Temples of Sri Lanka

දරුවනි, මේ සෙනෙහස ඔබටයි

දරුවෙකු කුස පිළිසිඳ ගත් බව දැන ගත් දා පටන් තම ජීවිතය මෙන් ඒ දරු ගැබ සුරැකීම දයාබර මෑණියන්ගේ ප්රධාන අපේක්ෂාවයි.

තම කුස හොත් දරුවා දස මසක් මව් කුස දරා සිට මෙ ලොවට බිහිවන තෙක් නො ඉවසිල්ලෙන් බලාපොරොත්තු තබා ගෙන සිටින මෑණියන් සහ පියාණන් සිය දරු සම්පත වෙනුවෙන් නොවිඳිනා දුකක් නැත.

 

මව් සෙනෙහස තරම් දරුවාට වෙනත් උතුම් සෙනෙහසක් මෙ ලොව තවත් නැත. පිය සෙනෙහස ද එවන් මහ සෙනෙහසකි.
මව්, පිය දෙදෙනා තරම් තම දරුවන් වෙත අදරැති වෙනත් නම් කවර අයෙක් ද?, මව, පියා තම දරුවනට මහා බ්රහ්මයා මෙනි. “පුත්තා වත්ථු මනුස්සානං” මව්පියන්ගේ මා හැඟි වස්තුව වනුයේ ද තම දරුවන් ය.

 

මෛත්රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන සිව් බඹ විහරණයෙන් ක්රියා කරන මව් පිය දෙපළ තම දරුවන් වෙනුවෙන් මුළු දිවිය ම කැප කරමින් කටයුතු කරන බව බෞද්ධ ජන සමාජය මැනවින් දන්නා කරුණක්
මෙ ලොව වෙසෙන බොහෝ මව් පියවරු තම දරුවන් වෙනුවෙන් එවන් ආදර්ශවත් මෙහෙවරක් සිදු කරන හෙයින් ම එවන් මව් පියවරු අගය කළ යුතුව ඇත.

 

එහෙත් අවාසනාවකට මෙන් කලාතුරකින් හෝ ඇතැම් විට මව් පදවිය මෙන්ම පිය පදවියෙහි ද වටිනාකම මැනවින් තේරුම් නො ගත් අකාරුණික වුවන් උපන් කිරිකැටි බිලිඳා අතර මඟ අතරමං කර දමා යන අවස්ථාද අපට අසන්නට දකින්නට නැතුවා නොවේ.
කෙතරම් ගුණවත්, නැණවත්, කාරුණික මව් පියවරුන් අතර වුවද කලාතුරකින් හෝ තම දරු සම්පත ගැන නො සිතා කටයුතු කරන මව් පිය නාමයෙන් පෙනී සිටින එවැන්නන් සිදු කරන එවන් අනුවණකම් නිසා ම උතුම් මව් පිය පදවිය පවා ගැරහීමටද එවැනි අය ලක් කරනු ඇත.

 

කෙසේ වුවද අනන්ත අප්රමාණ අපේක්ෂාවන් තම හදවතෙහි පොදි බැඳ ගනිමින් දරුවන් හදන වඩන මව් පියවරු, දරුවන් වෙනුවෙන් ආදර්ශවත් මහඟු මෙහෙවරක් ඉටු කිරීම නැවැත නැවැත ද අගය කළ යුතු ය.
මිනිසත් භවයක් ලබා ගැනීම සම්බුදු දහමට අනුව දුලබ කරුණකි. දුලබ අවස්ථාවකි.
එවන් දුලභ මිනිසත් භවයක් ලබා ගත් තම දරුවකු මහ මඟ අතරමං කිරීම මව් පිය පදවියට කිසිසේත් ම නුසුදුසුය. නොගැළපේම ය.
දරුවන් බිහි කළ විට ඒ දරුවන් හදා වඩා පෝෂණය කිරීම මව් පියවරු සතු වගකීම ය. මල් වැනි එවන් දරුවන් අකාලයේ මිලින වී යාමට කෙසේවත් ඉඩ හැරිය යුතු නොවේ.

 

කිසිවක් කරකියා ගත නොහැකි, කිසිවක් නො තේරෙන සුරතල් දරුවන් සිය නිවසේ දී තම දෑස මෙන් නිසි පරිදි ආරක්ෂා කර ගත යුතු බව මව් පියවරු කල්පනා කළ යුතු වේ. අනාරක්ෂිතවීම නිසා දරුවකුට යම් අකටයුත්තක් සිදුවීමෙන් පසු ඒ ගැන සිතීමෙන් පසුතැවිලිවීමට වඩා එවන් අකටයුත්තක් සිදු නොවීමට වග බලා ගැනීම නිරන්තරයෙන් ම කළ යුතු ය.
ඇතැම්විට මව් පිය සෙනෙහස නිසා ම ඇතැම් දරුවකුට ආදරය නිසියාකාරව ලබාදීමේ දී පවා ඒ ගැන අවධානය යොමු කළ යුතු වේ. වැඩි යහපත පතා එමගින් අයහපත දරුවාට ළඟා වන්නේ නම් ඒ පිළිබඳව කවදා හෝ තම දරුවා වෙනුවෙන් පසුතැවීමට සිදු වනුයේ ද මව්පිය දෙපළට ම වන බැවිනි.

 

දරුවාට නිසි වයසේ දී ම පමණක් අවශ්ය යමක් වෙතොත් එය ලබාදීමට පමණක් මව්පියවරු බුද්ධිමත් විය යුතු වේ.
අනෙකුත් දරුවන් අතර තම දරුවා පිළිගත් සමාජ මට්ටමක සිටින ආකාරය සමාජයට පසක් කිරීමට උත්සාහ කිරීමෙන් ද ඇතැම් විට දරුවන් යහමඟ නොව නොමඟ යාමට ඇති ඉඩ කඩ බොහෝ ය.
දරුවන් හදන වඩන මව්පියවරු තම දරුවන් පිළිබඳ නිතර නිතර විමසිල්ලෙන් ම පසුවිය යුතු ය.දරුවා ඇසුරු කරන සමාජය දෙස විපරමින් පසු විය යුතු ය. කුඩා කාලයේ පටන් දරුවා පිළිබඳ වැඩි අවධානයෙන් පසුවන විට කලාතුරකින් හෝ නොමඟට පත්විය හැකි දරුවා ඉන් ඈත් කර ගැනීම ඊට පහසුවක් වේ.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X