ඔබගේ සියලු ක්‍රියාවන් මෛත්‍රිය සමග බෙදා හරින්න..
බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, අපි තවත් කෙනෙකුගේ වරදකට දඬුවම් දිය යුත්තේ හෝ කරන ලද වරදට අවවාද කළ යුත්තේ මෛත්‍රී චේතනාවෙන් මය කියලා.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙරාතුව ආනන්ද ස්වාමීන් වහන්සේට අවවාද කරනවා, “ආනන්ද, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව, ඡන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනය නමැති දඬුවම විනයානුකූලව ලබා දෙන්න” ය කියලා.
තම භික්ෂු ජීවිතය පුරාවට අධිමාන්නය නිසා ම, සංඝ සමාජයට අකීකරු වූ ඡන්න භික්ෂුවට බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩනය පනවන්න යැයි අවවාද කරන්නේ, ඡන්න භික්ෂුව කෙරෙහි මහා කරුණාවෙන් මයි. ඡන්න භික්ෂුව උපසම්පදා සීලය තුළ ශක්තිමත්ව පිහිටුවා, උතුම් නිවනේ සැනසීම ලබා දීම උදෙසා මයි.
බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඡන්න භික්ෂුව උදෙසා අවවාද කොට වදාළ බ්‍රහ්ම දණ්ඩනය නමැති විනය කර්මය හේතුවෙන්, ඡන්න භික්ෂුව අධිමාන්නය බැහැර කොට සද්ධර්මයෙන් සැනසුණා. වරදට දඬුවම් දිය යුතු මයි, උපසම්පදා භික්ෂූන් වන අපිට, ප්‍රාතිමෝක්‍ෂ සීලයේ ශක්තිමත්භාවය උදෙසා වරදට දඬුවම් කරන අධිකරණයන් හතක් බුදුරජාණන් වහන්සේ පනවා තිබෙනවා. මේ සෑම පැනවීමක් ම අපේ සම්මා සමාධිය උදෙසා මයි. පංච නීවරණයෝ යටපත් කොට ගෙන උතුම් සප්ත බොජ්ඣංගයන්ගෙන් නැගී සිටීම උදෙසා මයි. මහා කරුණා ගුණය මේ සෑම පැනවීමක් තුළ ම බැසගෙනයි තිබෙන්නේ. මෛත්‍රියෙන්, කරුණාවෙන් දෙන දඬුවම පෙරළා මෛත්‍රිය මයි, කරුණාව මයි සමාජයට ප්‍රසූත කරන්න. ධර්මයෝ, ධර්මයන් මයි මෝදු කොට දෙන්නේ. අපි
කෙනෙකුට දඬුවම් කරන්නේ, ද්වේශයෙන්, වෛරයෙන්, පළිගැනීමේ චේතනාවෙන් නම්, පෙරළා සමාජයට ලැබෙන්නේ ද්වේශයේ, වෛරයේ, පළිගැනීමේ නරක, නපුරු ඵලයන් වෙන්න පුළුවන්. අධර්මයෝ, අධර්මයන් මයි සමාජගත කරන්නේ. වරදට දිය යුතු උපරිම දඬුවම් දෙන්න, “වරදකරු නිවැරදි වේවා!” යැයි දකින යහපත් චේතනාවෙන් සහ ඉදිරියේ දී වැරදි කිරීමට බලාපොරොත්තු වන පින්වතුන් වරදින් මුදවා ගන්නා මෛත්‍රී චේතනාවෙන්. දණ්ඩනය තුළ මෛත්‍රිය නොතිබුණොත්, වෛරයේ, පළිගැනීමේ ගිනි පුපුරු අළු යට සැඟවී තිබී කාටත් හොරා, සමාජය පුරා අප්‍රකටව සක්‍රිය වෙන්න පුළුවන්. පින්වත, භික්ෂුව මේ සටහන් තබන්නේ උතුම් හේතුඵල ධර්මයෝයි. පින්වත, එක ප්‍රශ්නයක් විසඳාගත යුත්තේ, ඊටත් වඩා දරුණු අනාගත ජාතික ඛේදවාචකයන්ට අත වනමින් නොවේ, සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ලෝකය කවදාකවත් සියයට සියයක් නිවැරදි වෙලා නැහැ.
කාමයේ කෙටි ආස්වාදයෝ, සදාකාලික රජ මඟුල් මේසයක් හැටියට දකින්න එපා. අපි ජාතියක් හැටියට හැමදාමත් පුංචි සැපයක් උදෙසා මහා සැපයක් අහිමි කොට ගැනීම ජාතික අවාසනාවක්.
සක්කාය දිට්ඨිය’ යැයි කියන්නේ, මමත්වයේ දැඩිභාවයට. අවිද්‍යාවේ ‘කුණු හැව’ යැයි කියලත් බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨිය හඳුන්වනවා
අවිද්‍යාවේ කුණු හැව තුළින් හමන දුර්ගන්ධය තමයි පංච නීවරණයෝ. පින්වත, “මම” මුලට ගන්න එපා. “මම” මුලට ගත්තොත් අවිද්‍යාවයි මුලට එන්නේ. පින්වත් දක්‍ෂ වෘත්තීයවේදී මහත්මයෙක් තමන්ගේ දක්‍ෂකම් ගැන භික්ෂුව ඉදිරියේ ගොඩාක් වර්ණනා කළා. තමන්ගේ මිය ගිය වෘත්තීය මව්දෙමාපියන්ගේ පරම්පරාවෙන් තමන්ට ලැබුණු වෘත්තීය ආභාසය සහ තමන්ගේ මිය ගිය ඥාතීන් පටිච්චසමුප්පන්නව දෙවියන්ව ඉපදිලා, තමන්ට කරන උපකාරයන් ගැනත් ඔහු සඳහන් කළා. මේ සෑම වචනයක ම මමත්වයේ දැඩිභාවයේ ලුණු ඇඹුල් හොඳින් තැවරිලයි තිබුණේ. මෙම සටහන කියවන ඔබ කිනම් ක්ෂේත්‍රයක හෝ වේවා, දක්‍ෂයෙක් නම්, පින්වත් ඔබේ දක්‍ෂභාවය “මම ය” කියලා ගන්න එපා. පින්වත, ඔබේ දක්‍ෂභාවය ඔබ, “මම ය” කියලා ගත්තොත්, ඔබ අවිද්‍යාවේ පංච නීවරණ ගොදුරක් වෙනවා.
ඔබේ වෘත්තීය දක්‍ෂභාවය, ව්‍යාපාරික, අධ්‍යාපන දක්‍ෂභාවය තුළින් නිවනට පක්‍ෂ වන සප්ත බොජ්ඣංගයෝ මතු කොට ගන්න දක්‍ෂ වෙන්න.
මෙය සටහන් තබන පුද්ගලයා ධර්ම දේශනා පවත්වනවා; සද්ධර්මය සටහන් තබනවා; සාමීචිපටිපන්න ගුණයෙන් සමාජයට උපකාර කරනවා. මෙම කිසිම ක්‍රියාවක් හෝ හැකියාවක් “මම ය” කියලා, මගේ දක්‍ෂභාවයන් යැයි කියලා, මගේ පරම්පරාවේ දක්‍ෂභාවයක් යැයි කියලා ඒ පුද්ගලයා දකින්නේ නැහැ.
ඉහත සෑම හැකියාවක් ම පටිච්චසමුප්පන්නව භික්ෂුව අතීතයේ රැස් කළ කුසල් සංස්කාරයන්ගේ ඵලයන් මයි.
මේ සියලු සංස්කාරයන්ගේ යථා ස්වභාවය අනිත්‍ය වීමයි.
අල්ලා ගන්න තැනක් නැහැ, බැස ගන්න තැනක් නැහැ, “මගේ” යැයි කියන්න තැනක් නැහැ. පින්වත, ඒ නිසා ම, අවිද්‍යාවට පවතින්න තැනකුත් නැහැ
මෙය සටහන් තබන භික්ෂුවගේ යම් හැකියාවක් වේ ද, යම් නොහැකියාවක් වේ ද, මේ සියල්ල ම භික්ෂුව ඉලක්ක කරන්නේ ධම්මානුපස්සනාව දිශාවට මයි.
මෙය සටහන් තබන පුද්ගලයා ගේ හැකියාවන් සහ නොහැකියාවන් “මම ය” කියලා ගත්තොත්, මේවාට සැබෑ හේතුඵල ධර්මයෝ වන සංස්කාර සහ අවිද්‍යාව භික්ෂුවට මඟ හැරෙනවා වගේ ම, භික්ෂුව පගේන නීවරණයෙන්ගේ ගොදුරක් වෙනවා. තෘෂ්ණාව, ඔබට ඉඩ දෙන්නේ නැහැ, ඔබේ හැකියාවන් සහ දක්‍ෂතාවයන් අනිත්‍ය වී යන සංස්කාරයෝ හැටියට දකින්න. පින්වත, ඔබ සංස්කාරයෝ සිහිනුවණින් ධර්මානුකූලව නිවැරදිව හඳුනා ගත්තොත්, අවිද්‍යාවට සහ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට පවතින්න බැහැ.
සක්කාය දිට්ඨිය “මම” කියන කැරට් අලය පෙන්වා, අනාගත පංච උපාදානස්කන්ධ දුක් මහා මේරුව අපෙන් වසන් කොට දමනවා.
අවබෝදයෙන් මේ ගමන නිමා කරන්න ඔබට ධර්මයේ ආශිර්වාද වේවා…
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood