Temples of Sri Lanka

ලොවක් සැනසූ සම්බුදු නුවණ

මුළු මහත් ලෝකය ම තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කරන ලදී. තථාගතයන් වහන්සේ ලෝකය හා එක් නොවී වසන්නාහු ය.

බලන්න දෙවි මිනිසුන් අතර මෙවන් ප්‍රකාශයක් කිරීම ලේසි පහසු දෙයක් ද ? දෙසැටක් මිත්‍යාදෘෂ්ටි දරාගෙන වාද කරන්නට අවි ඔසවා ගෙන සිටි බ්‍රාහ්මණයින් අතර මහා බලසම්පන්න රජවරුන් අතර කෝටි ප්‍රකෝටි ගණන් දෙවිවරුන් අතර එක් මනුෂ්‍ය රත්නයක් මෙවන් ප්‍රකාශයක් කිරීම සිංහනාද කිරීමක් ලෙස කියනවා.. මිස වෙන කුමන අර්ථයක් දක්වම් ද…

ඒ ලෝකය හා තතාගතයන් වහන්සේ එක් නොවී වසනව කියන්නෙ කෙතරම් විශ්මිත ද …ඒ එක් නොවී විසීම නිසාම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ජීවිතයට එන සියලු අර්බුද සම්බුදු හද මඩල තුළ නිරුද්ධ වී ගිහින්… ඒ සිත නිවන තුළ සංසිඳී ගිහින්… තථාගතයන් වහන්සේ ලෝකයේ හටගැනීම නිරුද්ධ වීම ඒ නිරෝධය පිණිස පවතින ප්‍රතිපදාව ගැන මෙහෙමයි සිංහ නාදය පවත්වන්නේ..

ලෝක සමුදයො භික්කවේ තථාගතේන අභිසම්බුද්ධෝ ලෝක සමුදයෝ තථාගතස්ස ඵහීනෝ

පින්වත් මහණෙනි ,මේ ලෝකයේ හටගැනීම ද තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කරන ලදී. තථාගතයන් වහන්සේ විසින් ලෝකයේ හටගැනීම ප්‍රහාණය කරන ලද්දේය…මේ සම්බුදු විවරණය නිතර නිතර සජ්ඣායනා කිරීමෙන් නිතර නිතර සිතීමෙන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි යම් අදහසක් අදහා ගැනීමක් තිබෙනවාද එය මහානිසංස අයුරින් වැඩි යන බව නම් නිසැකයි. ශ්‍රද්ධා සම්පන්න වනවා නම් නිසැකයි.

අපගේ ශාස්තෘන් වහන්සේට තථාගත යන නාමය යෙදෙනවා. නමුත් මේ මේ කාරණයට තතාගත වන සේක කියලා අපට අසන්නට ලැබෙන්නේ මේ සම්බුද්ධ දේශනා වෙන් මයි…

පින්වත් මහණෙනි දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත වූ මේ ලෝකයා විසින්ද දෙව් මිනිස් ප්‍රජාව විසින් ද දක්නා ලද යමක් ඇද්ද අසන ලද යමක් ඇද්ද ආග්‍රහණය කරන ලද යමක් ඇද්ද රස විඳින ලද යමක් ඇද්ද පහස ලැබුවා වූ යමක් ඇද්ද සිතින් දැන ගන්නා ලද යමක් ඇද්ද ලබාගත යමක් ඇද්ද සොයාගත් යමක් ඇද්ද සිතින් විමසන ලද යමක් ඇද්ද ඒ සියල්ල ට ම තථාගතයන් වහන්සේ විසින් යම් හෙයකින් අවබෝධ කරන ලද්දේ වෙයි ද එම නිසා තථාගත යැ යි කියනු ලබන්නේ ය.

දෙව් මිනිස් ප්‍රජාවට සංවේදනය වන සියල්ල තථාගතයන් වහන්සේ අවබෝධ කළ බවයි මෙයින් කියැවෙන්නේ ..බලන්න මේ විස්මිත බව අද තාක්ෂණයෙන් හා දැනුමෙන් සන්නද්ධ වන ලෝකය විසින් යම්තාක් නවීන දේ සොයා ගත්තාද අනාගතය සොයා ගන්නේ ද ඒ සියල්ල තථාගතයන් වහන්සේගේ අවබෝධය ට යටත් මක්නිසාද ..ඒ සියලු දැනුම සිතක හටගන්නා දේ බැවින්.

බලන්න මීළඟ තථාගත විවරණය…

පින්වත් මහණෙනි යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන සේක්ද ඒ අතර කාලය තුළ දී තථාගතයන් වහන්සේ යමක් පවසන්නා වූද ප්‍රකාශ කරයි ද නිර්දේශ කරන්නාහු ද ඒ සියලු දෙයම ඒ අයුරින් ම වන්නේ ය.
අන් අයුරකින් නොවන්නේමය.
එමනිසා තථාගත යැයි යි කියනු ලබන්නේ ය…

එක් මනුෂ්‍ය රත්නයක් දේශනා කළ වචනයට අනුව සියල්ල සිද්ධ වෙනවා කියන්නේ කෙතරම් විස්මිත කරුණක් ද.. කෙතරම් බලවත් වූ විවරණයක් ද… අනිත්‍ය යැයි කී ලෝකය නිත්‍ය යැයි කරුණු සහිතව ඔප්පු කරන්නට වසර දෙදහස් හයසියයකට එකදු සත්ත්වයෙකුට වත් හැකිවී නැහැ.

පැහැදීමයි වටින්නේ බලන්න ඊළඟ තථාගත විවරණය…

තථාගතයන් වහන්සේ යම් ආකාරයකින් ප්‍රකාශ කරන්නාහු ද ඒ ආකාරයෙන්ම කටයුතු කරන්නාහුය තථාගතයන් වහන්සේ යම් ආකාරයකින් කටයුතු කරන්නාහු ද ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරන්නාහුය යමක් පවසන්නා හු ද එයම කරන්නාහුය යමක් කරන්නාහු ද එයම පවසන්නා හුය එමනිසා තථාගත යැ යි කියනු ලබන්නේය.

පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සහිත වූ ලෝකයෙහි දෙව් මිනිස් ප්‍රජාව තුළ තථාගතයන් වහන්සේ හැමදේම වැඩ පවත්නා හුය අනභිභවනීය වන්නාහුය. ඒකාන්තයෙන්ම සියලු දේ අවබෝධ කළාහුය. සියලු දේ තම වසඟයට පමුණුවා ගත්තාහුය. එමනිසා තථාගත යැ යි කියනු ලබන්නේ ය…

කරන දේ කියන, කියන දේ කරන ,සෘජු චරිත ඇති තතාගතයන් වහන්සේගේ අභ්‍යන්තර බාහිර ලෝකයේ සියලු සංස්කාරයෝ තථාගතයන් වහන්සේගේ වසඟයට යටත්. මෙසේ අසිරිමත් ශාස්තෘන් වහන්සේගේ උපත සම්බුද්ධත්වය මහා පරිනිර්වාණය යන සම්බුදු ගුණ සිහි කරන්නට, මේ තථාගත විවරණය ඒකාන්තයෙන්ම උපකාරක ධර්මයක් ම වේවා!!!

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X