Temples of Sri Lanka

සම්පත් අපේක්ෂාවෙන් නිර්වානය පතන්න එපා…

සම්පත් හා භව බෝග සහිත ව නිවන පතන්නා ගේ කුශලය, තෘෂ්ණාව නිසා දුබල වන බැවින් එබඳු පින් කළ තැනැත්තා හට බුදු සස්නක් හමු වූ විටෙක වුවද….දහම් හඬ ඇසුනේ ද…. කාමයන් හැර දැමීමට තරම් ශක්තියක් නො ලැබේ.

ඔවුනට නිවන් ලැබීමට කල් ගත වන්නේ එහෙයිනි. භවභෝග සම්පත් නො පැතුයේ ද බෝධිය හෝ නිවන පමණක් හෝ පතා පින් කරන්නා හට අඩුවක් නැතිව භවභෝග සම්පත් ලැබෙන්නේය.

ලැබෙන භවභෝග සම්පත්වල ඒවා පැතු තැනැත්තන් පමණට නො ඇලෙන්නේ ය. දීමට හා සම්පත් හැර දැමීමට හේ සමත් වන්නේ ය. එබැවින් හේ දන් දීමෙන් උසස් ලෙස භවභෝග සම්පත් ද ලබන්නේය. සුදුසු අවස්ථාව දුටු විට ඒවා හැර පැවිදි වන්නට ද සමත් වන්නේ ය. එබැවින් හේ ඉක්මනින් නිවන් දක්නේ ය.

මෙකල බොහෝ දෙනා පිනක් කළ කල්හි බොහෝ භවභෝග සම්පත් පතා අවසානයේ දී මෙතේ බුදුන් දැක නිවන් දක්නට ද පතති. “පින් කොට පතන හැම දෙයක් ම එසේ සිදුවේය” යන වැරදි හැඟීමක් ද බොහෝ දෙනාට තිබේ.

පින් කොට පතන දේවල් සිදුවන්නේ පතන දේ සිදු වීමට තරම් බලයක් ඇති වුවහොත් පමණෙකි.

බර කරත්තය මොටෝරියක් යන වේගයෙන් ගමන් කරවිය නොහැක්කාක් මෙන් දුබල පිනක් කොට මහත් දෙයක් පතා නො ලැබිය හැකිය. එබැවින් පැතූ පමණින් ම මෙතේ බුදුන් දැක නිවන් දැකීම සිදු නො වන බව දත යුතු ය.

පිනක් කොට මෙතේ බුදුන් දැක නිවන් දක්නට පැතූ කල්හි ඒ පිනෙහි එබඳු ශක්තියක් නැති කමින් හෝ යම් කිසි අන්තරායකින් හෝ එය සිදු නො වුවහොත් එයින් ඒ පිනේ බලය ද කෙළවර වී, එය මතු හෝ නිවන් දැකීමට ද හේතු නොවී අහෝසි වී යන්නට ඉඩ තිබේ. එබැවින් මෙතේ බුදුන් ගේ සස්නෙන් නිවන් දක්නට පැතීමට වඩා අනියමින් නිවන පැතීම යහපත් බව කිය යුතු ය. වර්තමාන ජනයා අතර මේ බුදු සස්නෙහි ම නිවන් දැකීමට හේතු සම්පත් ඇති අය ද නැතය යි නො කිය හැකි ය. සමහර විට බොහෝ ඇති විය හැකි ය. මෙතේ බුදුන් වහන්සේ ගැන ම බලාපොරොත්තු වීම මේ සස්නෙහි ම නිවන් දැකීමට හේතු සම්පත් තිබේ නම් එයින් ප්‍රයෝජන නො ලැබී යාමට ද කරුණෙකි. නිවන් දැකීමට හේතු සම්පත් ඇත ද එය සිදු කර ගැනීමට උත්සාහයක් නො කරන ඒ ගැන බලාපොරොත්තු හැර සිටින තැනැත්තා කරා පින් බලයට ඉබේ නිවන පැමිණෙන්නේ නො වේ. එය ලැබීමට උත්සාහ කළ යුතුය.

චතුරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරූ අප මහ බෝසතාණන් වහන්සේට පවා නිවන් දැකීමට සය වසක් දුක් ගන්නට සිදු විය. අන්‍යයන් ගැන කියනු ම කිම?

උත්සාහයක් නැතිව, බලාපොරොත්තුවක් නැතිව, සිටින තැනැත්තාගේ හේතු සම්පත්තිය මහ ධන සිටු පුත්‍රයාගේ හේතු සම්පත්තිය මෙන් නිෂ්ඵල වන්නේ ය.

දිනක් සිඟා කෑමෙන් ජීවත් වන මහා ධනසිටු පුත්‍රයා දැක, බුදුන්වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළ සේක. “ආනන්දය, මොහුට ප්‍රථම වයසේදී තමාගේ ධනය නැති කර නො ගෙන ඒවා කර්මාන්තයන්හි යොදන ලදුයේ නම් මේ නුවර අග්‍ර සිටුවරයා වන්නට තිබුණේය. පැවිදි වී නම් රහත් ව නිවන් දක්නට තිබුණේ ය. මොහු ගේ භාර්‍ය්‍යාවට ද, අනාගාමී ඵලයට පැමිණෙන්නට තිබිණ. මධ්‍යම වයසේ දී මොහු ගේ ධනය කර්මාන්තයන්හි යෙදවී නම් මොහුට මේ නුවර දෙවන සිටු වන්නට තිබුණේය. පැවිදි වී නම් අනාගාමී වන්නට තිබුණේ ය. මොහුගේ භාර්‍ය්‍යාවට ද සකෘදාගාමී ඵලයට පැමිණෙන්නට තිබිණ.

ධනය නො නසා ගෙන පශ්චිම වයසේ දී ඒවා කර්මාන්තයන්හි යොදන ලදුයේ නම් මොහුට මේ නුවර තුන්වන සිටුවරයා වන්නට තිබිණ. ‘පැවිදි වී නම් සකෘදාගාමී ඵලයට පැමිණෙන්නට තිබිණ. මොහුගේ භාර්‍ය්‍යාවට ද සෝවාන් ඵලයට පැමිණෙන්නට තිබිණ.

දැන් මොහු දෙපක්ෂයෙන් ම පිරිහී තැවෙන්නේ ය. මේ මහා ධන සිටු පුත්‍රයා ගේ හේතු සම්පත්තියෙන් ඔහුට පලක් නො ලැබුණාක් මෙන් ම මේ සස්නේ නිවන් දැක්මට හේතු සම්පත් ඇතියකු මෙතේ බුදුන් ගේ සස්නෙහි දී නිවන් දක්නට පත පතා සිටිය හොත් ඒ හේතු සම්පත්තියෙන් ඔහුට පලක් නො වන්නේ ය.

සමහර විට ඔහුට මෙතේ බුදුන් ගේ සස්නෙහි දී ද තවත් බුදුවරයකුගේ කාලයේ දී නිවන් පතන්නට සිත් වන්නට ද බැරි නැත. එසේ ඉදිරියට උපදනා බුදුවරුන් පත පතා කල් යවන්නා හට කවදා නිවන් දැකිය හැකි වේ දැයි නො කිය හැකි ය. අප ලබා සිටින මේ බුදුසස්න නිවන් නො ලැබිය හැකි හිස් එකක් නොවේ. මේ සස්නෙහි නිවන් ලැබිය හැකි කාලය තවත් බොහෝ ඉදිරියට තිබේ. පුබ්බයෝගාවචර සූත්‍රය නිවන් දකිනු කැමතියන් විසින් විශේෂයෙන් සැලකිය යුතු සූත්‍ර ධර්මයෙකි. ඒ මෙසේ ය.

“පඤ්චිමෙ ආනන්ද, ආනිසංසා පුබ්බයොගාවචරෙ, දිට්ඨෙව ධම්මෙ පටිගච්චේව අඤ්ඤං ආරාධෙති. නො චෙ දිට්ඨෙව ධම්මේ පටිගච්චේව අඤ්ඤං ආරාධෙති, අථ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, අථ දෙවපුත්තො සමානො අඤ්ඤං ආරාධෙති, අථ බුද්ධානං සම්මුඛී භාවෙ ඛිප්පාහිඤ්ඤො හොති. අථ පච්ඡිමෙ කාලෙ පච්චේක බුද්ධො හොති.”

ආනන්දය, පූර්ව යෝගාවචරයා හට (පෙර භාවනා කළ තැනැත්තා හට) මේ අනුසස් පස ඇත්තේ ය. වර්තමාන භවයේ දී කලින් ම රහත් වන්නේ ය. වර්තමාන ජාතියේ දී කලින් රහත් නො වී නම් මරණාසන්න කාලයේ දී රහත් වෙයි. එසේ නො වී නම් දේවපුත්‍රයකු වී රහත් වෙයි. එසේ ද නො වී නම් බුදුවරයන් හමුවේහි දී වහා රහත් වෙයි. එසේ ද නො වී නම් පසු කාලයේ දී පසේ බුදු වෙයි. මේ පූර්ව යෝගාවචර සූත්‍රයේ තේරුම ය.

පූර්ව යෝගාවචරයනට වර්තමාන ජාතියේදී ම රහත් විය හැකි බව හා නො හැකි වී නම් දෙ වන ජාතියේ දෙවියකු වී රහත්විය හැකි බව ද පූර්ව යෝගාවචර සූත්‍රයෙන් ප්‍රකාශ වේ. එබැවින් බෝධියට – නිවනට පැමිණෙනු කැමැතියන් විසින් වර්තමාන ජාතියේ ම එයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ක්‍රියා කිරීම මැනවි. නොහැකි වුව හොත් දෙවන ජාතියේ දෙව්ලොවදී බෝධියට – නිවනට පැමිණිමේ බලාපොරොත්තුවෙන් ක්‍රියා කරනු මැනවි.

මේ කාලයේ සැටියට දෙව්ලොව, මිනිස්ලොවට වඩා නිවන් දැකීමට පහසු තැන බව කිය යුතු ය. බුදුන් වහන්සේ පිරිනීවී දැනට අවුරුදු දෙදහස් පන්සියයකට සමීප කාලයක් ඉකුත් වී තිබේ. අප අතර බුදුන් දුටු කෙනෙක් නැත. බුදුන් වහන්සේ ගෙන් දහම් ඇසූ කෙනෙක් ද නැත. අපට තිබෙන්නේ බුදුන් වහන්සේ ගැන පරම්පරා බොහෝ ගණනක් අතින් අතට ආ ආරංචියකි. අපට ඇත්තේ පරම්පරා ගණනක් අතින් අතට ආ ධර්මයෙකි. මඟ ඵල ලැබීමට උපදෙස් ලබා ගැනීම සඳහා ඒවාට පැමිණ සිටින කෙනෙක් සොයා ගන්නට ද අපට නැත.

දෙව් ලොව දෙවියන් ගේ ආයුෂය දිර්ඝ බැවින් එදා බුදුන් දුටු, උන් වහන්සේ ගෙන් බණ ඇසූ දෙවියෝ අදත් දෙව්ලොව බොහෝ ඇතහ. දහම් අසා මඟ ඵල ලබා සිටින දෙවිවරු ද දෙවියන් අතර බොහෝ ඇතහ. බුදුන් වහන්සේ ගෙන් දහම් ඇසුවා වූ ද, දහම් අසා මඟ ඵල ලැබුවා වූ ද තැනැත්තන් ගෙන් වැඩි පිරිස දිව්‍ය බ්‍රහ්මයෝ ය. උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව අසා අටළොස් කෝටියක් සත්ත්වයන් නිවන් දුටු බව කියා තිබේ. එදා බණ ඇසූ පිරිසෙහි මනුෂ්‍යයන් සිටියේ පස් දෙනෙක් පමණෙකි. සෙස්සෝ දිව්‍ය බ්‍රහ්මයෝ ය. එදා මනුෂ්‍යයන්ගෙන් සෝවාන් මඟට පැමිණ නිවන් දුටුයේ එක් අයෙක් පමණ ය. තවත් බොහෝ ධර්ම සමාගමයන්හි නිවන් දුටු කෝටි ගණන් සත්ත්වයන්ගෙන් වැඩි දෙනා දිව්‍ය බ්‍රහ්මයෝ ම ය. ඒ දිව්‍ය බ්‍රහ්මයන්ගෙන් වැඩි දෙනා අදත් එහි ජීවත් වන්නාහ. එ බැවින් දෙව්ලොව උපන් තැනැත්තාට බුදුන් වහන්සේ ගෙන් දහම් ඇසූවන් ගෙන් ම ඒ දහම් ඇසිය හැකි ය. මඟ ඵල නිවන් දැක සිටින්නන් ගෙන් ම ඒ ගැන උපදෙස් ලැබිය හැකි ය.

බුදුන් වහන්සේගෙන් ම දහම් ඇසූවන් අතර පවත්නා ධර්මය පරම්පරා බොහෝ ගණනක් අතින් අතට අවුත් අප අතර තිබෙන ධර්මයට වඩා ශුද්ධ බව උසස් බව අවිවාදයෙන් පිළිගත යුතු ය. මාර්ග ඵලවලට පැමිණ සිටින්නකු දෙසන ධර්මය පෘථග්ජනයකු දෙසන ධර්මයට වඩා ශුද්ධ බව ද එසේ ම පිළිගත යුතුය. නිවන් දකිනු සඳහා ඔවුන් ගෙන් ලබා ගන්නා උපදෙස් ද පෘථග්ජනයකුගෙන් ලබා ගන්නා උපදෙස්වලට වඩා යහපත් ය. කරුණු මෙසේ හෙයින් මෙකල මඟපල ලබා නිවන් දක්නට හොඳ ම ස්ථානය පහසු ස්ථානය දිව්‍ය ලෝකය බව කිය යුතු ය. දැනට බුදුසස්සනක් ලබා සිටින්නවුන් විසින් තමන් ලබා තිබෙන බුදුසස්නෙහි ම නිවන් දැකීමට ඇති ඉඩ කඩ ගැන නො සොයා ඉතා දිර්ඝ කාලයකින් ඇති වන අන් බුදුවරයන්ගේ සසුන් ගැන සෙවීම අතට පත් දෙය හැර දැමීමකි. එය වැස්සට ගසින් ගසට යාම වැනි ක්‍රියාවකි.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X