Temples of Sri Lanka

පැහැදිලි මනසක් සහිත වූවෝ ජාතියක් සවිමත් කරනු ඇත..

කිසියම් ප්‍රශ්නයක් ,ගැටලුවක්,විග්‍රහ කර ගැනීමට ඇති නොහැකියාව ජාතියේ අලසකම සමඟ බැඳී පවතී.

නිරවුල් නොවන මනසක සත්‍ය ස්වභාවය වන්නේ,එසේ වූ පුද්ගලයින් විසින් ගන්නා තීන්දු තීරණ විසින් අවසානයේ අවුල් කරන්නේ සමස්ත ජාතිය ම ය. නිරවුල් මනස පිළිබඳව බුදු දහමේ පිළිවෙත ජාතියට වැදගත් වන්නේ ඒ අර්ථයෙනි.

අරුත දැන ඉවසීමෙන් වැඩිය යුතු සමාධිය, වීර්යය ගැන අපි හරියටම තේරුම් ගන්න ඕන. අපි හිතමු, කෙනෙකුට සමාධියක් වැඩෙනවා. නමුත් එයා ඒ සමාධිය පවත්වන්න ඕන කියලා බලවත්ව වීරිය කළොත් ඒක ආයෙමත් විසිරීමට පත්වෙන්න පුළුවන්. ඒ වගේම සමාධියක් වැඩුණට පස්සේ වීරිය නැතුව ඒ සමාධිය පවත්වන්න ගියොත් සමාධිය සැඟවෙනවා. එහෙම නම් අපට පේනවා, ඒකට යම් කිසි දක්ෂතාවක් තියෙන්න ඕන. ඒ තමයි, ඒ ඒ අවස්ථාවල දී මනස හසුරුවන්න ඕන රටාව තමන්ට හසුවෙන්න ඕන. ඒ විදිහට මනස හසුරුවන්න ඕන රටාව තමන්ට හසුවෙන්නේ පින් බලයෙන්.

අපි හිතමු, කෙනෙක් භාවනා කරගෙන ගිහිල්ලා සමාධියක් ඇති කර ගන්නවා කියලා. නමුත් ඒ කෙනා ඒ සමාධියට රුකුල් දෙන මට්ටමින් වීරිය පවත්වන්න දක්ෂ වුණේ නැත්නම් එයාට ඒ සමාධිය දියුණු කරගන්න ලැබෙන්නේ නෑ.

සමහර අය භාවනා කරගෙන යද්දී සමාධියක් ඇති වෙනවා. හැබැයි සමාධියක් ඇති වුණාට අරමුණ හැංගෙනවා. අරමුණ හැංගෙනවා කියලා කියන්නේ භාවනා කරගෙන යනකොට සමාධි නිමිත්තක් තියෙනවානේ. සමාධි නිමිත්ත කියලා කියන්නේ, ආනාපානසතියේ දී ආශ්වාස ප්‍රාශ්වාසය තමයි නිමිත්ත. සමහර කෙනෙකුට මේ ආශ්වාස, ප්‍රාශ්වාසය මුල් කර ගෙන සමථ නිමිත්තක් ඇති වෙනවා. ඒ සමථ නිමිත්ත ඇති වෙන්න නම් සමාධිය ගොඩක් බලවත් විය යුතු යි. ඒ විදිහට සමථ නිමිත්තේ හිත පිහිටපු ගමන් එයාට නීවරණ ධර්මයන්ගේ බලපෑම නෑ. ඒකයි ගොඩක් අය සමථ නිමිත්තට හිත පිහිටුවන්න කියලා කියන්නේ. ඒ කියන එකට සාධාරණ පදනමක් තියෙනවා.

අපි අසුභ භාවනාව වඩන කෙනෙක් ගැන ගනිමු. අසුභ භාවනාව වඩන කෙනෙකුගේ නිමිත්ත තනිකර ම අසුභ නිමිත්තක් නේ. අසුභ නිමිත්ත එන්නේ නැත්නම් එයාට ඒ අසුභ භාවනාව ප්‍රකට වෙන්නේ නෑ. එයාට ඒක හිතට හොඳට මැවිලා පේන්න ඕන. ආනාපානසතියේ දී සමහර අයට මේ ප්‍රශ්නය වෙනවා. ඒ කියන්නේ ආනාපානසතිය මනසිකාර කර ගෙන යනකොට ආනාපානසතිය සියුම් වෙනවා. ආනාපානසතිය සියුම් වෙලා ආශ්වාස, ප්‍රශ්වාස නැත්තට නැතිවුණා වගේ වෙනවා. ඒ විදිහට ආශ්වාස, ප්‍රශ්වාස නොදැනී ගියාම සමහර කෙනෙක් “දැන් මං මොකක්ද කරන්නේ?” කියලා කල්පනා කරනවා. අපි මෙනෙහි කරන්න ඕන එහෙම නෙවෙයි. ආශ්වාස ප්‍රශ්වාස නොදැනී ගියත් එයා “ආශ්වාසයක්.. ප්‍රාශ්වාසයක්..” කියලා මෙනෙහි කරන්න ඕන. ඒ විදිහට “ආශ්වාසයක්.. ප්‍රශ්වාසයක්..” කියලා මෙනෙහි කරනවා මිසක් එයා හයියෙන් හුස්ම ගන්න යන්න ඕන නෑ. එයාට ආශ්වාස, ප්‍රශ්වාස තේරෙන්නේ ම නෑ කියමු. නමුත් හිත විසිරිලත් නෑ. ඒ වෙලාවට එයා කළ යුත්තේ “ආශ්වාසයක්.. ප්‍රශ්වාසයක්..” කියලා ඒක ම මෙනෙහි කරමින් සිටීම යි. ඒ විදිහට “ආශ්වාසයක්.. ප්‍රශ්වාසයක්..” කියලා මෙනෙහි කරමින් ඉන්න කොට නැවතත් සියුම් විදිහට මෙයාට ඒක අහුවෙනවා. ඒ සියුම් විදිහට අහුවෙන්නේ චිත්ත ඒකාග්‍රතාවකට උදව් කරමින්. ඒ සඳහා එයාට ගොඩාක් වුවමනා වෙන එකක් තමයි ඉවසීම. ඉවසන්නේ නැතුව මේක ඉක්මනට ග්‍රහණය කර ගන්න ඕන කියලා දැඟලුවාට හරියන්නේ නෑ. සමහර අවස්ථාවල දී මේ සිත හරි සියුම්. සමහර අවස්ථාවල අපට පොඩි දරුවෙක් දිහා වගේ සිත දිහා බලන්න සිදු වෙන අවස්ථා තියෙනවා. එතකොට අපි ඒ විදිහට කරන්න ඕන. නමුත් අපි හැම තිස්සේ ම පුරුදු වෙලා තියෙන්නේ වේගයෙන් අල්ල ගන්නනේ.

මායාකාරී සිතත් සමඟ ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. සමාධියක් ඇති කර ගන්න කැමති කෙනෙකුට ඉවසීමෙන් තමයි ඒක කරන්න තියෙන්නේ. ඒ විදිහට කරද්දී සමාධිය දියුණු වෙනවා. හැබැයි සමාධියක් දියුණුවීමේදී අපි හොඳ කල්පනාවකින් ඉන්න ඕන. ඒ කියන්නේ මේ ධර්මයේ හරය සමාධිය නෙවෙයි. ඒ වගේ ම හරය විදර්ශනාවත් නෙවෙයි. අපි යථාභූත ඤාණයට යන්න ඕන. යථාභූත ඤාණයට ගිහිල්ලා ඒ තුළින් නිබ්බිදා, විරාග, නිරෝධ වශයෙන් උපදවා ගන්නා විමුක්තිය තමයි මේ ධර්මයේ හරය. අපි කියමු කෙනෙකුට සමාධිය ඇති වෙනවා කියලා. සමාධියක් ඇති වෙන්න නම් ඒ කෙනාට වීරිය තියෙන්න ඕන. ඒ කියන්නේ තමන්ගේම මානසික ස්වභාවය වීරියෙන් පාලනය කරමින් තමයි, එය උඋපද්දවන්න තියෙන්නේ. ඒ විදිහට සිහි නුවණ උපදවා ගෙන වීරියෙන් පාලනය කරමින් ඉන්න කොට සමහර අවස්ථාවල මනස තමන්ගේ යම් කිසි අධිෂ්ඨානයට පාලනය වීමක් තියෙනවා. නමුත් මේ මනසේ තියෙන්නේ මායාකාරී ස්වභාවයක්නේ. ඒ නිසා මායාකාරී සිත අධිෂ්ඨානයට වුවමනා දේ මවලා දෙනවා. ඒ විදිහට මවලා දීපු ගමන් අපි අමාරුවේ වැටෙනවා.

අපට සතර සතිපට්ඨානය තුළ උගන්වා තියෙන එකට වඩා යම්කිසි අනතුරක්.. නමුත් වාසනා මහිමය තියෙන කෙනා ඒකෙනුත් බේරෙනවා.

ධම්ම නියාමය පිළිබඳ බුද්ධානුශාසනාව

ධම්ම නියාම ගැන දේශනාවේ තියෙන්නේ ම පටිච්චසමුප්පාදය. (ධම්මට්ඨති ධම්මනියාමතා ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදෝ) එහෙමයි ධර්මයේ තියෙන්නේ. ඒ නිසා අපි පටිච්චසමුප්පාදය තමයි බොහොම ඉවසීමෙන්, ඒ වගේ ම වීමංසනයෙන් තේරුම් බේරුම් කර ගත යුත්තේ. මොකද අපට ධර්ම මාර්ගයේ යන්න, විදර්ශනා ඤාණය ඇති කර ගන්න, යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්න පටිච්චසමුප්පාදය හේතු වෙනවා. යමෙක් හරි විදිහට පටිච්චසමුප්පාදය නුවණින් මෙනෙහි කළොත් එයා සත්පුරුෂයෙක් වෙනවා. යමෙකුට පටිච්චසමුප්පාදය තේරුණොත් එයාට කවදාවත් අසත්පුරුෂකම් කරන්න බෑ. එයාට කෙළෙහිගුණ පිහිටනවා. ඊළඟට පින් පව් විශ්වාස කරනවා. කර්ම, කර්මඵල විශ්වාස කරනවා. එයා සියලු දෙනාට ම යහපත සලසනවා. එයා තමන්ගේ වචනයකින් අනිත් අයට අයහපතක් වෙන්න දෙන්නේ නෑ. ඒ වගේ ම එයා කවදාවත් අන් අයගේ යහපතට හානිකර දෙයක් කරන්නේ නෑ. ඒකට හේතුව පටිච්චසමුප්පාදය පිළිබඳ තියෙන දැනුමයි.

ඒ නිසා පටිච්චසමුප්පාදය පිළිබඳ තියෙන සැබෑ අවබෝධය පුද්ගලයෙකු සත්පුරුෂයෙක් බවට පත් කරනවා. චතුරාර්ය සත්‍යාවබෝධය කරා යන්නේ එයයි. යමෙකුට පටිච්චසමුප්පාදය හරියට තේරුණොත් එයා ඊට පස්සේ හේතුත්, ඵලත් අතර තියෙන සම්බන්ධතාව නිරවුල් කරගන්නවා. ඒක තමයි එයා සිදුකරන ධම්ම නියාමය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මහණෙනි, ඒක තථාගතයන් වහන්සේ පහළ වුණත්, නැතත් තියෙන එකක්“ කියලා. ඒ කියන්නේ නියාම ධර්මයක්. ධර්මය වගේ ම යි. තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් පටිච්චසමුප්පාදය තියෙනවා. තථාගතයන් වහන්සේ කරන්නේ ඒක ගුරු උපදේශ රහිතව අවබෝධ කරලා, උන්වහන්සේගේ තියෙන බුද්ධ ඤාණ තුළ පිහිටලා ලෝකයාට අවබෝධ කරගත හැකි ආකාරයට කියා දෙන එකයි. ඉන් පස්සේ ලෝකයා තම තමන්ගේ ශක්තිප්‍රමාණයෙන් ඒක අවබෝධ කර ගන්නවා. ඊට පස්සේ සතර අපායට වැටෙන සත්වයා සතර අපායෙන් නිදහස් වෙනවා. භවයෙන් භවයට අන්ත අසරණව යන සත්වයා ඒක තේරුම් අරගෙන ඒ භවයෙන් අත්මිදෙනවා. සුගතියට යනවා.

බුදුරජාණන් වහන්සේ එක තැනක දී දේශනා කරනවා “මහණෙනි, යම්තාක් ධර්ම කතාව ඇද්ද, යම්තාක් ධර්ම සාකච්ඡා ඇද්ද, මේ සියල්ල තියෙන්නේ එකම එක දෙයක් වෙනුවෙන්. ඒ තමයි (අනුපාදා චේතෝ විමුත්ති) කිසිවක් අල්ලා නොගෙන සියලු දුකෙන් නිදහස් වීම පිණිසයි” කියලා.

එතකොට බලන්න, මේ කොච්චර සුන්දර ධර්මයක් ද? මේ කොච්චර අලංකාර ධර්මයක් ද? කොච්චර පරම සත්‍ය වූ ධර්මයක් ද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට නුවණැති මනුෂ්‍යයාගේ සිතට හරි ප්‍රීතියක්, සැපයක් ඇති වෙනවා. මට මතකයි, සමහර දවස්වලට මම සූත්‍ර කියවද්දී ඇති වෙන සන්තෝෂය දවස් දෙක, තුන තියෙනවා. ඒක හරි පුදුමයි. ඒක වෙනත් පොත් කියෙව්වාට ලැබෙන්නේ නෑ. අනිත් පොත් කියෙව්වොත් හටගන්නේ ප්‍රශ්නයක් ම යි. මොකද සමහර විට එකකට එකක් පරස්පර විරෝධී වෙනවානේ. නමුත් බුද්ධ දේශනාවේ එහෙම මොකවත් නෑ. හැම තිස්සේ ම එකකට එකක් ගැළපි ගැළපී යනවා.

මේ සත්‍ය සත්‍ය වශයෙන් අවබෝධ වීමට ඔබට ධර්මයේ වාසනාව උදා වේවා…

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X