Temples of Sri Lanka

සුදු සිතක වටිනාකම

හරි වැඩේනෙ. අරයාගේ මොළේට විෂබීජයක් ගිහින්ලූ. දැන් අයි. සී. යූ. දාලා…”
‘හරී ම භයානකයි.”
‘‘හෙලෝ… අරයව අයි. සී. යූ එකේලූ. ජර්ම් එකක් එන්ටර් වෙලාලූ.”
‘‘මයි ගෝඞ්.අනේ මෙයා මගේ ඇඟත් වෙවුලනවා…
‘‘මේ… අනේ ආරංචි ද? අරයට ඩෙංගුලූ. ගොඩක් ම අමාරුලූ.”
‘‘අනේ අපේ මහත්තයට කැන්සර් එකක්ලූ.”
‘‘අයියෝ… මොන දෙයියන්ට කියන්න ද? අපේ හස්බන්ඞ්ගෙ කිඩ්නීස් දෙක ම අප්සට් වෙලා.”
‘‘බුදු සන්තෝ… මට නම් තේරෙන්නෙ නෑ, මොනව කරන්න ද කියලා. ජීවිතේ ම එපා වෙලා යනව මේ වෙලාවට. කාට කියන්න ද?”
‘ කේන්දරේ බලවගෙන අහවල් තැනට ගිහින් පූජාවක් ශාන්තියක් කරමු.”
‘‘නෑ නෑ අහවල් දේවාලෙට ගිහින් යාතිකාවක් කරල රූපෙට රූපයක් බාරවෙමු.”
මෙතන තියෙන්නේ එක ම ගාලගෝට්ටියක්…

හැමෝ ම තක්කු මුක්කු වෙලා. දොඩව දොඩවා ඉන්නවා. මේ මොකට ද? මේ… වයසට යන, ලෙඩවෙන, මැරෙන කය පරිස්සම් කර ගන්නනෙ.

බලන්නකො අපි මේ කයට කරන සාත්තුව. සැරයක් නාවනවා. දෙසැරයක් ඇඟ සෝදනවා. සමහරු දෙසැරයක් නාවනවා. සැරයක් සෝදනවා. පෝෂ්‍යදායක ආහාර පාන හොයා ගෙනැවිත් කවනවා. වටිනා ඇඳුම් අන්දනවා. ආභරණ පලන්දනවා. කොණ්ඩ මෝස්තර දමනවා. ආටෝප සාටෝප කරගෙන මහා ආඩම්බර ලීලාවක් අරගෙන ඇවිදිනවා. කෙස් ගහේ ඉඳල යටි පතුල දක්වා ම මොන තරම් ආදරයක්, අවධානයක්, ආරක්ෂාවක් පවත්වනව ද? පිනකට කීයක්වත් දෙන්න ලෝභ අපි අසනීපවලට ලක්ෂ ගණනින් කිසිම ලෝභකමක් නැතිව වියදම් කරනව නේ ද?

ඉතින්… මේ කයට තියෙන ගරුසම්භාවනීය භාවය හිතටත් තියෙනව ද කියල බැලූවොත්? මොකෝ කියන්නෙ? කියන්න දෙයක් නෑ නේ ද? කොටින් ම හිතක් තියෙනව ද කියලවත් වෙලාවකට මතක නෑ නේ ද?

ඉඳහිට කයට එක විෂබීජය යි කියමුකො ඇතුල් වුණේ. ඒත් මේ හිතට? දවසකට ඇහැ, කන, නාසය, දිව, කය තුළින්, මනසට එන අරමුණු තුළින් කොයිතරම් විෂබීජ ඇතුල් වෙනවද? විෂබීජවලින් හිත වහගෙන තිබුණත් අපි කලබල වෙනව ද? බය වෙනව ද? වෙවුලනව ද? ඒවා විනාශ කරන්න දඟලනව ද? හොඳට බලන්න. අපි ඒ විෂබීජවලින් සතුටු වෙවී නේ ද ඉන්නෙ? ලෝභ, ද්වේෂ, මෝහ, මද, මාන්න, ඊර්ෂ්‍යා, කුඩුකේඩුකම, තණ්හාව… තව කොච්චර ද? මාන්නෙන් සතුටු වෙවී නේ ද ඉන්නෙ? පළිගැනීමෙන්, එකටෙක කිරීමෙන් සතුටු වෙවී නේ ද ඉන්නෙ? අපි ඒවා ඉවසනවා මිස බැහැර කරන්න කලබල වෙනව ද?

මේ කුණු කෙලෙස් හිතේ තිබීම භයානක යි කියල අපට හිතෙන්නෙ නෑනෙ නේ ද?

ඇයි මේ කයට තියෙන ආදරය, ආරක්ෂාව, අවධානය, සාත්තුව හිතටත් කරන්න බැරි? දියුණු කළ කයකුත් අපට නැහැ. දියුණු කළ හිතකුත් අපට නැහැ. අවිද්‍යාෙවන් වැහුන, තණ්හාවෙන් බැඳුන මේ හිත, කය මගේ ය, මම ය, මගේ ආත්මය ය යන බලවත් දෘෂ්ටියෙන් වැළඳගෙනයි ඉන්නෙ. මේ හේතුවෙන් හිතට ඇති අනතුර ගැන හිතටත් අවබෝධයක් නෑ. කය වගේ ම හිතත් නංනත්තාර වෙලා.

අපි උපරිම උත්සාහයෙන් මේ කය හැඩවැඩ කරන පරිස්සම් කරන, සාත්තු කරන වෙලාවෙ, මේ හිත රට වටේ, ලෝකෙ වටේ ඇවිදල, රටේ ලෝකෙ තියෙන තරම් කුණු කන්දල් ටික ගාගෙන, නාගෙන පළාතෙ ඉන්න බැරි තරමට ගන්දස්තාරෙ කරගෙන ඇවිත් සද්ද නැතිව ඉඳී.

අපි පොඞ්ඩක් හොයල බැලූව ද මේ හිත මෙතෙක් වෙලා හිටියෙ කොහෙද, කළේ මොනව ද කියල? ඔක්කොම කුණු පුරවගෙන තොත්ත බබා වගේ ඉන්නව. අනේ… ඉතින් අපිත් ලෝකෙට කියනව ‘අනේ මගේ හිතේ නම් තණ්හාවක් නෑ. මගෙ හිතේ නම් ඉරිසියාවක් නෑ. මගේ හිතේ නම් කිසි ම තරහක් නැහැ.’ කියල. ඔය වගේ ආටෝප රාශියක් ගුණකථන හිතට දෙනකොට හිතට පැලෙන්න හිනා. ඇයි හිතනෙ හිත ගැන දන්නෙ. අපි හිත ගැන මෙලෝ සිහියක්, අවබෝධයක් නැතිව හිතට ලකුණු දෙනවා.

ඉතින් හිත මොකද කරන්නෙ? කොච්චර වැරදි කෙරුවත් තමන්ගෙ ළමයින්ව සුද්ද කරන දෙමව්පියන් ඉන්න කොට, වැරදි කරන්න බය නැති ළමය වගේ හිතත් නීච දේ හිතන්න, කියන්න, කරන්න බය නැතිව යනව.

ඇයි හිතට සංවර වෙන්න, දමනය වෙන්න, කීකරු වෙන්න, හොඳට හැදෙන්න වැඩෙන්න උපකාරයක් නැහැනෙ. අනේ මගෙ හිත කියල මේ නීච හිත වැළඳගෙන මොන ජරාවල් හිතුවත් ප‍්‍රශංසා කර කරමනෙ ඉන්නෙ. ඉතින් කෝම ද හිතට යහපතක් ලැබෙන්නෙ?

වැරදි දැක්කා ම අවංකව ම පිළිඅරගෙන හොඳින් හෝ දඬුවමින් හෝ හික්මවිය යුතු ළමයා වගේ මේ හිත ගැනත් මනා අවධානයකින් ඉඳගෙන නීච සිතුවිලිවලට ගර්හා කරලා, ඒවගේ ම ධර්මානුකූලව අවවාද කරලා, හිතට වැඩෙන්න උපකාර නො කළොත්, මේ හිත විසින් අපව මොන අනතුරකට දමාවි ද කියල අපි දන්නව ද? දැනගන්න කොට ගොඩාක් ප‍්‍රමාදයි.

පුංචි කාලෙ ඉඳල වැරදි වැඩ කරන ළමයගෙ මෝඩ දෙමව්පියො මාන්නෙ නිසා ලෝකෙට චෝදනා කර කර ළමයගෙ වැරදි හංගනවා. අන්තිමට ලොකු මහත් වෙලා මංකොල්ලකාරයෙක්, මිනීමරුවෙක්, සල්ලාලයෙක් වෙලා හිරේ විලංගුවෙ වැටෙනවා. පෝරකේට යනව. දෙමව්පියෝ රටට, ගමට මුහුණ දෙන්න බැරිව අන්ත දුකට වැටෙනවා. මේ ප‍්‍රාථමික මට්ටමේ පවතින හිතක ඇති දුර්වලකම් අවංකව ම දැනගෙන, දැකගෙන, ධර්මානුකූලව හිත දියුණු කර ගන්නට අපට බැරි වුණොත් මේ හිත විසින් අප ව නැවත නැවතත් සතර අපායට ම ගාල් කරනවා. මේ කතාව අපි නිතර ම අහනවා. එත් හිතට කිසි බයක් එන්නෙ නෑ නේ ද? ඇයි ? අනතුර ගැන මනා නුවණින් නැවත නැවතත් විමසන්නේ නැති නිසයි. කුමකින් ද අපි විමසිය යුත්තේ? නුවණින්. නුවණින් විමසන්න නම් තමන්ටත් දියුණු කර ගත් යම් නුවණක් අවශ්‍ය වෙනවා නේ ද?

ශාක්‍ය මුනීන්ද්‍ර වූ අපගේ ශාස්තෘන් වහන්සේ තමයි පළමුවෙන් ම තමා තුළින් ම නුවණ උපදවා ගත්තේ. උපදවා ගත් නුවණින් මේ සියල්ල දැන, දැක වදාළේ. මහා ප‍්‍රඥවෙන් අපට කියා දුන් දේ ශ‍්‍රද්ධාවෙන් පිළිගෙන, නුවණ ම උපකාර කරගෙන, අප තුළත් නුවණක් උපදවාගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. නැත්නම් අපිත් ගිරව් වගේ එක ම කියව කියව යන පිරිසක් පමණක් වේවි.

කයට විෂබීජයක් ඇතුල් වෙලා මලත් හිතේ විෂබීජ නොමැති නම් බය විය යුතු නැහැ. සිතේ කෝටි ප‍්‍රකෝටි ගණන් විෂබීජ පුරවාගෙන, කයට මනා සාත්තු ලබමින්, දරුවන් පිරිවරාගෙන, යස ඉසුරු මැද, ගුණකථන මැද අවසන් ගමන ගියත් කුමන ඵලයක් ද?

ඒ නිසා අපි සිත ම වඩමු. නුවණ ම දියුණු කරමු. නුවණින් විමස විමසා කුණු කෙලෙස් හඳුනාගනිමු. ඒවාට බියවෙමු. පිළිකුල් කරමු. නොඉවසමු. දුරු කිරීමට කලබල වෙමු. අපට උතුම් තෙරුවනේ සරණ පමණ ම යි!ඔබට තෙරුවනේ අනන්ත බෙලෙන් යහපතක්ම වේවා!!!

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X