨ මහාචාර්ය Geshe Ngawang Samten ස්වාමින්වහන්සේ විසිනි. උන්වහන්සේ එහිදී ටිබෙට් බුදු සමයේ මූලික සංකල්පයන් මානව සංහතියේ යහපත් දියුණුව පිණිස යොදාගත හැකි ආකාරය පිළිබඳව වඩාත් ප්‍රායෝගික හා ශාස්ත්‍රීය එළැඹුමකින් යුතුව දේශනයක් සිදු කරන ලදි.

මානව සංහතියේ ඉදිරි ගමන වෙනුවෙන් තිබ්බතීය බුදු සමයේ සංකල්ප කෙසේ යොදාගත යුතුද, ඒවායේ ඇති දාර්ශනික සහ සංස්කෘතික හරයන් කවරේද? යන්න පිළිබඳව මෙහිදී විද්වතුන් අතර කතිකාවට ලක් වීම විශේෂත්වයකි.ලෝක සාමය, මානව දයාව, කරුණාව වැනි සංකල්ප පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කරන බුදු සමයේ එක් ශාඛාවක් ලෙස ටිබෙට් බුදු සමය හඳුනාගත හැකිය. එහි මෙන්ම සමස්ත බුදු සමයේම වත්මන් නායකයා එස කටයුතු කරනු ලබන්නේ 14 වැනි ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ය. උන්වහන්සේ ධර්මයේ හරය තමා වෙතට යොදා ගනිමින් ප්‍රායෝගික ජීවිතයක් ගත කිරීම පිළිබඳව ද මෙම කතිකාවත තුළ සංවාදයට ලක් විය.

දේශීය විද්වතුන් ලෙස මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස වැඩමවන ලද්දේ අතිපූජ්‍ය ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනායක මාහිමිපාණන් වහන්සේයි. මීට අමතරව අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංස මහනායක හිමියන්, අතිපූජ්‍ය මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර අනුනායක හිමියන්, අතිපූජ්‍ය ආචාර්ය වලේබඩ ගුණසිරි අනුනායක හිමියන්, අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි අනුනායක හිමියන්, අතිපූජ්‍ය ආචාර්ය ඇලිකේවල සීලානන්ද හිමියන්, මහාචාර්ය ලෙනගල සිරිනිවාස හිමියන්, ජ්‍යේෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමියන්, කථිකාචාර්ය දෙණියායේ පඥාලෝක හිමියන් යන ස්වාමීන් වහන්සේලා සහභාගී විය.

තව ද දේශීය ගිහි විද්වතුන් ලෙස කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය M.M ගුණතිලක මහතා (අංශාධිපති සමාජ විද්‍යා ඒකකය), මහාචාර්ය K.B ජයවර්ධන මහතා, ආචාර්ය මනෝජි හර්චන්ද්‍ර මහත්මිය ඇතුළු විද්වතුන් රැසක් සහභාගී වූ අතර විශේෂ ආරාධනා සහිතව මෙම වැඩසටහන සඳහා ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා, මහාචාර්ය උදිත ගුරුසිංහ මහතා, මහාචාර්ය ජයන්ත වත්තේවිදාන මහතා, ආචාර්ය චමින්ද ජී ගමගේ මහතා, ආචාර්ය අනුරාධ මහාසිංහ මහතා යන විද්වතුන් සහභාගී විය.

ටිබෙට් බුදු සමයේ ශ්‍රී ලාංකේය ප්‍රවර්ධනය පිණිස නිතැතින්ම කැපවී සිටින “බෞද්ධ සහෝදරත්ව පදනම” මූලිකව කැළණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පීඨය, දර්ශන අධ්‍යනාංශය සහ භාෂා අධ්‍යනාංශය එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ජ්‍යේෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමියන්, මහාචාර්ය K.B ජයවර්ධන මහතා, සංජීවනී රූපසිංහ මහත්මිය, ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා, ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය යන විද්වතුන් සුවිශේෂි දායකත්වයක් ලබා දෙන ලදි.

 

පූජ්‍ය ශාස්ත්‍රපති ගුරුගොඩ සිරිවිමල හිමි

You might also like
en English
X
X