Temples of Sri Lanka

වස්සාන සමය නිමා වී වප් පොහොය උදා වේ

එදවස බුදුන් වහන්සේ සෙසු භික්ෂු සංඝයා සමඟින් ජනී ජනයාව විමුක්ති මාර්ගයෙහි යෙදවීමට දිවා,රාත්‍රිය කැප කරමින් වෙහෙස වූ සේක. වස්සාන කාලයේ වැසි දියෙන් තෙත බරිත වෙමින් පවා උන්වහන්සේ ධර්මය දේශනා කරමින් අපමණ වෙහෙස වූ සේක. නමුත් ජෛනයෝ මෙහිලා ඍණාත්මක ආකල්ප දැරූහ. උග්‍ර අවිහිංසාවාදීන් වන ඔවුහු වස්සාන කාලයේ උපදිනා නව ජීවයන් කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්වූහ. බෞද්ධ භික්ෂුන් වහන්සේලා වස්සාන සමයේදීත් ධර්මය දෙසමින් ඇවිදින කල උන්වහන්සේලාගේ පයට පෑගෙන ජීවින් පිළිබඳ ඔවුහු නිරන්තර කලහ කළහ. එබැවින් බුදුන් වහන්සේ වස්සාන කාලය තුළ භික්ෂූන් වහන්සේලාට වස් විසීම අනුදැන වදාළහ. වස්සාන කාලයෙන් අනතුරුව පෙරවස් පවාරණයට අනුදැන වදාළහ.

බුදුන් වහන්සේ සිය සත්වෙනි වස් කාලය ගත කළේ තව්තිසා දිව්‍ය ලෝකයේ ය. උන්වහන්සේ වස් කාලය ගෙවී යාමෙන් අනතුරුව නැවත මනුලොවට වැඩම කරන ලද්දේ වස්සාන සමය අවසන් වන වප් පොහොය දිනකය. එම පින්බර පොහෝ දින උන්වහන්සේ යමාමහ පෙළහර පෑ බව ද තුන්ලොව කම්පිත වී තිස්කෝටියක් දෙවිවරු සහ භික්ෂූන් වහන්සේලා පන්සියයක් මාර්ගඵල අවබෝධ කරගත් බව ද සඳහන් ය.

මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් ද එදින භික්ෂු ශාසනයට අවතීර්ණ විය.

අවුරුද්දෙහි සෘතු තුනකි. හේමන්ත, ගිම්හාන,වස්සාන. ජූලි මාසයෙන් වස්සාන සෘතුව ආරම්භ වී ඔක්තෝබර් මාසයෙන් නිමා වේ. භික්ෂූන් වහන්සේලා ජූලි මස සිට උත්තම අයති සංවරය තුළ පිහිටා හිඳ පෙරවස් පවාරණය කරන්නේ ඔක්තෝබර් මස යෙදෙන වප් පොහොයේදී ය.

සංඝං භන්තේ පවාරේමි. දිට්ඨේන වා. සුතේන වා, පරිසංකාය වා, වදන්තු මං අ ආයස්මන්තෝ, පස්සන්තෝ පටිකරිස්සාමී” මෙලෙස වදාරමින් පෙරවස් පවාරණය කරන භික්ෂූන් වහන්සේලා හට උපාසක උපාසිකාවෝ එළඹෙන චීවර මාසය තුළ කඨින චීවර සකසා පූජා කරති.
” ඉමං කඨින දුස්සං භික්ඛු සංඝස්ස දේම”

එමෙන් ම ලක්දිව බුද්ධ ශාසනය ස්ථාපිත වීමට මූලික වූ ප්‍රථම විනය සංගායනාව සිදු කරන ලද්දේ ද අදවන් වප් පොහෝ දිනකය. මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා ථූපාරාම සෑ මළුවේදී එම සංගායනාව සිදු කළ සේක.

එමෙන් ම ලාංකීය බෞද්ධයාගේ හිත සුව පිණිස දේවානම්පියතිස්ස රජු ධර්මාශෝක රජුගෙන් කළ ඉල්ලීම පරිදි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වෙන් කිරීමට සැලසෙන කල දක්ෂිණ ශාඛාවෝ ආශ්චර්යවත් ලෙස තෙමේ ම මහා බෝධියෙන් වෙන් ව රෝපණය කිරීමට ගෙනවිත් තිබූ රන් කටාරමේ රෝපණය විය. එම ආශ්චර්යය සිදු වූයේ ද අදවන් උතුම් පුන් පොහෝ දිනකය.

ඔබ සැමට පින්බර වප් පොහෝ දිනයක් වේවා!

 

සහෝදරත්වයෙන් එක්වෙමු

©Buddhist Brotherhood

You might also like
en English
X
X