පිරිපුන් මිනිසකු වන්න
පිරිපුන් මිනිසා මනින්නේ ඔහු සතු භෞතික සම්පත්වලින් නොවේ.
කෙනෙකුට ඇති ඉඩකඩම් දේපළ,යානවාහන ,මිලමුදල්, රන්රිදී මුතු මැණික්, නිලතල නම්බුනාම ඉහලින්ම තිබූ තරමින් ඔහු පිරිපුන් මිනිසෙක් නොවේ. ඒ සියල්ල එක සුනාමියකින්, සුළි සුළඟකින්, අකුණු පහරකින්, ගංවතුරකින්, විනාශ කළ හැකිය. එහෙත් රාග,දෝෂ, මෝහ නැතිකළ ලොව ජයගත් ජීවිතය ජයගත් උතුමකුගේ මනස කිසිවකින් විනාශ කළ නොහැකිය. මක්නිසාද ? ඔහු ලොව ජයගෙන අවසන් බැවිනි
ලොවක් ජය ගත හැකිවන්නේ මිනිස් සිත පිරිපුන් බවට පත්කිරීමෙනි.
එබඳු වූ මිනිස් සිත උපරිමයට පිරිපුන් කළ උතුමන් වහන්සේ බුදුරජාණෝ ය. උන්වහන්සේ තරම් මිනිස් සිත පිරිපුන් කළ උතුමන් වහන්සේ නමක් දෙවියන්,මරුන්, බඹුන් සහිත කිසිම ලොවක කිසිම තැනක දැකිය නොහැකිය. ඒ පිරිපුන් බව නිර්මාණය වන්නේ රාග,දෝස,මෝහ, මුළුමනින් නැතිකොට සර්වඥතාඤාණය අවබෝධ කිරීමෙනි. බඹුන්ට, රාග, දෝෂ මෝහ ඇත. දෙවියන්ට රාග, දෝස,මෝහ ඇත. මරුන්ට රාග, දෝස මෝහ ඇත. මිනිසුන්ට රාග, දෝස,මෝහ ඇත. එබැවින් ඒ සිත් පිරිපුන් සිත් නොවේ.
ලෝක පූජිත බොහෝ චරිත අඤශාවන්ට වහල්වී කෙතරම් පහළට වැටුණාද යන්න අපට ඉතිහාසය මතක් කර දෙයි. එහෙත් බණපොත බලන විට ඒකසාටක බමුණා තම එකම සළුව බුදුරදුන්ට පූජාකොට “මම දිනුවා” යයි හඬනැගුවේ ආශාව ජයගැනීමෙන් පිරිපුන් මනසක් නිර්මාණය කර ගැනීමෙනි. මෙහිදී වටිනා සංස්කෘත ඉගැන්වීමක් සිහිපත් වෙයි.
සවගෘහෙ පූජ්‍යතෙ මූර්ඛඞ
සවග්‍රාමෙ පූජ්‍යතෙ ප්‍රභුඞ
සව දෙසෙ පූජ්‍යතෙ රාජා
විද්වාන් සර්වත්‍ර පූජ්‍යතෙ
(හිතොපදෙශ)
මෝඩයාට පුදන්නේ තම නිවසේ අයයි. ප්‍රභූ®️වරයාට පුදන්නේ තම ගමේ අයයි. රජතුමාට පුදන්නේ තම රටේ අයයි. නුවණැත්තා සියලු තන්හි පූජා ලබයි. මේ පිරිපුන් බවේ ස්වභාවයයි. එබැවින් ලැබූ මිනිස් ජීවිතය සාර්ථක වන්නට නම් ඔබ ධනපතියෙක් මෙන්ම දානපතියෙක් විය යුතුයි. උගතෙක් මෙන්ම සිල්වතෙක් විය යුතුයි. ගුණවෙතෙක් මෙන්ම පිරිපුන් මිනිසෙක්ද විය යුතුයි.ඒ සඳහා මග බුදුරදුන් ඔබට පෙන්වා දෙයි.
එක් අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේ චාලිකා නුවර චාලිකා පර්වතය ඇසුරු කොට වැඩ වාසය කළා. මේ කාලයේ උන්වහන්සේට උපස්ථාන කළේ මෙඝිය නමැති ස්වාමීන් වහන්සේයි. මෙඝිය හිමියන් දිනක් ලඟ තිබුණු ජන්තු කියන ගමට පිණ්ඩපාතයේ ගොස් කිමිකාලා ගංතෙර අඹවනයට වී දානය වැළදුව. අඹ වනයට ඒ හිමියන්ගේ සිත ඇදී ගියා. බුදුරදුන් වෙත පැමිණ බවුන් වඩන්නට අඹවනයට යාමට අවසර පැතුව. ඒත් බුදුසමිඳුන් අවසර දුන්නේ නැහැ.දෙවන, තෙවන වරද අවසර පැතුව. එවිට බුදුරදුන්ගේ පිළිතුර වූයේ තවම එයට සුදුසු කාලය නොවන බවත් උපස්ථානයට වෙන අයකු එනතුරු ටිකක් ප්‍රමාද වන ලෙසටත් අවවාද දීමයි.
එහෙත් හිතුවක්කාර දඩබ්බර සිතක් ඇති මේඝිය හිමියන් ඒ අවවාද නොසලකා පැවසුයේ, ඔබ වහන්සේ කරගත යුතු දේ අවසන් බවත්, තමන්ට විමුක්තිය සඳහා තව කළ යුතු දෙය ඇති බැවින් තමන් ඒ අඹ වනයට යන බවත් තරයේ ප්‍රකාශ කොට බුදුසමිඳුන් තනිකොට පිටවී ගියා. අඹ වනයට ගිය මේඝිය හිමියන් කමටහන වඩන්නට පටන් ගත්තා. ඒ හිමියන්ගේ සිතට ගලා ආවේ සසර පුරුද්දත් සමඟ අතීත සිතිවිලි සමුදායක්, සිතින් රජකු වී කම්සැප සොයන විට සිතට කාමවිතර්ක ඇතුළු වූනා. ඒ කාමවිතර්ක වලට බාධා ඇතිවන විට ඒවා වලක්වන්න ව්‍යාපාද විතර්ක ඇතුළු කරගත්තා. තවදුරටත් කාමවිතර්කවලට බාධා එනවිට ඒවා මැඩලන්න විහිංසා විතර්කවලට පෙළඹුණා. සසර පුරුදු කරණ ලද අකුසල සිතුවිලි මේඝිය හිමියන්ගේ සිත සසල කළා. සසල සිතක කසල මිස කුසල නැති බැවින් අමාරුවෙන් සිත හදාගෙන ඉක්මනින් ආපසු බුදුරදුන් වෙත පැමිණ වැඳ සමාවගෙන තමා මේ සිතිවිලිවලින් බේරාගන්නා ලෙස අයැද සිටිය එහිදී තම නොහික්මුණු පුතකුට අවවාද දෙන පියතුමකු මෙන් බුදුරදුන් මෙසේ දේශනා කළා.
“අපරික්කාය මෙඝිය චෙතො විමුක්තියා,
“මේඝිය පිරිපුන් නොවූ සිත කෙලෙසුන් ගෙන් මුදා පිරිපුන් කිරීමට ධර්ම කරුණු පහක් හේතුවෙති.”
සිත හීලැ නැති වෙන කොට, මුරණ්ඩු වෙනකොට, දුව පැන ඇවිදින කොට හිතෙන හිතෙන තැන නවතින කොට හිතට වහල් වූ මිනිසෙකු නිර්මාණය වෙනව. එබඳු සිත මෙල්ල කොට, පාලනය කිරීමටත්, පිරිපුන් කිරීමටත් අවශ්‍ය වැඩ පිළිවෙල මෙහිදී බුදුරදුන් පෙන්වා දෙනව. ඒවා අප කාටත් හුඟක් ප්‍රයෝජනවත්.
1.කල්‍යාණමිතෙතා හොති කල්‍යාණ සහයො, කල්‍යාණසමපවඩෙතු
කල්‍යාණ මිතුරන් ඇති බව, කල්‍යාණ මිතුරන් ඇසුරු කරන බව හා කල්‍යාණ මිත්‍රයාගේ බසට නැමෙන බව, පිරිපුන් බව අති කරණ පලමු කරුණයි.
මිතුරන් හැම දෙනාටම අවශ්‍යයි. ඒ මිතුරා යහපත් කෙනෙකු විය යුතුයි. යහපත්කම හඳුනාගන්නේ තමාට වඩා ම සිල්වත්, ගුණවත් හා උගත් බව සැලකීමෙනි. යහපත් මිතුරන් සිටියාටම ප්‍රමාණවත් නැත. ඔවුන් ඇසුරු කළ යුතුය.ඇසුර පුද්ගල දියුණුවට ඉතාම ප්‍රයෝජනවත් ය. සුවඳවත් පිරිසුදු වස්ත්‍රයක තවත් සුවඳ දෙයක් ගැල්වීමෙන් වඩාත් සුවඳවන්නා සේ හොඳ ඇසුර වඩාත් ජීවිතය සුවඳවත් කරයි. මව්පිය ඇසුර, හොඳ වැඩිහිටි ඇසුර, සම වයසේ හොඳ අය ඇසුර පිරිපුන් බව වැඩි කරයි. “මාතා මිත්තං සංඛසරෙ” ගෙදර සිටින හොඳම මිතුරිය අම්මා බව බුදුරදුන් දේශනා කළා.
කල්‍යාණ මිත්‍රයාගේ බසට අවනත වීමක් මෙහිදී සැළකිල්ලට ගත යුතුයි. බුදුරදුන් වැනි ශ්‍රේෂ්ඨ කල්‍යාණ මිත්‍රයකුගේ වචනයට අවනත නොවීම නිසා මෙඝිය හිමියන් විපතට වැටුණි. අවවාදයට නැමීම අද බොහෝ තරුණ හා ගැටවර සමාජයෙන් ගිලිහී ඇති කරුණකි. ඒ අනුව හොද මිතුරාගේ බසට නැමීම පිරිපුන් බව ලැබීමට මහත් උපකාරයකි
2. “සීලවා හොති, පාතිමොක්‍ෂ සංවර සංවුතො විහරති ආචාර ගොචර සමපනෙනා” සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලයෙන් යුක්තව වාසය කරයි. ආචාර සම්පන්නයෙක් වෙයි. මේ දෙවෙනි කරුණයි. සීලයෙන් බලාපොරොත්තු වන්නේ කය වචන දෙකෙහි සංවරකමයි හැසිරෙන ආකාරය කථා බහ කරන ආකාරය පි‍්‍රයශීලි සංවරයේ යුක්තවීමයි. ඒ තුළ පිරිසුදු චරිතයක්ද නිර්මාණය වෙයි. පිරිපුන් මිනිසකු කරයි. සිල් ඇත්තේ රෙද්දක නොව කයත් වචනයත් දෙකෙහිය. එබැවින් ආචාර සමාචාර ගති කුඩා කල සිටම පුරුදු කළ යුතුය. පුද්ගලයකුගේ යහපත් පැවැත්ම ජාතියක රටක ප්‍රෞඩත්වය කියාපායි. ඒ හොද හැසීරීමට හැමගේම ප්‍රසාදය හිමිවෙයි. එම සීලාදී ගුණධර්ම පොඩි අයකු තුළ තිබුණත් ඔහු ලොකු මිනිසකු කරයි.අවුරුදු හතක් වයසැති නිග්‍රෝධ පොඩිහාමුදුරුවන්ට චණ්ඩාශෝක වැන්නකු දමනය කිරිමට තරම් සන්සුන් පිරිපුන් චරිතයක් විය.
අසංවර හැසිරීම් අද හුඟක් ඉදිරියට පැමිණ ඇත. එහි ප්‍රධාන සාධකය සිල් නැති බවයි. මවුපියන් දුටුවිට හුනස්නෙන් නැගිටීම, වැඩිහිටියකු, ගුරවරයකු පූජකයකු දුටුවිට හුනස්නෙන් නැගිටීම වැනි වියදමක් නොවන ආචාර විධීන් පවා ඇතැම්විට ගිලිහී ගොස් ඇත. සමහර විට කුඩා ළමයෙකුට යමක් දුන්විට ස්තුතියි හෝ ඊඩචදඬ කීමට පවා උගත්වන්නේ කළාතුරකිනි.ආත්මාර්ථකාමි බව ඉහළට ගොස් සියල්ල වගකීමට පමණක් භාරදීම සුදුසු නොවන අතර එයින් පිරිපුන් මිනිසකුද බිහි නොවෙයි.
3. පි‍්‍රයවදන “යායං කථා අභිසල්ලේඛිකා හොති” දසකථා කෙරෙහි පි‍්‍රය උපදවා කථා කළ යුතුයි. මේ තුන්වන කරුණයි. රාජකථා, චෝරකථා, ආදී නිසරු කථාවෙන් වැළකී, යහපත් ප්‍රයෝජනවත් කථාවන්හි නිරතවීම පිරිපුන් මනසක් ඇති කරයි. ධර්මයෙහි උගන්වන දසකථා නම්.
අලපේච්ඡතාව පිළිබඳ කථාවයි
ලද දෙයින් සතුටු වීමේ කථාවයි
නිතර විවේකය සොයන කථාවයි
නිතර එකතු නොවීම් පිළිබඳ කථාවයි
වීර්ය ආරම්භ කිරීමේ කථාවයි
සීලාදී ගුණධර්ම පිළිබඳ කථාවයි
සිත එකඟකර ගැනීමේ කථාවයි
ප්‍රඥාව දියුණු කරණ කථාවයි
නිවන පිළිබඳ කථාවයි
නිවන් දැකීම පිළිබඳ කථාවයි
පිරිපුන් මිනිසකු බිහිවන්නේ මෙවන් කථාවන්ට යෙදීමෙනි. සත්‍යවාදි වචන, යහපත් කථා ඇති වටිනාකමක් ඇති පිරිපුන් මිනිසෙකු සමාජයට දායාද කිරීමට අප වගා බලා ගත යුතුය.
4. “ආර්ය වීරියො,හොති, අකුසලානං ධම්මානං පහානාය. කුසලානං ධම්මානං උපසම්පදාය” පටන්ගත් වීර්යය ඇත්තේ වෙයි. අකුසල ධර්ම පහ කරයි. කුසල ධර්ම වඩන විර්යයෙන් යුක්ත වෙයි. මේ සතර වන කරුණයි. මෙහිදී පුද්ගලයා සතු වීර්යයේ ස්වභාවය පැහැදිලි කරයි. මෙය පිරිපුන් බව ලැබීමට අත්‍යවශ්‍ය සාධකයකි. එහිදී ජීවිතය ජය ගැනීමට ප්‍රධාන සාධකයක් වීර්යය අපට ගොඩ නගා දෙයි. වීර්යවන්තයාට ඕනෑම ජයක් ලැබිය හැකිය. කම්මැලි අලස බවින් තොර දෛවයට යට නොවුණු, ආත්මවිශ්වාසයෙන් වැඩකරන කෙනෙක් විය යුතුය. කෙලෙස් වනය පොඩිකර ගෙන යන මිනිසකු විය යුතුය. එවිට ඔබේ ප්‍රඥාව වඩාත් ශක්තිමත් වෙයි.
5. “පඤ්ඤවා හොති, උදයත්ථගාමිණිය, පඤ්ඤාය සමන්නාගතො හොති, ප්‍රඥාවෙන් යුක්තවෙයි. ඇතිවීම නැතිවීම දකින විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත වූවෙක්වෙයි. මෙය පස්වන කරුණයි. පිරිපුන් බවේ උපරිම අවස්ථාවයි. ලොව සියලු දෙස පිළිබඳ නුවණින් බලන්නට හැකියාව ඇතිකර ගැනීමයි. නුවණ අප මතුකර ගත යුතුයි. එය ඉබේ පහළ වන දෙයක් නොවේ. ලොව හොඳම මැණික එය බව බුදුරදුන් දේශනා කළා. “පඤ්ඤා නරානං රතනං” යනුවෙනි. තවද ප්‍රඥාව හා සමාන ආලෝකයන් නැති බව “නÀථි පඤ්ඤා සමා ආභා” යනුවෙන්ද දේශනා කළා. ඒ නිසා ප්‍රඥාව පිරිසුදු බවේ හොදම ආලෝකයයි.
මෙසේ ක්‍රමයෙන් මිනිසා පිරිපුන් බවට පත්වන ආකාරය මෙහිදි දැකිය හැකිය. ඔබට තවම පිරිපුන් වීමට නොහැකි වීනම් මෙයින් ඔබට අඩු කුමක්ද කියා සිතන්න. එවිට ඔබේ දුර්වලකම අඩුපාඩුව වැටහේවි. එබැවින් පිරිපුන් වීමේ කරුණු පහ ඔබේ ජීවිතයට එක්කරගෙන ඔබත් පිරිපුන් මිනිසකු වන්න.
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood