මේ ජීවිතේ වටිනාකම ගැන හිතන්න…
බොහෝ දේවල් වල වටිනාකම අපට දැනෙන්නේ ඒවා අහිමිව යද්දී.. හැමදාම පවතිද්දී අගය ආශාව නොදැණුන බොහෝමයක් දේවල් වලට අමුතු ආශාවක්, අගයක්, වටිනාකමක් ඒවා නැතිවී යන බව වැටහෙද්දී , නැතහොත් නැතිව ගිය පසු සිතට දැනෙනවා..
නිවැසියන් හා එක්ව සිටින තාක් කල් නොදැනුණු අගය, ආදරය , ඔවුන්ගෙන් ඈත්වෙද්දී දැනෙන්න ගන්නවා.. ළඟ සිටින තාක් කල් අගයක් නොමැතිව තිබු පුද්ගල සබඳතා කෙරෙහි අලුත් ආශාවක්, වටිනාකමක් ඒවා නැතිවද්දී දැනෙනවා. බලයේ සිටිද්දී එපාම වී සිටි රාජ්‍ය නායකයන්, ඔවුන් එම තනතුරුවලින් නික්මෙන විට වැසියන්ගේ සිත් වලට දුකක් එකතු කරනවා. පාසලේ වසර ගණනක් එකට සිට වෙන්ව යන විට මිතුරන්ගේ, ගුරුවරුන්ගේ අගය වැඩිපුර සිතට දැනෙන්නේ අමුතුම හැඟීම් දනවමින්.
මිනිස් සිතේ ස්වභාවය එලෙසය. යමක් ගිලිහී යන විට එය දැඩිකොට අල්ලා ගැනීමට ප්රයත්න දරයි.
වසරක් ගෙවී යන මොහොතක, එම ගෙවුණු වසර පිළිබඳ පෙර නොවූ සෞම්‍ය හැගීම් පැමිණෙයි. මෙලෙසින්ම අප මේ ගෙවන ජීවිතයද අවසාන හුස්ම පොද හෙළන අවස්ථාවට එළඹි විට , ඒ ජීවීතය පිළිබඳව, හිත මිත්‍රාදීන් පිළිබඳව, වතු පිටි දේපළ පිළිබඳව මහත් වූ ලෝභයක්, ආශාවක්, තණ්හාවක් ජනිත වීම කෙතරම් නම් ස්වභාවිකද හා සුලභද යන්න ඔබට පසක් වනු ඇත. කයෙන් හා සිතෙන් දුබලව සිටින, කර්මය, ආයුෂය ආදියේ අවසානයට ළඟා වී සිටින මොහොතක , සතුටින් සියල්ල අතහැර දැමීමට නම් කොයිතරම් මානසික තත්වයෙන් උසස්ව සිටිය යුතුද.. මිය යන සත්වයන් අතරින් නොගිණිය හැකි තරම් පිරිසක් පමණක් නැවත යහපත් උපතක් කරා එළඹෙන බව බුදු රජාණන් වහන්සේ පැවසූවේ කෙතරම් නම් අවබෝධයකින්ද යන්න අපට සිතාගත හැක.
මේ සංසාරයේ කෙදිනකවත් අප නොපැවතී නැත. නොනවතින ගමනක අප සැමවිටම පැමිණිමින් පවතී. අප මේ ලෝකයට බිහිවූ ආරම්භයක් දැකිය නොහැක.
ඇසිපිය ගසන ක්ෂණයකදී කල්ප අනූවක තරම් කාලයක ඉපිද මැරුණු සියළු සත්වයන් දැකිය හැකි තරම් අති ජවන ප්‍රඥාවකින් යුත් බුදුවරයකුට පවා, අන් කිසිඳු වැඩක් නොකර, එකම පුද්ගලයකුගේ සංසාර ගමන ආපස්සට බැලූවද, මුළු බුද්ධ ජීවීතයම ගෙවුණද, එය බලා නිම කළ නොහැක. අපේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ ආයුෂ කාලය අවුරුදු අසූවක් පමණ වූවද, අනෙකුත් බුදුවරයාණන් වහන්සේලාගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු හතළිස් දහස පමණය. එවැනි බුද්ධ ජීවීත කාලයකදී පවා බලා නිමකළ නොහැකි අති දීර්ඝ සංසාර ගමනක් අප සතුව ඇත.
එසේ ගෙවාගෙන පැමිණි සසරේ අප විසින් සිදු කළේද අද අප මේ කරන දේවල්මය. ආහාර ගැනීම, ආහාර සොයා ගැනීම, නිදා ගැනීම, ඉගෙන ගැනීම, රාගාදී ආශාවන් සතපවාලීම, මුදල් හම්බ කිරීම, වර්ගයා බෝ කිරීම ය. සැකෙවින් දක්වනවා නම් ඉඳුරන් සතපවාලීම පමණක්මය. අප තවමත් මෙලෙසින් සසරේ සිටින්නේ එබැවිනි. ඒ සසර පුරා අප විසින් පසුකර පැමිණි බුදුවරු ගණන අසංඛ්‍යය.. ඇතැම් විට බුදුවරු පහළව දහම් දෙසද්දී අප සතර අපායේ පැසෙනවා විය හැක. නැතහොත් මිථ්‍යාදෘෂ්ටිකව සිටින්නට ඇත. නැතහොත් “අද නොවේ හෙටට” කල්දමා සිටින්නට ඇත. කෙසේ හෝ අපට එය මගහැරී ඇත.
නමුත් ඔබ මේ ලිපිය කියවන්නට තරම් අවස්ථාවක් දැන් මේ ජීවීතයේ ලැබී ඇත්නම්…ඔබ පෙනේරයකින් පෙරි පෙරී පැමිණ අවසානයට ඉතිරි වූ රොඩු ටිකක් තරම් දුලබය.. එතරම්ම දුලබය. එතරම්ම සීමිතය. මන්ද ඔබට සම්බුද්ධ ශාසනයක, සද්ධර්මය ජීවමානව පවතින මොහොතක, මෙසේ අවබෝධයක් ගන්නට තරම් පුණ්‍ය ශක්තියක් ශේෂව ඇති බැවිනි.
යම්තම් බහ තෝරන කුඩා දරුවකුට “කිලෝමීටරයක” දුරක් යැයි පැවසූ විට ඔහුට එය අවබෝධ කළ හැකිද ? එය ඔහු දන්නේ නැත. ඒ පිළිබඳව කිසිඳු හැගීමක් එන්නේ නැත. එසේ කියා “කිලෝමීටරය” යන මිනීම නොපවතීද ? ඒ කුඩා දරුවන්ට නොතේරේ කියා අපට කිලෝමීටරය යන දුර මනින ඒකකය ඉවත් කළ හැකිද ? පාරේ හිඟා කන කෙනෙක්ට, ජීවිතයේ ඉතාමත් සාර්ථකත්වයට පත්වූ අයකු විසින් රචිත, සාර්ථකත්වයේ උපදෙස් අඩංගු පොතක් දුන්නොත් ඔහුට එහි අගයක් තිබේද? ඔහු ඒ පොත විසිකරනු ඇත. කිසිදා ඉගෙන ගෙන නැති කෙනෙකුට, ” ස්කන්ධ සංස්ථිති නියමය” කියා දුන්නොත් ඔහුට එය අවබෝධ වේද ? එහි අගය ඔහුට දැනේද ? ආකිමිඩිස්, පයිතගරස්, අයින්ස්ටයින් වැනි අයගේ සොයාගැනීම් ගැන වටිනාකමක් ඔහුට තිබේද ?නමුත් නව නිපැයුම් කරනා විද්‍යාඥයකුට, ඉංජිනේරුවකුට ඒ සොයාගැනීම් වල අගය වටිනාකම මෙතැකැයි කියා නිමකළ නොහැකි වනු ඇත. නමුත් ඒවායේ අගය නොදන්නා පුද්ගලයන් විසින් හෑල්ලු කළ පමණින්, ඉවත දැමූ පමණින් ඒවායේ අගය නැසේවිද ? නැත..
යම්දෙයක අගය වටිනාකම ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂව වෙනස් වේ. කෙනෙක්ට අගයක් නැති දෙයක් තවත් කෙනෙකුට අගයවත් දෙයක් වේ.
ක්ෂණ සම්පත්තියක ලද මේ මිනිස් දිවියක වටිනාකමද එලෙසින්මය.. අපට ඇසුර කරන්නට ලැබෙන ශ්‍රී සද්ධර්මයේ දුර්ලභ බවද එලෙසින්මය.. සංසාර ගමන නවතාලිය හැකි තරම් හැකියාවක් ලබා , අප හිමි කර ගෙන සිටින මේ පංචස්කන්ධයේ අගය අසීමිතය.. නමුත් එය ඒ සා වටින්නේ ඔබ නිවන් අවබෝධයට වීර්යය දරන තාක් පමණි. නැතහොත් එහි පලක් නැත. නිකම් තිරිසන් සත්වයන් වාගේම කා බී විනෝදයෙන්, වර්ගයා බෝ කරමින් කාලය ගෙවන්නේ නම් ඒ ජීවීතය සැබවින්ම හිස්ය.. බොහෝ මිනිසුන් සිතන්නේ අප ඉපිද ඇත්තේ සසරේ යාමට කියාය. එය අපේ මෝඩකම, වැරදීම නිසා සිදුවන දෙයක් බව දන්නේ නැත.
අත්තෙන් අත්තට පනින රිලවා සැමදා ඒ ඔහුට උරුම ජීවීතය ගැන සතුටින් එයම කර කර සිටී. නමුත් අප ඒ දෙස බලා ” අනේ පව්” කියමු. අපද ඒ වදුරාගෙන් වෙනසක් නැත. නිවන් අවබෝධ කරගත් උතුමන්ට, පෘථග්ජන සත්වයන් කෙරෙහි ඇතිවන්නේද එවැනි කරුණාවකි. නොදන්නාක්ම නිසාම භවයට ඇලුම් කරන බව දන්නා නිසාවෙනි.
අපට අගයක් නැති මේ උතුම් මනුෂ්‍ය ජීවිතය දෙස බලා හූල්ලන පිරිස අසීමිතය.. අමනුෂ්යන්, ප්‍රේතයන්, තිරිසනුන් ආදී විවිධ සත්ව කොට්ඨාශ ඔවුන්ට අහිමි වී ගිය, අපට හිමිව පවතින මේ මිනිස් ජීවීතයට අපමණව ඇලුම් කරති. ඇතැම් විට දෙවියන් පවා ආශා කරති. බොහෝ මිනිසුන් මරණින් මතු දිව්‍ය උපතක සිත පිහිටුවන්නට වෙහෙසෙද්දී, ඇතැම් දෙවියන් වෙහෙසෙන්නේ මරණින් මතු මනුෂ්‍ය උපතක් ලබන්නටය. ඒ අන් කවරක් නිසාවත් නොව ධර්මාවබෝධයටය..
මිනිස් ලොව තරම් පින්කම් කිරීමට අවස්ථා නොලැබෙනු ඇත. දුක අවබෝධ කරගැනීමට අසීරු වනු ඇත. නමුත් ධර්මය ජීවමානව ඒ දිව්‍ය තල වල බබළන බව නො අනුමානය. බොහෝ මිනිසුන් විසින් නිගා කරන පින්කම් වලට දෙවියන් නම් සම්බන්ධ වන්නේ “සාධු” කියමින් අනුමෝදන් වෙමිනි. දෙවියන් යනු ශ්‍රද්ධාවෙන් පොහොසත් අයය. ඔවුන් මනුලොව මිනිසුන් සිල් රකිනු බලා, පින්කම් කරනු බලා, භාවනා වඩනු බලා, මග ඵල අවබෝධ කරනු බලා සාධුකාර දෙති. එවැනි මනුෂ්‍යන්ව රකින්නට දෙවියන් ඉදිරිපත් වන්නේ ආරාධනාවකින්ද තොරවය.. දෙවියන්, බ්‍රහ්මයන් තරම් ධර්මයට, බුදු රජාණන් වහන්සේට, සංඝ රත්නයට, ප්‍රිය කරන, ගරු කරන පිරිසක් නොමැති තරම්ය.
ඔබ කොතෙක් පූජා වට්ටි රැගෙන ගොස් පුද පූජා පැවැත්වූවද නොලැබෙන තරම් දේව ආකර්ෂණයක්, ආශිර්වාදයක්, ආරක්ෂාවක්, සිල් රැකීමෙන්, භාවනා කිරීමෙන්, මෛත්‍රිය වැඩීමෙන්, පින් දහම්හි නිරත වීමෙන් ලබා ගත හැකිවනු ඇත. දෙවියන් ප්‍රිය කරන්නේ ඒවාටය..
එසේ අප ලබා සිටින මේ මනුෂ්‍ය ජීවීතයට අසීමිතව ආශා කරන කෝටි ගණන් සත්ව ප්‍රජාව තුළ අප ලබා ඇත්තේ මහත් වූ දුර්ලභ අවස්ථාවකි.
යමක් ගිළිහී ගිය පසු ශෝක වී පළක් නැත. මේ ලත් මිනිස් ජීවිතයද නිකරුණේ ගෙවී ගියහොත් නැවත කල්ප ගණනකට ගොඩ ඒමක් නැත..
බුදු රජාණන් වහන්සේ දෙසූ දහම් පදයක් අසන්නට ඔබ ලබා තිබෙන මේ වරම අති දුර්ලභය.. සමාජයේ අයට එය නොවැටහුණාට කම් නැත. එයටද භාග්‍යක් හිමිව තිබිය යුතුය. එයටද වඩන ලද පාරමී තිබිය යුතුය.
එසේ හෙයින් සමාජය යන අතක යන්නට තබා , මේ අවසන් හෝරාව අප කෙරෙන් ගිළිහී යන්නට ඉඩ නොදෙමු.
එය මෙතෙක් සසර පුරා කරන ලද දේවල්ම කරමින් අපතේ නොයවා, ධර්මය අවබෝධ කර ගැනීමට යොදවමු.
ඒ සඳහා ශක්තිය, ධෛර්යය, භාග්‍ය ඔබ සැමට උදා වේවා…!!!!
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood