ජීවන සසරේ විවිධ ජවනිකා මවන තන්හාව
තණ්හාය ජායතී සෝකෝ –තණ්හාය ජායතී භයංතණ්හාය විප්පමුත්තස්ස –නත්ථි සෝකෝ කුතෝ භයං
ලෝකස්වාමී වූ බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවල තණ්හාව පිළිබඳව දේශනා කර තිබෙනවා. ධම්මපදයේ පිය වර්ගයේ
තණ්හාය ජායතී සෝකෝ –
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස –
නත්ථි සෝකෝ කුතෝ භයං
තණ්හාව නිසා ශෝකය හට ගන්නවා, තණ්හාව නිසා භය හට ගන්නවා, තණ්හාවෙන් මිදුණු තැනැත්තාට ශෝකයක් නැත, භයක් ද නැත.
දිනක් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර කුඹුරක් අයිනෙන් වඩිනවා. කුඹුර හිමි බ්‍රාහ්මණයෙක් පළමුවෙන් ම කුඹුරේ වැඩ පටන් ගන්නවා. කුඹුරේ තියෙන ගස් පැළෑටි ඉවත් කරමින් සී සෑමට සූදානම් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා
“මොකද මේ කරන්නේ?” “ස්වාමීනි! මම මේ කුඹුර ගෙවඩන්න හදනවා. වැඩ පටන් ගන්න හදනවා” ඊළඟට සී සාන දවසෙත් බුදුරජාණන් වහන්සේ වැඩම කළා. එදත් ඇවිල්ලා ඇහුවා “මොකද මේ කරන්නේ?” “ස්වාමීනි! මම සී සානවා.” ඔහොම එක එක කටයුත්තක් ගානේ බුදුරජාණන් වහන්සේ කුඹුරට වැඩම කළා නේ. ඒක පුදුම දෙයක්. උන්වහන්සේගේ මහා කරුණාව. බුදු ඇසින් දැක වදාළා මේ කෙනාට යම් දවසක දී මාර්ග ඵල අවබෝධ කරගන්න ලැබෙන බව. ඔය විදියට කීප සැරයක් ආවහම අන්තිමේ දී මොකද වුණේ? ගොයම් පැහිලා කපන්න සුදුසු වෙලාවේ දී විශාල ගං වතුරක් ඇවිල්ලා ගොයම් ඔක්කොම ගහගෙන ගියා. පස්සේ බුදුරජාණන් වහන්සේ ඔහුගේ නිවසට වැඩියා. මේ ඇත්තා නිකටට අත තියාගෙන බොහොම ශෝකයෙන් ඉන්නවා. නමුත් මේ තැනැත්තා හිතාගෙන හිටියේ, හිතලා තියෙන්නේ ඉතා ම ලොකු දෙයක්. මම මේ කුඹුරේ අස්වැන්න නෙළා ගත්තහම බුදුරජාණන් වහන්සේටත් කොටසක් දෙනවා කියලා හිතාගෙන හිටියා. ඉතින් මේ තැනැත්තා ඒ වෙලාවේ බොහොම ශෝකයෙන් හිටියේ. සිතූ පැතූ සියල්ල ම නිශ්ඵල වුණා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා
“මොකද බ්‍රාහ්මණය?” කියා. “අනේ ස්වාමීනි! මම ලොකු බලාපොරොත්තුවකින් ගොවිතැන් කළා. එක වී ඇටයක් වත් ගන්න ලැබුණේ නැහැ. ගොයම් ඔක්කොම හෝදාගෙන ගියා ගංවතුරට. ඒකෙන් මට මහා තැවිල්ලක් ආවා. මට බයක් ඇති වුණා. මම ජීවත් වෙන්නේ කොහොම ද කියන බය. ඒ වගේම මට සිතූ දේ කරන්න නොහැකි වුණ නිසා ශෝකයක් ඇවිල්ලා.” එතකොට බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථාව දේශනා කළා. ඒ දේශනයෙන් ඔහු මඟ ඵල නිවන් ලැබුවා.
මේ කාරණය නිසා තමයි කිහිප වාරයක් කුඹුරට වැඩියේ.
ඔය වගේ බුදුරජාණන් වහන්සේ තණ්හාව මුල් කොට ඇති දුක පහදා දෙමින් අනන්ත අපරිමාණ ජනතාවක් දුකින් මුදවලා තියෙනවා. දැන් මේ තණ්හා කියන එක පටිච්ච සමුප්පාදයේ තියෙනවා
“වේදනා පච්චයා තණ්හා” කියලා. යම් කිසි වින්දනයක සැප හෝ දුක හෝ මැදහත් හෝ වින්දනයක් තියෙනවා නම් තණ්හාව එතැන ඇති වනවා මයි. “දුක්ඛී සුඛං පත්ථයතී” යම් කෙනෙකුට දුක් වේදනාවක් තියෙනවා. ඒ දුක් වේදනාව තියෙන කොට ඒ ඇත්තා තණ්හාවෙන් සිතනවා අනේ මට දුකක් නැතුව සැප ලැබේ වා. අන්න දුකට පත් වූ තැනැත්තා සැප හිතනවා. ධනය නැති එක්කෙනා ධනය නැති ව දුක් විඳින කොට හිතනවා මට ධනය ලැබේ වා. ඒ වගේම රෝගයක් තියෙන එක්කෙනා හිතනවා අනේ මට රෝගයක් නැතුව නීරෝගී ජීවිතයක්, නීරෝගී කයක් ලැබේ වා. අන්න තණ්හාවෙන් හිතන හැටි. ඒවා ධර්මතා වශයෙන් හිතන්නේ නෑ. ඒ වගේම තමා තමා කැමැති කැමැති දේවල් හිතනවා දුකට පත් වූ අය. “සුඛී භිය්‍යෝපි ඉච්ඡති” යම් කෙනෙක් සැපවත් ව ඉන්නවා. සැපවත් ව ඉන්න කෙනාට නැවත නැවතත් ඒ ගැන ආශාව ඇති වෙලා තව තවත් ඒවා ලැබෙන්න ඕනෑ කියලා හිතනවා. අන්න “සුඛී භිය්‍යෝපි ඉච්ඡති.” ඒත් “වේදනා පච්චයා තණ්හා.” “උපේක්ඛා පන සන්තත්තා - සුඛමිච්චේව භාසිතා.” ඒ කිව්වේ උපේක්ඛා වේදනාව සාන්ත එකක්. ඒකත් සැපේට ම සම්බන්ධයි. ඒ නිසා සැපයෙන් තව තවත් සැප පතන්නා වාගේ උපේක්ඛා වින්දනයෙනුත් සැප ප්‍රාර්ථනා කරනවා.
රට්ඨපාල ස්වාමීන් වහන්සේ පැවිදි වෙන්න ඉස්සර වෙලා රට්ඨපාල කුල පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබුණා දහම් පද හතරක්. ඉන් එක දහම් පදයක තියෙනවා “ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ” කියලා. “ඌනෝ ලෝකෝ” ලෝක සත්ත්වයා කවදා වත් පිරිලා නෑ. ඕනෑකම්වලින් අඩුපාඩුයි. ඕනෑකම්වලින් පිරෙන්නේ නෑ. ‘අතිත්තෝ’ කවදා වත් සෑහීමක් නෑ. කොච්චර සම්පත් ලැබුණත් සෑහීමක් නෑ.
‘තණ්හා දාසෝ’ තණ්හාවට දාසකම් කරනවා. වහල්කම් කරනවා.
සූකර පෝතිකාවගේ කතාව අහලා ඇති නේ. ඇය කාශ්‍යප බුදු සසුන කාලයේ දී කිකිළියක්. මේ කිකිළිය මෙහෙණින් වහන්සේලාගේ ආශ්‍රමයක් ආශ්‍රිත ව හැසිරුණා. නිතර නිතර මෙහෙණින් වහන්සේලා ඇස ගැටීමෙන් සිත පහදවා ගත්තා. පසුව මිය ගොස් රජ කුමරියක වෙලා ඒ නගරයේ ම උපන්නා ‘උබ්බරී’ කියලා. පෙර ජාතියේ බණ ඇසූ පිනෙන් පැවිදි වෙන්න ආසා වෙලා මෙහෙණි සසුනේ පැවිදි වුණා. පැවිදි වෙලා එක දවසක් වැසිකිළි වළක පණු රොත්තක් දැකලා පුළවක සංඥාවෙන් ප්‍රථම ධ්‍යානය උපදවා ගත්තා. පසු කාලයක දී මිය ගොස් බ්‍රහ්ම පාරිසජ්ජ බඹ තලයේ ඉපදී එහිත් සැප විඳලා ආයෙමත් ආවා බරණැස් නුවරට. සිටු කුමරියක වෙලා උපන්නා. ඔහොම වාර ගණනක් ඇවිල්ලා මොකද වුණේ? අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී රජගහ නුවර ඊරි පැටික්කියක වෙලා ඉපදුණා. ඒ ඊරි පැටික්කිව දැකලා තමයි බුදුරජාණන් වහන්සේ සිනා පහළ කරලා ධම්මපදයේ තණ්හා වග්ගයේ සඳහන් “යථාපි මූලේ…” ආදි ගාථා හය දේශනා කළේ. පසු කලෙක ස්වර්ණදීපයේ රජ කුමරියක වුණා. සුප්පාරක පටුනේ වැදි දියණියක වුණා. වෙළෙඳ දියණියක වුණා. ඔහොම වාර එකොළහක් ම තැන් තැන්වල ඉපදිලා අපේ ලංකාවේ උපන්නා ස්ත්‍රියක වෙලා. ලංකාවේ ඉපදිලා ලකුණ්ඩක අතිම්බර කියන ඇමතිවරයාගේ බිරිඳ බවට පත් වෙලා හිටියා අනුරාධපුරයේ. එක දවසක් කෝටි පබ්බත කියන ආරණ්‍යවාසී මහා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතයේ වඩින කොට මෙතුමිය පිණ්ඩපාතය දුන්නා. උන් වහන්සේ ආපසු විහාරස්ථානයට ගිහිල්ලා මේ ප්‍රවෘත්තිය සඟ මැද කිව්වා. බුදුරජාණන් වහන්සේ එදා සිනා පහළ කරපු ඊරි පැටික්කි අද මට දානේ දුන්නා කියලා. මෙතුමියට මේක ආරංචි වෙලා බොහොම සංවේගයක් ඇති වෙන කොට පෙර විසූ ජාති දක්නා නුවණ පහළ වුණා. ජාතිස්මරණ ඤාණය. එතුමිය බලවත් ලැජ්ජාවට, සංවේගයට පත් වෙලා තමාගේ ස්වාමි පුරුෂයා ගෙන් අවසර ගෙන මෙහෙණි සසුනෙහි පැවිදි වුණා. පැවිදි වෙලා තිස්සමහාරාම විහාරයේ දී සතිපට්ඨාන සූත්‍රය අහලා සෝවාන් වුණා. ඊළඟට කල්ලමහා විහාර සේනාසනයේ දී ආසිවිසෝපම සූත්‍රය අහලා සියලු කෙලෙස් නසා අර්හත්වයට පත් වුණා. පසු කාලයක දී එතුමිය පිරිනිවන් පාන කොට අර සියලු ම ප්‍රවෘත්ති කියලා පිරිනිවන් පෑවා. එතන සඳහන් වෙනවා එදා බුදුරජාණන් වහන්සේ සිනා පහළ කළේ මේ අනාගත හේතු සම්පත් දැකලයි කියලා. කොතරම් ධ්‍යාන ලැබුවත්, අභිඤ්ඤා බල ලැබුවත්, භවාග්‍රයට ගියත් මේ තණ්හාව නො සිඳ සිටියොත් ආයෙමත් යනවා අපායට. ආයෙමත් සංසාර දුකට වැටෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තණ්හාව අවබෝධ කරගන්න ඕන, මේ තණ්හාව ප්‍රහාණය කරන්න ඕනෑ කියලා.
තෙරුවනේ අනන්ත ගුණ බලෙන් ඔබ සැමට මේ සත්‍ය අවබෝධ වේවා!!!🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood