සත් හට සෙත් දෙන ලෝක දිවාකරයාණෝ
මහා කරුණාවේ සහ මහා ප්‍රඥාවේ ජීවමාන ප්‍රතිමූර්තිය බුදුන් වහන්සෙයි…
මුළු මහත් ලෝකවාසීන් වෙත පුළුල් සේවාවක් සිදුකළ හැකි වූයේ මහා කරුණාවත් මහ ප්‍රඥාවත් නිසාවෙන්මයි.
අන් අයගේ දුක දැක කම්පිත වන හදවතක් ඇති හෙවත් අනුකම්පාව කරුණාවට පෙරලූ උන් වහන්සේ ලෝකයේ සියලු සත්වයන් අභිබවා ගිය මහා කරුණාවක් බුදුරජාණන් වහන්සේට පැවතුණු බැවින්, කිසිවෙකුටත් සමකළ නොහැකි බැවින්, උන්වහන්සේ අසම නම් වූහ.
සමාන කළ හැක්කේ තවත් බුදුවරයෙකුටම පමණකි. එබැවින් අසමසම නම් වූහ.
සසර අනන්ත අප්‍රමාණ කාලයක් පාරමිතා පුරමින් කරුණාව ප්‍රගුණ කරමින් පැමිණ සිදුහත් නමින් ලොව පහළ වී සම්බුද්ධත්වයට පත්වූ මහාකාරුණිකයාණන් වහන්සේ ලෝක සත්ත්වයාට විමුක්ති මාර්ගය පෙන්වා දුන්හ.
දීපංකර පාද මූලයේදී සුමේධ තාපසයා නම් ව සිටියදී තමා අතටපත් නිවන් සැපත අත්හැර දමමින් නැවතත් සංසාර ගමනට අවතීර්ණ වූයේ බෝධිසත්වයන් වහන්සේගේ ළයෙහි උපන් කරුණා ධාරාව නිසාය.
“බුද්ධෝහං බෝධ ඉස්සාමි
මුත්තෝහං මෝචයේ පරේ
තිණ්ණෝහං තාර ඉස්සාමි
සංසාරෝගා මහබ්බයා”
යනුවෙන් තමා බුද්ධත්වය ලබා සෙසු අයටද ධර්මාවබෝධය ලබා දෙන්නෙමි. තමා දුකින් අතමිදී ලෝක සත්වයාද දුකින් අත මුදා ගන්නෙමි. සංසාරය නමැති භයංකාර වූ මහා සාගරයෙන් තමා එතෙර වී සෙසු අයද එතෙර කරවන්නෙමි. යන පරම පවිත්‍ර චේතනාව උන්වහන්සේ තුළ පැවති නිසා සසර ගමනට අවතීර්ණය වූහ. එය කරුණාවේ මහිමය නිසාම සිදුවූවකි. වෙස්සන්තර රජ දවස තම දරු දෙදෙනා දන් දෙන්නේ ද මන්ත්‍රී බිසව දන් දෙන්නේ ද දුකට පත් ලෝ සතුන් දුකින් එතෙර කරවීමේ අභිලාෂයෙනි.
මෙලෙස පියවරින් පියවර වර්ධනය කරගත් කරුණාව බුද්ධත්වය අවබෝධයෙන් පසු මහා කරුණාවක් බවට පත්විය.
අවසන් භවයේදී 29 අවුරුද්දක කාම සුඛල්ලිකානු යෝගය අතහැර දැමුවේත්, දුෂ්කර ක්‍රියාව නම් වූ අත්තකිලමතානු යෝගය ද යන පිළිවෙත් දෙකින්ම ඈත් වී මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළේ මහා කරුණාව පහළ කරගෙන ලෝක සත්වයා සුඛිත – මුදිත කරලීමටයි. බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව පන්සාලිස් වසරක කාලය තුළ මහාකරුණාව පෙරදැරි කරගනිමින් අප්‍රමාණ ලෝක සත්වයිනට පිහිට වූ බුදුරජාණන් වහන්සේ හැඳින්වූයේ මහා කාරුණිකෝ නාථෝ, කරුණා සීතල හදයං යන ගුණ නාමයන්ගෙනි.
සාමාන්‍ය පුද්ගලයින් තුළ කරුණාව ඇතිවන්නේ කරනු ලබන උදව්වට ප්‍රත්‍ය උපකාර බලාපොරොත්තුවෙනි. නමුත් බුදුරදුන් තුළ එවැනි අල්පමාත්‍ර අපේක්ෂාවක් නොවීය.
එසේම සාමාන්‍ය මිනිසුන්ට කරුණාව ඇතිවන්නේ අන් පුද්ගලයින්ට සිදුවන දුක්ඛදායි අවස්ථාවන්හි දී පමණි.
සැපවත්භාවයෙන් සිටින පුද්ගලයින් කෙරෙහි කරුණාවක් නූපදී.
නමුත් බුදුරදුන් දුකට පත්වූ නොවූ සියලු දෙනා කෙරෙහි කරුණාව දැක්වූහ. මන්දයත් සියල්ලෝම සංසාරය නමැති දුකට හසු වී ඇති නිසාය. සාමාන්‍ය පුද්ගලයින් තුළ ඇතිවන කරුණාව, පුද්ගලයාගෙන්, පුද්ගලයාට අවස්ථාවෙන් අවස්ථාවට ස්ථානයෙන් ස්ථානයට වෙනස්ය. එහෙත් බුදුරදුන්ගේ කරුණාව ජාති, කුලමල, ආගම් නිසා හෝ උස්බව නිසා මිනිසුන්, සතුන් කෙරෙහි වෙනස් නොවූ හ.
සියලු දෙනාට ඇති වුයේ් එකම කරුණාවකි. ලෝක සත්වයින්ට සෙත සැලසීමේදී බුදුරදුන් දෛනික ජීවිතය තුළ ඉතා ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කළහ. පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසුළුයම් කිස වශයෙන් දවස කොටස් පහකට බෙදා දවසේ වැඩකටයුතු ඇරඹීමේදී මුලින්ම සිදුකළේ මහාකරුණා සමාපත්තියට සමවැදීමයි.
පිහිටවිය යුතු පුද්ගලයා කුමන ස්ථානයක සිටියද එතැනට වැඩමකොට ඔහුට හෝ ඇයට පිහිට වෙමින් සැනසුම උදාකර දුන්හ.
බුදුරදුන් පිහිට වූ අප්‍රමාණ අය අතර, සුනීත, සෝපාක, පටාචාරා, කිසාගෝතමී, රජ්ජුමාලා, මට්ටකුණ්ඩලී ආදී බොහෝ පුද්ගලයෝ වූහ. බුදුරජාණන් වහන්සේගේ් මහාකරුණාව යොමු වී සුවපත් වූ සත්වයන්ගේ ගණන අනන්තය. බුද්ධත්වයට පත් වූ මොහොතේ පටන් පරිනිර්වාණයට පත්වන මොහොත දක්වා අනන්ත සත්ව ප්‍රජාව සුඛී සුවපත් භාවයට පත්වූයේ බුදුරදුන්ගේ කරුණා මහිමය නිසාය.
මළ දරුවා උරහිසමත තබාගෙන ඔහුට බෙහෙතක් සොයමින් ඇවිදගිය කිසාගෝතමිය අනිත්‍ය අවබෝධ කොටගෙන බුදුරදුන් හමුවේ සැනසුම උදාකර ගත්තාය. පියාගේ් කිසිදු හව්හරණක් නොලැබුණු මට්ටකුණ්ඩලී බුද්ධ රශ්මි මාලාව දැක ඇති වූ පහන් සංවේගයෙන් සුගතිගාමී විය. අමුසොහොනක තති කරදමා ගිය සෝපාකටද, දිළිඳු අසරණ පවුලක උපත ලද සුනීතටද බුදුරදුන්ගේ කරුණාබර වදන් සැනසීම පිණිස ඉවහල් විය. බුදුරදුන් තම ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි කටයුතු කළේ දයාබර පියෙකු ලෙසිනි.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී භික්ෂුන්ට ප්‍රකාශ කළේ තමාගෙන් ඇසිය යුතු කවර හෝ ප්‍රශ්නයක් වේ නම් මේ මොහොතේ විචාරණ ලෙසයි. සුභද්ද්‍ර නම් භික්ෂුව බුදුන්ගෙන් ප්‍රශ්න ඇසීමට පැමිණිවිට බුදුරදුන් වෙහෙසට පත්වේවි යැයි සිතා ආනන්ද හිමි ඔහු වැළැක්වීය. බුදුරදුන් ආනන්දයෙනි! සුභද්ද්‍රට පැමිණෙන්නට ඉඩ දෙන ලෙස ප්‍රකාශ කර සිටියේ තමන් වහන්සේගේ් අවසන් හුස්ම පොදේදී පවා තවකෙනකුට සෙතක් සැලසීමේ අභිලාශයෙනි. මේ සියලු කථාවස්තු තුළින් සම්මා සම්බුදුරදුන්ගේ් කරුණා මහිමය මැනවින් පසක් කරනු ලබයි.
ලොව පහළ වූ ශාස්තෘවරයන් අතරෙහි බුදුරජාණන් වහන්සේට අද්විතීය ස්ථානයක් හිමිවූයේ උන්වහන්සේ තුළ පැවැති මහාකරුණාවත් ,මහා ප්‍රඥාවත් නිසාය. මහා කරුණාවෙන් ලොවක් සනසාලූ බුදුරදුන්ට උන්වහන්සේ තුළ පැවැති අධ්‍යාත්මික ගුණකදම්බය, පුළුල් සේවාවෙහි සාර්ථක ඵලනෙලා ගැනීමට උපකාර වූහ.
බුදුරදුන්ගේ මහා කරුණාවට ලක්ව සුඛි සුවපත් වූ සත්වයෝ අමා නිවනින් සැනසීමට පත්වූහ. බුදුරජාණන් වහන්සේ ආගමික සහනශීලි ප්‍රතිපදාව අගය කළ උතුමෙකි.
පුද්ගලයා වැරැදි ක්‍රියාවනට යොමුකරන මිත්‍යා අඳුරට උන්වහන්සේ ආලෝකයක් සැපයුහ. තමන්හට කෙතරම් විරුද්ධවාදීකම් කළත් දේවදත්ත තෙරුණ්ට උන්වහන්සේ අනුකම්පා කළහ. විංචමානවිකාවගෙන් ද, මාගන්ධියා බමුණාගෙන් ද, ආලවක යකුන්ගෙන් ද එල්ල වූ නින්දා අපහාස ඔවුන් කෙරෙහි උපන් කරුණික හැඟීමෙන් යුක්තව ඉවසා සිටියහ. බුදුරදුන් තරමට කාරුණිකව ලෝක සත්වයින් දෙස නෙත්හෙළු උතුම් ශාස්තෘවරයෙකු මිහිපිට නොමැත. එවන් උතුම් ශාස්තෘවරයෙකුගේ දර්ශනය අනුව යමින් බෞද්ධයෝ උතුම් බුදුගුණ සිහියට නැඟිය යුතුය. ධර්මය අනුව ගමන් අරඹමින් තථාගත බුදුපියාණන් වහන්සේට ගෞරව කළ යුතුය.
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood