නාෂික් වෙත වැඩම කළ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුරය
දුරාතීතයේ පටන් පැවත එන ඉන්දු-ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්වය ශක්තිමත් කිරීම හා සමස්ත බෞද්ධයන්ගේ හිත සුව පිණිස කරන්නට යෙදුණු ඓතිහාසික පුණ්‍ය කර්මයක් පසුගිය ඔක්තෝබර් මස 24 දින පැවැත්වුණි. එනම් අනුරාධපුර ජය ශ්‍රී මහා බොධීන් වහන්සේගේ බෝ අංකුරයක් ඉන්දියාවේ මහාරාෂ්ත්‍ර ප්‍රාන්තයේ නාෂික් වෙත වැඩම කරවීමයි. නාෂික් හි තිරෂ්මි ලෙන් අසල පිහිටි ‘Buddha’s Mark’ නම් පුණ්‍ය භූමියේ බෝ අංකුරය අති උත්සවාකාරයෙන් රෝපණය කරන්නට යෙදුනේ ඉන්දු-ලංකා බෞද්ධ සහෝදරත්වයේ වැදගත් සන්ධිස්ථානයකට මහා ආශිර්වාදයක් වන පරිද්දෙනි.
ඉන්දීය මහාරාශ්ත්‍ර රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව පනස්දහසකට අධික ගිහි හා පැවිදි ජන ගංගාවකගේ සාධුකාර, ජයගෝෂා, පෙරහැර මධ්‍යයේ පවත්වන්නට යෙදුණු මෙම උත්තම කාර්යය සංවිධානය කරනු ලැබූවේ ඉන්දියාව වෙනුවෙන් ‘Shantidoot Charitable Trust’ හි නිර්මාතෘ සහ සභාපති භන්තේ සුගත් හිමියන් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් බෞද්ධ සහෝදරත්ව පදනමෙහි සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාය.
අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ මූලිකත්වයෙන්, සහභාගීත්වයෙන් සහ අනුශාසකත්වයෙන් ඉන්දියාවට බෝධි අංකුරය වැඩමවීමේ අවස්ථාවට අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහනායක හිමියන්, අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක හිමියන්, අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි අනුනායක හිමියන්, අතිපූජ්‍ය කිතලගම හේමසාර අනුනායක හිමියන් සහ අතිපූජ්‍ය හඳගනාවේ විමලධම්ම හිමියන් යන හිමිවරුන් ද බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ අමාත්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් හයදෙනෙකු ද බෞද්ධ සහෝදරත්ව පදනම වෙනුවෙන් එහි සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ද සම්බන්ධ විය.
එමෙන්ම මෙම ඓතිහාසික අවස්ථාව සඳහා ඉන්දියානු රජය නියෝජනය කරමින් මහාරාෂ්ට ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යතුමිය වන භාරතී පවර් මහත්මිය ද ප්‍රාන්ත අමාත්‍යවරු දෙදෙනෙකු ඇතුලු තවත් ප්‍රභූන් පිරිසක් ද සහභාගී විය. තායිලන්තයේ පොන්චායි පලව ධම්මෝ හිමියෝ ද මෙම අවස්ථාවට වැඩම කළහ. එමෙන්ම මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, නේපාලය, බංග්ලාදේශය සහ කාම්බෝජය යන රටවල්වලින් ද මහා සංඝරත්නය විශාල සංඛ්‍යාවක් වැඩම කළහ.
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood