Temples of Sri Lanka

සතර අපායෙන් මිදී ඉදිරිය සුභවාදී කර ගනිමු..

සෝතාපත්ති අංග දැන දැක අවබෝධ කොටගෙන සතර අපායෙන් මිදී නිවන් ශාක්ෂාත් කර ගනිමු.

දුර්ලභ වූ මිනිසත් භවයක් ලැබූ අප, අවිද්‍යා අන්ධකාරය හේතුවෙන් අනන්ත වූ බොහෝ වූ සසර දුක්වලට මුහුණ දීම වළක්වාලිය නොහැකි සත්‍යයකි. අනන්ත වූ බොහෝ වූ සසර දුකින් මිදීමට නම් අප හට අවිද්‍යා අන්ධකාරයෙන් නියත වශයෙන්ම බැහැර වී විද්‍යා ආලෝකයට බැස ගත යුතුය ය. මේ සඳහා අවැසි මාර්ගය පන්සාලිස් වසරක් මුළුල්ලෙහි ම බුදු රජාණන් වහන්සේ අප හට පෙන්වා දී ඇත. අප කළ යුත්තේ එම මාර්ගය දැන දැක අවබෝධ කිරීමයි. මිනිසුන් ලෙස මේ සසරට එකතු වූ ඔබ අප මේ සසරින් එතෙර වීමට අවස්ථා තුනක් ඇත. එනම්,

*. බුද්ධත්වයට පත් වීමෙන්
*. පසේ බුද්ධත්වයට පත් වීමෙන්
*. අරහත් ඵලයට පත් වීමෙන්

යන අවස්ථා මගිනි. බුද්ධත්වයට පත්වීම හා පසේ බුද්ධත්වයට පත්වීම, අරහත් ඵලයට පත්වීමට සාපේක්ෂව ඉතා ගැඹුරු කාර්යභාරයකි. සාමාන්‍ය සත්වයෙකුට සසරෙන් එතෙර වීම සඳහා බුද්ධත්වයටත්, පසේ බුද්ධත්වයටත් සාපේක්ෂව පහසුම මාර්ගය වන්නේ අරහත් පලයෙන් සසරින් එතෙර වීමයි. මෙතුළින් කියවෙන්නේ අරහත්ත ඵලයෙන් සසරින් එතෙර වීම සරල කාරණාවක් යන්න නොව බුද්ධත්වයට පත්වීමත්, පසේ බුද්ධත්වයට පත් වීමටත් සාපේක්ෂව අරහත්ත ඵලයෙන් නිවන් අවබෝධ කර ගැනීම පිළිබඳවයි. අරහත් ඵලයට පත් වීම පහසු කාරණාවක් යැයි වරදවා වටහාගත යුතු නැත. අරහත්ත ඵලයෙන් නිවන් අවබෝධ කර ගැනීම සඳහා ගමන් කලයුතු මාර්ගයක් ඇත. එය අප හඳුන්වන්නේ සතර මග සතර ඵල ලෙසයි. එනම්,

1. සෝවාන් මාර්ගය
2. සෝවාන් ඵලය
3. සකදාගාමි මාර්ගය
4. සකදාගාමී ඵලය
5. අනාගාමී මාර්ගය
6. අනාගාමී ඵලය
7. අරහත්ත මාර්ගය
8. අරහත්ත ඵලය

යනුවෙන් එකී සතර මඟ සතර ඵල දහම තුළ පෙන්වා දී ඇත. මෙහිදී අප විසින්, අරහත් ඵලයෙන් නිවන් අවබෝධ කරගැනීමට අපේක්ෂා කරන ශ්‍රාවකයා විසින් මුලින්ම කළ යුත්තේ සෝවාන් මාර්ගයේ ගමන් කිරීම බව අවබෝධ කරගත යුතු ය. සෝවාන් මාර්ගයේ ගමන් කිරීමට පෙර අප විසින් සම්පූර්ණ කරගත යුතු අංග කිහිපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ. අප ඒවා පොදුවේ හඳුන්වන්නේ සෝතාපත්ති අංග යනුවෙනි. සෝතාපත්ති අංග වශයෙන් අවස්ථා දෙකක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ. එනම්,

*. සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයා තුළ ඇති සෝතාපත්ති අංග
*. සෝවාන් ඵලයට පත් වීම සඳහා වැදගත් වන සෝතාපත්ති අංග

යනු එම සෝතාපත්ති අංග වශයෙන් ඇති අවස්ථා දෙකයි. මෙම දහම් ලිපියේ දී අරමුණු කරනු ලබන්නේ සෝවාන් ඵලයට පත් වීම සඳහා වැදගත් වන සෝතාපත්ති අංග පිළිබඳව පැහැදිලි කිරීමයි. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ දී සාරිපුත්ත මහරහතන් වහන්සේ අමතා කළ දේශනාවක් තිබේ. දිනක් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අමතා මෙසේ දේශනා කළහ.

“කතමං නු ඛො සාරිපුත්ත, සොතාපත්තියඞ්ග”න්ති? “සප්පුරිසංසෙවො හි භන්තෙ සොතාපත්තියඞ්ගං, සද්ධම්මස්සවනං සොතාපත්තියඞ්ගං, යොනිසොමනසිකාරො සොතාපත්තියඞ්ගං, ධම්මානුධම්මප්පටිපත්ති සොතාපත්තියඞ්ග”න්ති”

“සාරිපුත්ත, සෝවාන් අඟ කවරේ දැ”යි. වහන්ස, සපුරිස් සෙවුම සෝවාන් අඟෙකි. සදහම් ඇසුම සෝවාන් අඟෙකි. නුවණින් මෙනෙහි කිරීම සෝවාන් අඟෙකි. දහම් අනුදහම් පිළිවෙත සෝවාන් අඟෙකි”

බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අමතා සෝතාපත්ති අංග පිළිබදව දේශනා කළ සේක. ඒ තුළින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සෝතාපත්ති අංග සතර මෙසේ ය.

1. සත්පුරුෂ සේවනය
2. ධර්ම ශ්‍රවණය
3. යෝනිසෝ මනසිකාරය
4. ධම්මානුධම්ම පටිපදාව

යනු එම සෝතාපත්ති අංග 4 යි. මෙම සිව් වැදෑරුම් සෝතාපත්ති අංග එකිනෙක පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම බොහෝ සේ වැදගත් වෙයි. පළමු සෝතාපත්ති අංගය වන්නේ සත්පුරුෂ සේවනයයි. සත්පුරුෂයා හා අසත්පුරුෂයා පිලිබඳවත් අසත්පුරුෂයා හා අසත්පුරුෂයා හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ මජ්ඣිම නිකායේ මනාව පෙන්වා දී තිබේ. දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා සත්පුරුෂයා සහ අසත්පුරුෂයා පිළිබඳව මෙසේ දේශනා කළ. මෙහිදී සත්පුරුෂයා යනු කවරෙක්ද යන්න දේශනා කොට වදාළේ මෙසේ ය.

“සප්පුරිසො භික්ඛවෙ, සද්ධම්මසමන්නාගතො හොති, සප්පුරිසභත්ති හොති, සප්පුරිසචින්තී හොති, සප්පුරිසමන්තී හොති, සප්පුරිසවාචො හොති, සප්පුරිසකම්මන්තො හොති, සප්පුරිසදිට්ඨි හොති; සප්පුරිසදානං දෙති”

“මහණෙනි, සත්පුරුෂ සද්ධර්මයෙන් සමන්වාගත වෙයි. සත්පුරුෂයන් සෙවුනේ වෙයි, සත්පුරුෂ සිතිවිලි සිතන්නේ වෙයි, සත්පුරුෂමන්ත්‍රණ ඇත්තේ වෙයි. සත්පුරුෂ බස් ඇත්තේ වෙයි, සත්පුරුෂ ක්‍රියා ඇත්තේ වෙයි, සත්පුරුෂදෘෂ්ටි ඇත්තේ වෙයි, සත්පුරුෂදාන දෙයි.”

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X