පරිසරය සමඟ අපිට තියෙන්නේ ම සොඳුරු සබඳතාවක්
පුද්ගලයා හා පරිසරය අතර පවතින්නේ අන්‍යොන්‍ය සබඳතාවකි. මෙම සබඳතාව පවත්වා ගැනීමේ අවශ්‍යතාව ඇත්තේ පුද්ගලයාට මිස පරිසරයට නො වේ. සරල ව පැවසුව හොත් පුද්ගලයාට පරිසරය සමග සම්බන්ධ නො වී මොහොතක් වත් ජීවිතය පවත්වා ගත නොහැකි ය. එහෙත් පරිසරයට පුද්ගලයා ඒ සමග සබඳතා පැවැත්වුව ද නො පැවැත්වුව ද ගැටලුවක් නොමැත. පුද්ගලයා පරිසරය සමඟ සබඳතා නො පැවැත්වීම සමහර විට එහි යහපැවැත්මට උපකාරයක් ද විය හැකි ය. නූතන ලෝකය පාරිසරික ව මහා ව්‍යසනයකට වර්තමානයෙහි මුහුණ දී ඇත්තේ මෙම යථාර්ථය වටහා නො ගැනීම නිසා ය. පුද්ගලයා පරිසරය සමග කෙසේ සබඳතා පැවැත්විය යුතු ද යන්න හඳුනා ගැනීම වැදගත් වන්නේ එහෙයිනි.
පුද්ගලයා හා පරිසරය අතර පවතින සහසම්බන්ධය පැහැදිලි කරන දීඝනිකායෙහි පාථීකවග්ගපාලියෙහි, අග්ගඤ්ඤ සූත්‍රය පුද්ගලයා හා පරිසරය පරිණාමය වීම විෂයෙහි පුද්ගලයාගේ කායික හා මානසික චර්යාව සෘජු බලපෑමක් කරන බව පැහැදිලි කරයි. අග්ගඤ්ඤ සුත්‍රය සමාජ පරිණාමය හා පාරිසරික පරිණාමය අතර පවතින සබඳතාව විස්තර කරන්නේ හේතුඵලවාදී සබඳතාවක් ලෙස ය. එහි තීරණාත්මක සාධකය වනුයේ පුද්ගල චර්යාවයි.
පුද්ගල හිතකාමී ව පැවැති පරිසරය පුද්ගලයාගේ මානසික පිරිහීම සමග ක්‍රමයෙන් වෙනස් වන ආකාරයත්, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයාගේ ද කායික මානසික ස්වභාවය වඩ වඩාත් රළු වන ආකාරයත් සූත්‍රය විස්තරාත්මක ව දක්වයි. එනම් සමාජ පරිණාමය හා පාරිසරික පරිණාමය අතර පවතිනුයේ හේතුඵලවාදී සබඳතාවක් පවතින බවත්, එහි තීරණාත්මක සාධකය ලෙස පුද්ගල චර්යාව ක්‍රියා කරන බවත් බුදුදහමේ අදහසයි. එම සූත්‍රය කරන පැහැදිලි කිරීම පහත පරිදි සාරාංශ කර දැක්විය හැකි ය.
ලොව ආරම්භක අවස්ථාවෙහි දී ආභස්සර බඹලොවින් චුත ව ලොව පහළ වන සත්ත්වයෝ බ්‍රහ්මකායික ය. බ්‍රහ්මකායික වූවෝ “ප්‍රීතිය ම ආහාර කොට ගනිති. ශරීරාලෝකයෙන් බබළති. අහසෙහි හැසිරෙති. මනෝඥ භාවය ඇත. දිගු කාලීන ව වාසය කරති. ස්ත්‍රී පුරුෂ භේදයක් නැත.”
එම සත්ත්වයන් පහළ වන අවස්ථාව වන විට සක්වළ දියෙන් වැසී තිබිණි. දිය මතුපිට රස පොළොවෙන් වැසී තිබිණ. ඝන අඳුරින් යුක්ත ය. හිරු සඳු හා තරු නැත. දින සෘතු මාස නැත. මෙසේ සරන සත්ත්වයන්ගේ එකකුට රස පොළොව පරීක්ෂා කිරීමට සිතෙයි. එය රසවත් බව දැන එය අනුභව කරයි. අන් සත්ත්වයෝ ද මුලින් රස බැලූ සත්ත්වයා අනුගමනය කරති. රස පොළොව අනුභව කරන සත්ත්වයන්ගේ ස්වයංප්‍රභාව අතුරුදහන් වී සිරුර රළු වීම හා පැහැපත් බව අඩු වීම සිදු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස හිරු සඳු හා තරු පහළ වීම, දින සෘතු මාස ඇති වීම සිදු වේ. රස පොළොව වඩ වඩාත් අනුභව කරන සත්ත්වයන්ගේ සිරුර රළු වීම හා පැහැපත් බව අඩු වීම සිදු වේ. එහි දී පැහැපත් සත්ත්වයන් නො පැහැපත් සත්ත්වයන් සිතින් පහත් කොට සැලකීම නිසා රස පොළොව අතුරුදහන් වේ. ඉන් අනතුරු ව භූමි පප්පටකය පහළ වේ. භූමි පප්පටකය අනුභව කරන සත්ත්වයන්ගේ සිරුර වඩාත් රළු වීම හා පැහැපත් බව තවත් අඩු වීම හේතුවෙන් ඇති වූ වර්ණාතිමානය නිසා වචනයෙන් අවමන් කිරීම හා අතිමානය සමාජයෙහි ප්‍රකට විය. එවිට භූමි පප්පටකය අතුරුදහන් වී බදාලතා පහළ විය. බදාලතා අනුභව කරන සත්ත්වයන්ගේ සිරුර වඩාත් රළු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ස්ත්‍රී පුරුෂ භාවය පහළ වෙයි. ඉන් අනතුරු ව ලිංගික සබඳතා පැවැත්වීමට සත්ත්වයෝ පෙළඹෙති. පැහැපත් බව තව තවත් අඩු වීම හේතුවෙන් වර්ණාතිමානය ඇති කර ගත් සත්ත්වයෝ අන් අය පහත් කොට සලකති. එවිට බදාලතා අතුරුදහන් වී ස්වයංජාත ඇල් සහල් පහළ විය. ස්වයංජාත ඇල් සහල් පරිභෝජනය කරන සත්ත්වයන්ගේ සිරුර වඩාත් රළු වී පැහැපත් බව තවත් අඩු විය. දිනපතා අනුභවය සඳහා යෑමට අකැමැති වූ එක් සත්ත්වයෙක් ස්වයංජාත ඇල් සහල් රැගෙන විත් සන්නිධි කොට අනුභවයට පෙලඹෙයි. එය දැනගත් සෙසු සත්ත්වයන් ද එය අනුගමනය කිරීම නිසා ස්වයංජාත ඇල් සහල් අතුරුදහන් වී දහයියා හා කුඩු සහිත කැපූ විට නැවත නො වැඩෙන සහල් පහළ විය. මේ නිසා ආහාර සැපයීම සීමා සහිත විය. එහි ප්‍රතිඵලයක් ලෙස භූමිය බෙදා වෙන් කර ගෙන පරිභෝජනය කිරීම ඇරඹිණි. ආහාර සීමා වීම නිසා සත්ත්වයෝ අන් සතු දෙය හොරෙන් ගැනීමට පෙලඹුණ හ. සොරකම, වරද කළවුන්ට දණ්ඩණය ආදි තණ්හාව මූලික කරගත් අධාර්මික හැසිරීම් රටාවන් සත්ත්වයන් අතර ප්‍රකට වීම සිදු විය. මෙම අසත්ධර්මයන් වළකාලීමට හා ධාර්මිකව සමාජය පාලනය කිරීම සඳහා මහා සම්මත රජකු පත් කර ගැනීමට සත්ත්වයන් තීරණය කිරීම හා එහි ප්‍රතිඵලයක් ලෙස වර්ණ ධර්ම පහළ වන ආකාරය සූත්‍රය විස්තර කරයි.
මානව ඉතිහාසයේ මුල සිට වර්තමානය දක්වා ම සිදු වී ඇති සමාජ පරිණාමය හා පාරිසරික පරිණාමය විශ්ලේෂණය කර බැළුව හොත් ඒ සඳහා බලපා ඇත්තේ බුදුදහම ඉදිරිපත් කරන හේතුඵලවාදී සබඳතාව බව පැහැදිලි වේ. එනම් පුද්ගලයා පරිසරය වෙත දක්වන ආකල්පය හා ක්‍රියාකාරීත්වය මත පරිසරික සාධක ද වෙනස් වේ. එය සුභවාදී මෙන්ම අසුබවාදී විය හැකි ය. එය තීරණය වන්නේ පුද්ගලයා කෙතරම් ධාර්මික ද යන්න මත ය.
ඉහත සූත්‍රයට අනුව පරිසරය ලෙස බුදුසමය දක්වනුයේ ස්වාභාවික පරිසරය පමණක් නො වන බව පැහැදිලි වේ. ඔහු වටා තිබෙන සමාජ පරිසරය ද එයට අයත් වේ. පුද්ගලයා ඔහුගේ සමාජ සංස්කෘතික පරිසරය හා පවත්වන සබඳතාවල ස්වභාවය, එම පුද්ගලයාගේ කායික මානසික ස්වභාවයට සෘජු ව ම බලපාන බව බුදුසමයේ අදහසයි. බෞද්ධ ඉගැන්වීම්වල හමු වන පුද්ගලයාගේ සමාජ සබඳතාවල ස්වභාවය, ඔහුගේ කායික මානසික ස්වභාවයට බලපාන ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් පහත දැක්වේ. (මජ්ඣිම නිකාය, උපරිපණ්ණාසපාලි, විභඞ්ගවග්ගය, චූලකම්මවිභඞ්ග සූත්‍රය)
අන් සත්ත්වයනට හිංසා පීඩා නො කිරීම, පීඩාවට පත් සත්ත්වයන් ඉන් මිදවීම හෝ සහනයක් ලබා දීමට ක්‍රියා කිරීම නිසා අනාගත ජීවිතය රෝගාබාධවලින් තොර ව නීරෝගී ව ගත කිරීමේ හැකියාව පුද්ගලයට ලැබේ. එසේම අන් සත්ත්වයනට හිංසා පීඩා කිරීම නිසා අනාගත ජීවිතය රෝගාබාධවලින් පීඩා විඳිමින් ගත කිරීමට පුද්ගලයාට සිදු වේ.
ප්‍රාණ ඝාතයෙන් වළකින පුද්ගලයා දීර්ඝායුෂ්ක වන අතර ප්‍රාණඝාතයෙහි නිරත වන්නා අල්පායුෂ්ක ය.
ක්‍රෝධයෙන් ද්වේෂයෙන් වැළකී, මෛත්‍රී සිතින් දිවි ගෙවන්නා, පැහැපත් සිරුරකට හිමිකම් කියන අතර, නිතර කිපෙමින් ද්වේෂයෙන් පසු වීම, දුර්වර්ණ සිරුරක් ලැබීමට හේතුවක් වේ.
නො දුන් දෙය නො ගන්නා පුද්ගලයාගේ වස්තුව ආරක්ෂා වේ. එසේම නො දුන් දෙය ගැනීමට යොමු වූ පුද්ගලයාට, ඒ නිසා අනාගතයේ දී භෝග විනාශවලට මුහුණ දීමට සිදු වේ.
අන් අයට ඊර්ෂ්‍යා නො කරන පුද්ගලයා ඒ හේතුවෙන් මහේශාඛ්‍ය බවට පත් වේ. අන්අයට ඊර්ෂ්‍යා කරන පුද්ගලයා අල්පශාඛ්‍ය බවට පත් වේ.
සිල්වත් මහණ බමුණනට සිව්පසය
පිළිගැන්වීම නිසා ධනයෙන් ආඪ්‍ය වූ ධනවතුන් බවට පත් වන අතර, එසේ නො කරන්නෝ අල්ප ධනයක් සහිත දිළින්දන් බවට අනාගතයේ දී පත් වෙති.
මානයෙන් තොර ව ගරු කළ යුත්තනට ගරු කරන්නා, අනාගතයේ දී උසස් කුළවල උපත ලබා, අන් අයගේ ගරු සැලකිල්ලට පාත්‍ර වේ. එසේම මානයෙන් යුතු ව ගරු කළ යුත්තනට ගරු නො කරන්නා, අනාගතයේ දී පහත් කුළවල උපත ලබා, අන් අයගේ ගරු සැලකිලි නො ලබන තත්ත්වයකට පත් වේ.
කාමමිථ්‍යාචාරයෙහි නො යෙදෙන පුද්ගලයා අනාගතයේ දී මිතුරන් සහිත අන් අයගේ ආදර ගෞරවයට ලක් වන පුද්ගලයකු බවට පත් වන අතර, කාමමිථ්‍යාචාරයෙහි යෙදෙන පුද්ගලයා, අනාගතයේ දී සතුරන් සහිත අන් අයගේ වෛරයට ලක් වන පුද්ගලයකු බවට පත් වේ.
මුසාවාදයෙන් වැළකෙන පුද්ගලයා, අන් අයගේ අභූත චෝදනාවලට ලක් නො වේ. එසේම මුසාවාදයට යොමු වූ පුද්ගලයාට ඔහුගේ අනාගත ජීවිතය අභූත චෝදනාවලට ලක් වෙමින් ගෙවීමට සිදු වේ.
සම්ඵප්‍රලාපයට යොමු නො වීම නිසා, අන් අය එම පුද්ගලයාගේ වචන විශ්සාස කරති. එසේම සම්ඵප්‍රලාපයට යොමු වීම නිසා අනාගතයේ දී අන් අය එම පුද්ගලයාගේ වචන විශ්වාස නො කරති.
පරුෂ වචනයට යොමු නො වීම නිසා, අනාගතයේ දී තමනට අකැමැති වචන ඇසීමට සිදු නො වේ. එසේම පරුෂ වචනයට යොමු වීම නිසා අනාගතයේ දී තමනට අකමැති වචන ඇසීමට සිදු වේ.
පිසුනාවාචයට යොමු නො වීම නිසා අනාගතයේ දී තමාගේ මිත්‍රයන් භේද භින්න වීම සිදු නො වේ. එසේම පිසුනාවාචයට යොමු වීම නිසා අනාගතයේ දී තමාගේ මිත්‍රයන් භේද භින්න වීම සිදු වේ.
සුරාවට යොමු නො වීම නිසා සිහියෙන් සිටීමේ හැකියාව පුද්ගලයාට ලැබෙන අතර සුරාවට යොමු වීම නිසා අනාගත ජීවිතයෙහි උමතු බව ඇති වේ.
බමුණන් වෙත පැමිණ ධර්මය ශ්‍රවණයට හා වටහා ගැනීමට උත්සුක වන පුද්ගලයා, අනාගතයේ දී මහා ප්‍රාඥයෙකු බවට පත් වේ. එසේම මහණ බමුණන් වෙත පැමිණ ධර්මය ශ්‍රවණයට හා වටහා ගැනීමට උත්සුක නො වන පුද්ගලයා අනාගතයේ දී දුෂ්ප්‍රාඥයෙකු බවට පත් වේ.
මේ ආකාරයට පුද්ගලයා සමාජ සංස්කෘතික පරිසරය සමග පවත්වන සබඳතාවල ස්වභාවය ඔහු වෙත සෘජු බලපෑමක් සිදු කරන බව පැහැදිලි ය. පංච සීලය, දස කුසලයන්, ආදී සමාජ සබඳතාවන් හා සම්බන්ධ චර්යාව විෂයෙහි වන මඟපෙන්වීම්, බුදුසමය පුද්ගලයාට ලබා දී ඇත්තේ එම නිසා ය. එනම් අද අප මුහුණ දී තිබෙව පාරිසරික ගැටලු සියල්ලෙහි ම හේතුව අපගේ චර්යාව බව පැහැදිලි ය. මෙම තත්ත්වය වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ අපගේ චර්යාව ධාර්මික කර ගැනීම ම බව පැහැදිලි ය.
ඔබ සැමට තෙරුවන් සරණයි…🙏🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood