Temples of Sri Lanka

තරුණ සිතට මිත්‍රශීලී භාෂාවක් අවශ්‍යයි

‘තාරුණ්‍යය සුන්දරයි. ජීවිතයක ප්‍රබෝධවත් ම කාලයයි.’ මෙවැනි වදන් පෙළක් ඇසෙන්නේ සාමාන්‍ය ලෝකයාගේ හදවත් ඇසුරිනි. හැබෑවට ම ජීවිතය සුන්දරයි. එනමුත් සිත් ගැන කියා දෙන දහමට සමීප විය යුතු මයි. එසේ නොමැති වුවොත් තාරුණ්‍යයේ සුන්දර බව බොඳ වී යා හැකියි. තථාගත වූ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ද්වේධා විතක්ක සූත්‍රයේ දී මෙසේ දේශනා කරති. ‘ඉති ඛෝ භික්ඛවේ විවටෝ මයා ඛේමෝ මග්ගෝ සෝවත්ථිකෝ පීතිගමනීයෝ’ ‘මා ඔබට ප්‍රීතියෙන් සුවය කරා යා හැකි ක්ෂේම මාර්ගයක් විවෘත කොට තිබේ.’ බුද්ධිය මෙහෙයවීමෙන් සහ තම තම අවබෝධයෙන් යා යුතු මඟ පියවර අටකින් හෙවත් අංග අටකින් සමන්විත ය. මෙම මාර්ගය පෙන්වා දී ඇත්තේ නුඹලාගේ සැනසුම පිණිසයි. මෙය සෙනසුනක හෝ අරමක වෙසෙන පැවිදි උතුමන්ටත් බොහෝ සම්බාධ ඇති ගෘහස්ත ජීවිත ගත කරන සැමටත් එකසේ පොදු ය. සම්මා දිට්ඨි (නිවැරදි දැක්ම), සම්මා සංකප්ප (නිවැරදි කල්පනා), සම්මා වාචා (නිවැරදි වචන භාවිතය), සම්මා කම්මන්ත (නිවැරදි කායික ක්‍රියා), සම්මා ආජීව (නිවැරදි ජීවිත පැවැත්ම), සම්මා වායාම (නිවැරදි උත්සාහයන්), සම්මා සති (නිවැරදි ලෙස සිහිය පිහිටුවීම), සම්මා සමාධි (නිවැරදි ලෙස සිතේ ඒකග්‍රතාවය පැවැත්වීම) යනුවෙන් සැනසිලිදායක ගමන අංග අටකින් යුතු ව එසේ විස්තර කොට ඇත.

මෙම පියවර අට බෞද්ධ දර්ශනයෙහි ඉලක්ක කොට ඇත්තේ පරමාර්ථ ධර්මය උදෙසා ය. එනම් සසරගත සියලු දුකින් සදාකාලික ව ම නිදහස් වීම පිණිස ය. ඒ වගේ ම ඒ සඳහා පෙන්වා දී ඇති මෙම ගමන් මාර්ගය සැකසී ඇත්තේ ද සෑම පියවරක් ම, සෑම ගත වන මොහොතක් ම සිත, කය, වචනය සන්සිඳෙන ආකාරයට ය. මේ මොහොත ‘හොඳ වීම’ ඊළඟ මොහොත යහපත් වීමට ප්‍රධාන ම සාධකය වන බව සිතන්නට හැකි කවරෙකුට වුව ද අවබෝධ කරගත හැකි ය. ජීවිතයේ නව අත්දැකීම් සොයා යන නිරන්තර ඉන්ද්‍රියන්ගේ සතුටක් ලබන්නට අවස්ථාවක් සොයන, ප්‍රිය අරමුණෙහි ඉක්මනින් ඇලෙන බැඳෙන, අකැමැති අරමුණෙහි වහා ගැටෙන හෙවත් අකැමැති වන යුගයක් ලෙස තාරුණ්‍යය නම් කළොත් එය බොහෝ තරුණ පිරිසකට ගැළපේ.

තාරුණ්‍යයේ හැබෑ ම සුවය නිවැරදි ලෙස භුක්ති විඳින ආකාරය බෞද්ධ දර්ශනය මේ අනුව පෙන්වා දෙයි. මහා දුක්ඛක්ඛන්ධ සූත්‍ර දේශනාවට අනුව ලෝකය දකින සහ බලන ආකාරය මෙසේ යථාර්ථවාදී ව පැහැදිලි කොට දී තිබේ. මෙම ‘බලන සහ දකින’ නම් වූ වචනවලින් අදහස් කරන්නේ ඇස් දෙකෙන් කරන බැලීම පමණක් ම නො වේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන නම් වූ ඉන්ද්‍රිය සයෙන්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම (සිතුවිලි) නම් අවස්ථාවන් අරමුණු කරගැනීම හෝ අරමුණු වීමයි. මේ ලෙස අරමුණු ගැනීමේ දී අස්සාදය දකින්න. දෙවනුව ආදීනවය තේරුම් ගන්න. තුන්වෙනුව නිස්සරණයට පරමාර්ථ ලෙස සිත පුරුදු කරන්න.

ඔබ ඔබගේ පියවි ඇස් දෙකෙන් ලෝකය දකින්න. එමෙන් ම බලන්න. ඔබගේ ඇස ගැටුණ රූපය හඳුනාගන්න. නිදසුනක් ලෙස ඔබ මෙසේ හඳුනා ගනී වි. අම්මා කෙනෙකු, පියාණන් කෙනෙකු, සොහොයුරෙකු හෝ සොහොයුරියක, දුවක, පුතෙකු වශයෙනි. එමෙන් ම තරුණ දුවක, තරුණ පුතෙකු ලෙසිනි. එමෙන් ම බොහෝ ම පැහැපත් අයෙකු හෝ එසේ නො වන අවලස්සන අයෙකු වශයෙනි. ඔබගේ සමීපතම අය දකින විට සාමාන්‍යයෙන් දකින ලෝකයට වඩා ලෙන්ගතුකමින්, ආදරයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් ඔබ දකී වි. ඔබ ඔබගේ ධන ධාන්‍ය, ගේ දොර, යාන වාහන හෝ අනෙකුත් වස්තූන් ද බැඳීමෙන් යුතු ව දකී වි. බලා වි. මෙහි සරල අදහස නම් ඔබගේ ඇස් දෙකෙන්, ඔබ සුන්දර බව, ලස්සන, ප්‍රසන්න බව සොයා යන බව සාමාන්‍ය ලෝක ස්වභාවය බව ය. මෙය බුදු දහමට විරුද්ධ නැත. බෞද්ධ දර්ශනය, සාමාන්‍ය ලෝක ස්වභාවය පැහැදිලි කරන්නේ මෙසේ ය.

“පියරූපේ රූපේ සාරජ්ජති

අප්පියරූපේ රූපේ ඛ්‍යාපජ්ජති”

“තමා ප්‍රිය රූපයෙහි ඇලෙයි.

තමා අප්‍රිය රූපයෙහි කෝපයට පත් වෙයි”

මෙම තත්ත්වයට මනා අවබෝධයෙන් යුතු ව මුහුණ දිය යුතු ය. ප්‍රිය රූපයෙහි ඔබ ඇලුණ ද මගේ ය යි පැවසුව ද එය වෙනස් වීමකට භාජනය වන බව නම් අමතක නො කළ යුතු ය. මෙහි දී සම්මත ලෝක පැවැත්මට අනුව මගේ ය (ඒතං මම) මම වෙමි (ඒසෝ හමස්මි) ස්ථිර ආත්මයක් හෝ ස්ථිරය (ඒසෝ මේ අත්තා) යනුවෙන් කල්පනා කළ ද අනිත්‍යතාවය හෙවත් එම වස්තුවේ ගැබ් ව ඇති ‘ආදීනවය’ අමතක නො කළ යුතු ය. ඇස ආදී ඉන්ද්‍රියන් ගෙන් රූපාදී අරමුණු ගන්නා විට අස්සාදය හෙවත් සොම්නස භුක්ති වින්ද ද එහි ඊළඟ අවස්ථාව වූ ‘ආදීනවය’ පිළිබඳ වත් අවබෝධයක් ඇති කරගත යුතු යැ යි පවසන්නේ මේ නිසා ය. එනම් ඇසෙන් දකින රූපය ද, කනින් අසන ශබ්දය ද, නාසයෙන් ලබන ආඝ්‍රාණය ද, දිවෙන් ලබන රසය ද, කයෙන් ලබන ස්පර්ශය ද, සිතින් ලබන සිතුවිලි ද ස්ථිර නො වන බව ය. ඇති වී (උප්පාද) පැවතී (ඨිති) නැති ව (භංග) යයි. මෙහි දී යම් තරුණ සිතක් මෙසේ ප්‍රශ්න කිරීමට හැකි ය. “දුටු, ඇසූ, ලැබූ ආදී දේවල් සමග සතුටු වෙනවාට වඩා අනිත්‍ය ය යි සිතා දුක් වෙන්නේ කුමකට ද?” යනුවෙනි. සත්‍ය වශයෙන් ම ඔබ පණ ඇති හෝ පණ නැති හැම වස්තුවක ම ඇති මේ වෙනස් වීම හෝ අනිත්‍යතාව පිළිබඳ මනා අවබෝධයක් ඇති කර නො ගන්නේ නම් ස්වභාවයෙන් ම එම සියල්ල අනිත්‍යතාවයට පත් වන විට ඔබට දුකට පත් වීමට සිදු වනු ඇත. ‘ඔබේ වචනවලින්’ නම් මෙසේ පවසනු ඇත. “මම සිතුවේ නැහැ මට මෙහෙම දෙයක් වෙයි කියලා.” “ඇයි මම සිතන දේවල් හෝ මට ඕන කරන දේවල් ඉටු වෙන්නේ නැත්තේ?” “මෙහෙම වෙන් වෙන්න නම් ඇයි අපි හමු වුණේ?” ඒ නිදසුන් කීපයක් පමණි. වෙනස් වීම හෙවත් හැම වස්තුවක ම ඇති අනිත්‍යතාවය අමතක කොට ආස්වාදයෙහි පමණක් කටයුතු කිරීම නිසා කොපමණ නම් දුකට පත් වේ ද? තාරුණ්‍යයේ සිටින අයද ඇතුළු ව සෑම වයස් ප්‍රමාණයක ම අය මේ වෙනස් වන ලෝකයේ නො වෙනස් වෙනවා ලෙස සිතන්නට, කතා කරන්නට සහ හැසිරෙන්නට උත්සාහ කරන්නේ මේ ආදීනවය ගැන ඇති අනවබෝධය නිසා නො වේ ද? දැඩි වූ ලෝභයෙන් (අභිජ්ඣා), තරහවෙන් (දෝස) මුළාවෙන් (මෝහ) කටයුතු කොට තමාටත් අන් අයටත් කොපමණ නම් විපත් කරන්නේ දැ යි සිතා බලන්න.

මීළඟ පියවර වූ නිස්සරණයේ දී ඔබ අත්හැරීමට පුරුදු වෙයි. මෙම අත්හැරීම යනු අත් දෙකෙන් කරන අත්හැරීමට වඩා සිතින් ඇති කරගන්නා වූ අවබෝධයයි. මම ඔබට නිදසුන් කීපයක් ඉදිරිපත් කරමි.

“හා යොබ්බනා ජරා අන්තා” තරුණකම මහලු වීමෙන් අවසන් වෙයි.

“හා සංයෝගා වියෝගන්තා”

සියලු එකතු වීම් හා හමුවීම් වෙන් වීමෙන් කෙළවර වෙයි.

“හා පියා සෝක අන්තකා”

සියලු ප්‍රේමයන් ශෝකයකින් කෙළවර වෙයි.

“හා මතන්තා සජීවකා”

සියලු ජීවිත මරණයෙන් කෙළවර වෙයි.

ලෝකයේ, සසර පැවැත්මෙහි සහ ජීවිතයේ ඇති යථාර්ථය හෙවත් හැබෑ ස්වභාවය ඔබ තේරුම් ගැනීම යනු, ඔබ අකර්මණ්‍ය වීමක් නො වේ. ඔබගේ අධ්‍යාපනය අඩාළ වීමක් නො වේ. තරුණ සිතේ ඇති වන ප්‍රේමයට හරස් කැපීමක් නො වේ. ඔබගේ රැකියාව හෝ ව්‍යාපාරය විනාශ කිරීමක් නො වේ. හැබෑවට ම සිදු වන්නේ මෙම සියල්ලේ ම ඔබ සුන්දර මනුෂයයෙකු වීමයි. එනම් ඔබ මෙසේ සිතන්නට පුරුදු වීමයි. සියල්ල අනිත්‍ය වූ ලෝකයේ ඇයි මම නපුරුකමින් හෝ වැරදි ආකාරයෙන් ජීවත් වෙන්නේ? ඇයි මම අනුන්ට කරදර කරන්නේ? ඇයි මම අනුන්ගේ දේවල් සොරකම් කරන්නේ? ඇයි මම වැරදි විදියට ඉන්ද්‍රියන් සතුටු කරන්නේ? ඇයි මම බොරු කියන්නේ? ඇයි මම මත්වතුරට හෝ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වෙලා ජීවිතය පිරිහුණු කෙනෙක් වෙන්නේ? බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන ස්වයං ශික්ෂණය වන පඤ්ච සීලයට ඔබ යොමු වෙන්නේ නැති ද? ඔබ සිතා බලන්න. අනිත්‍යතාවය අමතක කළොත්, ඊළඟට ඇති වන ප්‍රතිඵලය සමාජයට ද මුහුණ දෙන්නට සිදු වන්නේ භයානක ආකාරයකට ය. ඉගෙනීමක් නැති හැදුණුකමක් නැති උපන් ගෙදරටත්, ගමටත්, පිළිලයක් වූ අමනුෂ්‍ය පුද්ගලයන්ගේ බිහි වීමකිනි.

“නිස්සරණ” නම් වූ නිදහස් වීම අත්හැරීම යනු අනිච්ච, දුක්ඛ, අනන්ත නම් වූ ත්‍රිලක්ෂණය කෙරේ ඇති කරගන්නා වූ අවබෝධයයි. ඔබ ඔබගේ ශරීරය පිරිසිදු ව ද, නීරෝගී ව ද, ප්‍රසන්නව ද පවත්වාගෙන යා යුතු ය. එනමුත් දිරීමේ දී, රෝගවල දී, මරණයේ දී ඔබට පාලනයක් නැති බව සහ ඔබ මගේ යැ යි සිතා සිටි ශරීරයට ඔබට වත් හැබෑ අයිතියක් නැති බව අවබෝධ කොටගත යුතුය. සහය එය නම් ඇයි මම, සදාකාලික යයි සිතාගෙන යොමුවන්නේ? ඒ වෙනුවට හැකිතාක් දුරට නිවැරදි මනුෂ්‍යයෙක් වෙන්නට මම උත්සාහ කරමි. එක දවසක් ජීවත් වුවත් නිවැරදි හෙවත් සිල්වත් ජීවිතය උතුම්ය.

(ඒකාහං ජිවිතං සෙය්‍යෝ – සීලවන්තස්ස කධායිනො) සුදුසුකල ඉගෙනීම, ආදරය, විවාහය, රැකියාව, ගේදොර නිවැරදි ලෙස හැකිනම් යානවාහන, පවුල් පරිසරයේ දෙමාපිය දූදරු, ස්වාමි, භාර්යා, සොහොයුරු සොහොයුරියන්ගේ යුතුකම් හැකි අයුරින් ඉටුකළ යුතු නොවේද? ඒවා පවත්වා ගතයුතු නොවේද? එනමුත්, සියල්ල අනිත්‍ය ලොවක නිවැරදි ලෙසය. එනම් ධාර්මිකවය. “මගේ කුස පිරේ නම් අන් අයට මොනවා වුණත් කමක් නැත” නම් වූ මිථයා දෘෂ්ඨි සංකල්පයට අනුව නම් නොවේ.

තාරුණ්‍ය සුවපත් කරන බොහෝ ඉගැන්වීම් සූත්‍ර දේශනවල තිබේ. ඔබ දන්නා සූත්‍ර දෙකක ඉගැන්වීම් කීපයක් මෙහිදී මතක් කරමි. සිඟාලෝවාද සූත්‍රයේ පෙන්වා දී ඇති වැළකිය යුතු භෝග විනාශ මුඛ හය නැවත මෙනෙහි කොට ඒවා දුරු කළ යුතුමය. (1) මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානය (2) කොල්හි වීථි සංචාරය (3) නිතර නැටුම් ගැයුම් බැලීමට යාම (4) සූදුව (5) පාපමිත්‍ර ආශ්‍රය (6) කම්මැලිකම යනුවෙනි. තරුණ බවේ සුන්දර බව නසන අඳුරු සෙවනැලි බොහෝම මෙහි ගැබ්ව තිබේ. එම සූත්‍ර දේශනාවේම ඇති සදිසා නමස්කාරය යෞවනයට සිතන්නට සහ ජිවිතයේ පුරුදු කරන්නට හොඳම ඉගැන්වීම්ය. ඔබගේ ලෝකය යනු ඔබගේ ජීවිතය වගේම ඔබගේ පවුල් පරිසරය, එමෙන්ම ඔබ ජීවත්වන සමාජ පරිසරයයි. එම පරිසරය ප්‍රියජනක කරගන්නට මෙම සදිසා නමස්කාරයේ ඇති යුතුකම් සහ වගකීම් පෙන්වා දෙයි. මව්පියන් සහ දරුවන්, ගුරුවරුන් සහ ශිෂ්‍යයන්, ස්වාමියා සහ බිරිඳ, හිතමිතුරෝ, සේවක හා සේව්‍ය, ගිහි හා පැවිදි ලෙස සමාජ හා ලෝක පරිසරය බෙදා දක්වා ඇත. තරුණ සිතට මෙහිදී ආරාධනාවක් කරමි. පළමුව ඔබගේ යුතුකම් හා වගකීම් ඉටුකරන්න. ඒ අනුව ඔබට ඇති අයිතිවාසිකම් හා ලැබීම් මනාව ඉටුවෙනවා ඇත.

ව්‍යග්ඝ පජ්ජ සූත්‍ර දේශනාවේ ඇති මෙලොව දියුණුවේ දොරටු විමසා බලන්න. (1) උට්ඨාන සම්පදා (නොපසුබට උත්සාහය (2) ආරක්ඛ සම්පදා (ලැබූ ධනය රැක ගැනීම) (3) කල්‍යාණ මිත්තතා (කල්‍යාණ මිත්‍ර, එනම් සත්පුරුෂ ආශ්‍රය) (4) සමජීවිකතා (ආදායම දැන වියදම, එනම් වියදම් අඩු කරගැනීම හා ධර්මානුකූල ආදායම වැඩිකරගැනීම) යනුවෙන් පෙන්වා දී ඇත. ආධ්‍යාත්මික දියුණුවේ රන් දොරටු හතරක්ද එම සූත්‍ර දේශනාවේ පෙන්වා දී ඇත. (1) සද්ධා සම්පදා (බුදුරජාණණ් වහන්සේ කෙරේ අවබෝධයෙන් ඇතිකරගන්නා වූ පැහැදීම) (2) සීල සම්පදා (ශික්ෂණය, සංවරය, විනය) (3) චාග සම්පදා (පරිත්‍යාගය, දානය, උපකාරය) (4) පඤ්ඤා සම්පදා (කුසල් අකුසල් දැන අකුසලයෙන් බැහැරව කුසලයට එකතුවීම) යනුවෙනි.

තාරුණිය වරෙක ආවේගශීලීය. බුදුදහම එම තරුණ සිත නිවා සුවපත් කරයි. තාරුණ්‍ය වරෙක ආශාවන්ගෙන් මුළාවෙයි. බුදුදහම අතෘප්තිකර ආශාවන්ගේ ආදීනව පෙන්වා දී ජීවිතය සැනසුමට එක්කරයි. තාරුණ්‍ය ප්‍රේමය, ආදරය සොයා යයි. බුදුදහම ආදරයේ, ප්‍රේමයේ ඇති ආශාව, රාගය, මමත්වය බැහැර කොට මෛත්‍රියට, කරුණාවට, මුදිතාවට, උපේක්ෂාවට කැඳවා ගෙන යයි. තාරුණ්‍ය, කුතුහලයෙන් පිරී විටෙක පර්යේෂණයට යොමුවෙයි. බුදුදහම, හැබෑම සත්‍ය වූ දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග නම් වූ චතුරාර්‍ය සත්‍ය ඉදිරිපත් කරයි. ඒ හඬන්නට හෝ ජීවිතයෙන් පලායන්නට නොව සදා සැනසෙන්නටය. තරුණ ඔබට, බුදුදහම යනු අශුභවාදයක් නොවේ. අතිශෝක්තියක්ද නොවේ. හැබැ තතු පෙන්වා දෙන යථාර්ථවාදයක්. උතුම් තුණුරුවන් සරණය.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X