Temples of Sri Lanka

වර්ෂ 1948 ක් වූ පෙබරවාරි 04 වන දින ලංකාවට නිදහස

වර්ෂ 1948 ක් වූ පෙබරවාරි 04 වන දින ලංකාවට නිදහස ලැබුනේ 133 වසරක් (1815-1948) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් විජිතයක්ව පැවතීමෙන් පසුවයි.

1815 වසරේදී ලංකාවේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සැඟව සිටියදී බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අත්අඩංගුවට පත් වීමෙන් පසුව එම වසරේදීම මාර්තු 02 වැනි දින කන්ද උඩරටදී අත්සන් තබන ලද උඩරට ගිවිසුම මඟින් මෙරට පාලනය බ්‍රිතාන්‍යයට හිමි විය.

එහෙත් ටික කලෙකින් එම ගිවිසුම මඟින් තමන් බලාපොරොත්තු වන ආකාරයේ පාලනයක් බ්‍රිතාන්‍යයන් සිදු නොකරන බවත්, ඔවුන් තමන්ව රවටන බවත් වටහා ගත් දේශීය ජනයා ඔවුන්ට විරුද්ධව කෝපයක් සහ විරෝධයක් නැගීමට ඒකරාශී වූහ.

ඒ අනුව විවිධ දේශප්‍රේමීන් ඒකරාශීව බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව කැරැලි දියත් කළ අතර 1818 ඌව වෙල්ලස්සෙන් ඇරඹි කැරැල්ල, 1848 සටන් ව්‍යාපාරය ආදී කැරැලි ඊට නිදසුන් ය.

මෙම කැරැලි සඳහා ඉහළ දොලොස්පත්තුවේ මොහොට්ටාල, වැල්ලව නිලමේ, බොරලුවැවේ කෝරාල, හුනුපොළ නිලමේ, බූටාවේ රටේ රාල, කිවිලේගෙදර මොහොට්ටාල, කැප්පෙටිපොල දිසාව, වීර පුරන් අප්පු, රන්කිරි වීර මාතාව ආදී ජාතික වීරයන් නායකත්වය දුන් අතර ඉන් බොහොමයක් එහිදී දිවි පිදූහ.

අනතුරුව මෙම සටන් ව්‍යාපාරය 1915 පමණ සිට දේශපාලන සටන් ව්‍යාපාරයක් බවට පත් විය.

සර් පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නම්බලම් අරණාචලම්, ඊ
ඩබ්.පෙරේරා, එෆ්.ආර්.සේනානායක, සර් ඩී.බී.ජයතිලක, ඩී.එස්.සේනානායක ආදීන් එම දේශපාලන සටනට නායකත්වය දුන් අතර පියදාස සිරිසේන, කුමාරතුංග මුනිදාස, එස්. මහින්ද හිමියන් ආදී කතුවරුන් ලේඛන කලාවෙන් මෙම සටනට සිය දායකත්වය ලබා දුන්හ.

මෙවැනි දීර්ඝ අරගලවලින් ජාතික නිදහස පිළිබඳ පුළුල් සංකල්පයක් රට පුරා ව්‍යාප්තව ගිය අතර ඒ අනුව තවදුරටත් ලාංකිකයන්ගේ ඉල්ලීම් ඉවත දැමීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුවට නොහැකි විය.

ඒ අනුව ලංකාවට පූර්ණ නිදහස ලබා දීමට බ්‍රිතාන්‍යයන් තීරණය කරන ලදී.

ඒ අනුව 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07:30 ට එළැඹෙන සුබ මොහොතින් නිදහස් ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මන්ක් මේසන් මුවර්, සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ දිවුරුම් දීම සිදු වූනේ කොළඹ රජ වාසලේදී වන අතර එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුරුම් දී සැම පන්සලකම ඝන්ටා නාද විය.

මෙලෙස නිදහස් භූමියක් වූ ලංකා මාතාව අද සමරන්නේ සිය 77 වැනි නිදහස් දිනයයි.

එදා ජාති, ආගම්, කුලමල නොසලකා සිය භූමිය ආරක්ෂා කරගන්නට ලාංකිකයන් එකාවන් කටයුතු කළහ. අද සමාජයටත් අවශ්‍ය වන්නේ එය ම ය.

අද වන විට ආගම්වාදය, ජාති වාදය නානාප්‍රකාර වේශයකින් සමාජයට තුළට ඇතුළු වෙමින් පවතින්නේ ගසක වැඩෙන පිළිලයක් මෙනි. එම පිළිලය මුළු සමාජයම වසා ගැනීමට පෙර අප සියල්ලෝ ජාති, ආගම්, කුලමල පසෙක ලා සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගත යුතු ය.

එක මවකගේ දරු කැලක් මෙන් අප ලංකා මාතාව වෙනුවෙන් ඇප කැප විය යුතු ය. එදා ඒ අභීත විරුවන් සිය ලෙයින්, දහදියෙන් මෙම ලක් පොළොව පෙඟුවේ අප සියල්ලන් වෙනුවෙනි.

ඔවුන් බලාපොරොත්තු වූයේ අපගේ එකමුතුබවි න් ලංකා මාතාව ලොවෙහි දිදුලවන්නට ය. සාමය, සතුට, සහජීවනය මෙම පින් බිමෙහි රජ කරවන්නට ය.

එහෙයින් අදම සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු. නිදහස් සටන සාමකාමී මාවතක අඛණ්ඩව ගෙනයමු. ලංකා මාතාව ලෝ ධරණී තලයේ දිදුලවමු….

අභිමානවත් නිදහස් දිනයක් වේවා!

-බෞද්ධ සහෝදරත්ව පදනම…

You might also like
en English
X
X