Temples of Sri Lanka

ප්‍රතිපත්ති පූජාව ඉතා වැදගත්…

නයිදං හාසිතමත්තේන ඒකන්ත සවණේන වා,

අනුක්කමිතවෙ සක්කා යායං පටිපදා දළ්හා,
යාය ධීරා පමුච්චන්ති කද්ධායිනෝ මාරබන්ධනා”

‘‘යම් ප‍්‍රතිපදාවකින් ප‍්‍රඥාවන්ත උදවිය ධ්‍යාන වඩමින්, මාර බන්ධනයෙන් නිදහස් වෙනවා ද ක‍්‍රමානුකූලව දැඩි වූ ප‍්‍රතිපදාවකිනුයි එය කළ යුත්තේ. එහෙම නැතුව මේ ප‍්‍රතිපදාව හුදෙක් කථා බස් කළ පමණින් හෝ ශ‍්‍රවණය කළ පමණින් හෝ පිළිපදින්න බෑ.”

බුද්ධ ශාසනයක් තුළ අපට පූජා දෙකක් මුණගැහෙනවා. එ් ආමිස පූජාවත්, ප‍්‍රතිපත්ති පූජාවත්. මේ දෙක ම වටිනවා. හැබැයි, මේ දෙක සන්සන්දනය කර බැලීමේ දී වඩා අග‍්‍ර වන්නේ ප‍්‍රතිපත්ති පූජාවයි. මොකද, යම් අර්ථයක් පිණිස තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වුණා ද, යම් අර්ථයක් පිණිස තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරනවා ද, එ් අර්ථය සුළු වශයෙන් හෝ ශ‍්‍රාවකයෙකුට අත්දකින්න පුළුවන් වෙන්නේ ප‍්‍රතිපත්තිය තුළිනුයි.

ඉහත ගාථා රත්නය ගැන සලකා බැලූවොත්, ධර්ම කථාවට හා ධර්ම ශ‍්‍රවණයට වඩා ප‍්‍රතිපත්තියට මුල් තැනක් දීලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ නෑ ධර්ම කථාව හා ධර්ම ශ‍්‍රවණය එපා කියලා. බුදුරජාණන් වහන්සේ ධර්ම-විනය මුල්කරගෙනයි ප‍්‍රතිපත්තියෙහි යෙදෙන්න කියන්නේ. ඒ සඳහා ගාම්භීර වූ, ගැඹුරු අර්ථ ඇති, ලෝකයෙන් එතෙර කරවන, අනාත්මය හා බැඳුනු, නිවන මුල්කර ගත් එ් ශාස්තෘ ශාසනය මතුවිය යුතු ම යි. නැත්නම් ප‍්‍රතිපත්ති පූජාව පමණක් නො වේ, ආමිස පූජාවත් අවුල් ජාලාවක් බවට පත්වෙනවා. ඉතින් ධර්ම කථාවෙන්, ධර්ම ශ‍්‍රවණයෙන් පමණක් සෑහීමකට පත් නො වී, සසර සැඩ පහරින් එතෙර වෙන්න කැමති කෙනෙක් ඒ ධර්මය ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නගන්න කියලයි භාග්‍යවතුන් වහන්සේ ඉහත ගාථාවෙන් මතු කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රතිපත්තියෙහි තියෙන වටිනාකම තවදුරටත් පෙන්වා දෙනවා.

‘‘පින්වත් මහණෙනි, භික්ෂුව නවාංග ශාස්තෘ ශාසනය ඉගෙන ගනියි. ඔහු හුදකලාව විවේකය අත් නො හරියි. අධ්‍යාත්මයෙහි සිත සන්සිඳවීමෙහි යෙදෙයි. මෙසේ භික්ෂුව, ධර්මය තුළ වාසය කරන්නේ වෙයි. (අනුයුඤජති අජඣතං චේතොසමථං).

‘‘පින්වත් මහණෙනි, භික්ෂුව නවාංග ශාස්තෘ ශාසනය ඉගෙන ගනියි. ධර්මයේ ශ්‍රේෂ්ඨ වූ අර්ථය ප‍්‍රඥාවෙන් දනියි. (උත්තරිඤචස්ස පඤ්ඤාය අත්ථං පජානාති*. මෙසේ භික්ෂුව, ධර්මය තුළ වාසය කරන්නේ වෙයි.”
(දුතිය ධම්ම විහාරි සූත‍්‍රය – අං. නි. 03)

‘‘පින්වත් මහණෙනි, මා විසින් නවාංග ශාස්තෘ ශාසනය වශයෙන් බොහෝ ධර්ම කොටස් දේශනා කරන ලද්දේ වෙයි. එයින් සතර පද ගාථාවක හෝ අර්ථය දැනගෙන, ධර්මය දැනගෙන, ධර්මයට අනුකූලව පිළිපන්නේ වෙයි ද (අත්ථමක්ඤාය ධම්මමක්ඤාය ධම්මානුධම්මපටිපන්නෝ හෝති*, ඔහුට ‘බහුශ‍්‍රැත ය, ධර්මධර ය’ කියන්නට සුදුසු වෙයි.”

කෙනෙකුට සිතෙන්න පුළුවන් පැවිදි ශ‍්‍රාවකයන්ට පමණයි මේ ප‍්‍රතිපත්තිය අදාළ වෙන්නේ කියලා. නෑ. මේ ශාසනයේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියලා පිරිස් හතරක් ඉන්නවා. සංසාරය පැනවෙන්නේ පැවිදි ශ‍්‍රාවකයන්ට පමණක් නො වේ. ගිහි ශ‍්‍රාවකයන්ටත් හටගන්නවා.

‘‘පින්වත් ආනන්ද, අකාලයේ මේ ගස්වල මල් පිපිලා ඒවා තථාගතයන් වහන්සේට පූජා පිණිස, තථාගතයන් වහන්සේගේ ශරීරයට වැටෙනවා, විසිරෙනවා, දිව්‍ය මදාරා මල් ද දිව්‍ය සඳුන් කුඩු ද තථාගතයන් වහන්සේට පූජා පිණිස අහසෙන් වැටෙනවා, විසිරෙනවා, දිව්‍ය වූ තූර්යවාදනයන් ද වැයෙනවා, දිව්‍ය වූ ගායනයන් ද ගැයෙනවා. ආනන්ද මෙපමණකින් තථාගතයන් වහන්සේට සත්කාර කළා වෙන්නේ නෑ. ගරු කළා, බුහුමන් කළා, පූජා පැවැත්වූවා වෙන්නේ නෑ. ආනන්ද, යම් භික්ෂුවක් භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ ධර්මයට අනුකූලව පිළිපන්නේ වෙයි ද මනාව පිළිපන්නේ වෙයි ද ධර්මයට අනුකූලව හැසිරෙන්නේ වෙයි ද (ධම්මානුධම්මපටිපන්නෝ සාමීචිපටිපන්නෝ අනුධම්මචාරී* ඔහු උතුම් පූජාවෙන් තථාගතයන් වහන්සේට සත්කාර කළා වෙනවා. ගරු කළා, බුහුමන් කළා, පූජා පැවැත්වූවා වෙනවා.”

ඒ වගේ ම, එක්තරා අවස්ථාවක දී අනාථ පිණ්ඩික සිටුතුමා ඇතුළු 500ක් පමණ උපාසක පිරිසට තථාගතයන් වහන්සේ මෙන්න මේ විදියේ අවවාදයක් කරනවා.

‘‘ගෘහපතිය, ඔබ මෙපමණකින් සෑහීමකට පත් නොවිය යුතුයි. ‘අපි භික්ෂු සංඝයාට සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ආදියෙන් උපකාර කරනවා’ කියලා. ‘කෙසේ නම් අපි කාලයෙන් කාලයට හුදෙකලා විවේකයෙන් යුතු ප‍්‍රීතියක් (පවිවේකං පීතිං* උපදවාගෙන වාසය කරන්නෙමු ද’ කියා. මෙසේ ඔබ හික්මිය යුතුයි. යම් කලෙක ආර්ය ශ‍්‍රාවකයා හුදෙකලා විවේකයෙන් යුතු ප‍්‍රීතියක් (සමාධියක්* උපදවාගෙන වාසය කරනවා ද, එකල, කාමයෙන් හටගත් කායික-මානසික දුකක් ඇද්ද, කාමයෙන් හටගත් කායික-මානසික සැපක් ඇද්ද, අකුසල් සහගත කායික-මානසික දුකක් ඇද්ද, අකුසල් සහගත කායික-මානසික සැපක් ඇද්ද, කුසල සහගත කායික-මානසික දුකක් ඇද්ද, යන මේ කරුණු පහ නො වෙයි.”
යම් කෙනෙක් ධර්මය අවබෝධ කිරීමට අවංක මහන්සියක් ගන්නවා ද එය කවදාවත් අපතේ යන්නේ නෑ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහී යන අවසාන කාලයේ භික්ෂූන් වහන්සේලා හත්නමක් පර්වතයක් මුදුනට නැගලා ආහාර-පාන පවා ප‍්‍රතික්ෂේප කරලා භාවනාවෙහි යෙදුණා. එයින් එක්නමක් අරහත්වයට පත් වුණා. එක්නමක් අනාගාමී වුණා. ඉතිරි පස්නම කිසිම අවබෝධයක් නො ලබා එ් එ් තැන්වල ම අපවත් වුණා පෘථග්ජනයන් ලෙසට ම. හැබැයි අර භාවනාවේ යෙදීමෙන්, වීර්යය කිරීමෙන්, සිල් රැකීමෙන් රැස් වුණු සංස්කාර අළු යට ගිනි පුපුරු සේ සිත් තුළ තැන්පත් වුණා. එ් ගිනි පුපුරු දැල්වුණේ බොහෝ කාලයකට පසුව ගෞතම බුදු සසුනේදීයි. එයින් එක්නමක් තමයි ගෞතම බුදු සසුනේ වහා ධර්මය අවබෝධ කළ භික්ෂූන් අතරින් අග‍්‍ර වූ බාහිය දාරුචීරිය රහතන් වහන්සේ. එක්නමක් සේනාසන පනවන භික්ෂූන් අතරින් අග‍්‍ර වූ දබ්බ මල්ලපුත්ත රහතන් වහන්සේ. එක්නමක් විචිත‍්‍ර ධර්ම කථික භික්ෂූන් අතරින් අග‍්‍ර වූ කුමාර කස්සප රහතන් වහන්සේ. එක්නමක් සභිය රහතන් වහන්සේ. අනෙක් පුද්ගලයා වූ පුක්කුසාති රජතුමා අනාගාමී වෙලා බඹලොව උපන්නා.

ඇත්තෙන්ම මේ ප‍්‍රතිපත්ති පූජාව කරන්න නම් ජීවිත පූජාවත් කරන්න වෙනවා. අසංබෙය්‍ය කල්ප ලක්ෂ හතරක් පාරමී ධර්ම පුරන ලද අපගේ බෝසතාණන් වහන්සේ පවා, පාරමී ධර්ම සම්පූර්ණව තිබියදීත්, ඒගුණ මහිමය මතු කර ගැනීම පිණිස ජීවිතය පැත්තකින් තිබ්බා. ඒ වගේ ම, බෝසත් අවධියේ දී ගත්ත එ් වීර්යය ම ශ‍්‍රාවකයන්ටත් අනු දැන වදාළා.ඔබ ද ඒ විදියට ම නොපසුබස්නා උත්සාහයෙන් යුතුව වීර්යය කරන්න. ‘එ්කාන්තයෙන් ම මේ ශරීරයේ තියෙන හම, නහර, ඇට ඉතිරි වේවා! මස්, ලේ, වියළේවා! යම් පුරුෂ ශක්තියකින්, පුරුෂ වීර්යයකින්, පුරුෂ පරාක‍්‍රමයකින් යමක් සාක්ෂාත් කළ යුතු ද, එතනට නො පැමිණ මේ වීර්යය නම් අත්හරින්නේ නෑ’ කියලා. පින්වත් මහණෙනි, යම් අර්ථයක් පිණිස කුල පුත‍්‍රයෙක් ගිහි ගෙයින් නික්මිලා මනාකොට පැවිදි වෙයි ද ඔබ ද නොබෝ කලකින් ම ඒ අනුත්තර වූ බ‍්‍රහ්මචාරී ජීවිතයේ කෙළවර වන අමා මහ නිවන මේ ජීවිතයේ දී ම තමන්ගේ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කර, උපදවාගෙන වාසය කරන්න.

ඒවිදියට වීර්යය කරලා, තණ්හා සැඩ පහර කපාගෙන ඉහළට පීනලා, ඒ නෙක්ඛම්ම අදහස් මුදුන් පමුණුවා ගත් රහත් භික්ෂූන් වහන්සේලා, වගේ ම රහත් භික්ෂුණීන් වහන්සේලාත් මේ ගෞතම බුදු සසුන ආලෝකවත් කළා.

‘‘මං හිටියේ හරිම නිදිමතෙන්. කුටියෙන් එළියට ආවෙත් නිදිමතේ ම යි. සක්මන් කරන්න හිතාගෙන සක්මනට ගොඩවෙද්දී, එතැන ම ඇද වැටුනා. මං ආයෙමත් නැගිට්ටා. අත්-පාවල වැලි පිස දැම්මා. සක්මනට ගොඩ වුණා. හිත හදාගෙන සක්මන් කළා. මනාකොට සිත එකඟ කර ගත්තා. ඒ තුළින් ම යෝනිසෝ මනසිකාරය ඇති වුණා. ප‍්‍රකට වුණේ සංස්කාරයන්ගේ ආදීනව ම යි. අවබෝධයෙන් යුතුව ම කලකිරීමෙහි සිත පිහිටියා. මගේ සිත ඒ නිසා ම කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගත්තා.”
‘ඒකාන්තයෙන් ම මේ ශරීරය බිඳී යේවා! මේ මස් ගොබ විසිරේවා! මගේ දණ හිස් දෙකෙන් මේ කෙණ්ඩා දෙක ගිලිහී යේවා! මේ හිතේ තියෙන තණ්හාව නැමති හුල උදුරා දමනතාක් මම කිසි දෙයක් වළඳන්නේ නෑ. කිසි දෙයක් පානය කරන්නේ නෑ. මේ කුටියෙන් එළියට යන්නෙත් නෑ. මා වාසය කළේ ඒ විදියට. මගේ වීර්යය – පරාක‍්‍රමය දෙස බලන්න. මා ත‍්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා.

‘‘මා ගොඩක් දුකට පත්වෙලා, දුර්වල වෙලා හිටියේ. තරුණ කාලේ ගෙවිල ගිහින් හිටියේ. ඒ වුණත් මා හැරමිටියෙ එල්ලීගෙන ගිජුකුළු පර්වතයට නැග ගත්තා. පාත්තරේ මුනින් නවලා පැත්තකින් තිබ්බා. ගල් පර්වතේ මත වාඩි වුණා. එතන දී තමයි මගේ සිත කෙලෙස්වලින් නිදහස් වුණේ. මාත් ත‍්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා.”

‘‘ධර්මානුශාසනාව අහගෙන ඉන්න කොට මගේ හිතට සැපයක් ඇති වුණා. මං එක පළඟින් දවස් හතක් ම හිටියා. මේ අවිද්‍යා අන්ධකාර කෙලෙස් කඳ පළලා දාල, අටවෙනි දවසේ තමයි කකුල් දිග හැරියේ.”

භාග්‍යවතුන් වහන්සේ කථා කරන වීර්යය කායික වීර්යයක් නො වේ. ඒක මානසික වීර්යයක්. ඒක හරි ම සියුම්. මේ මානසික වීර්යය කියන දේ හඳුනාගන්න බොහෝ ම ඉවසීමක් තියෙන්න ඕන. මෙහි දී ඉවසීම කියන්නෙ හීන වීර්යය කියලා වරදවා වටහා ගන්න හොඳ නෑ. ඇත්තෙන්ම මේ කියන ඉවසීම මතු කර ගන්නත්, හඳුනාගන්නත්, පවත්වන්නත්, දියුණු කර ගන්නත් වීර්යය කරන්න ඕනෙ. වීර්යය මතු කර ගන්නත්, හඳුනාගන්නත්, පවත්වන්නත්, දියුණු කරන්නත් ඉවසීම තියෙන්න ඕන. එ් කියන්නේ, මේ ධර්ම මාර්ගය – ආර්ය අෂ්ටාංගික මාර්ගය – සංඛත ධර්මයක් ලෙසයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ. හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගෙන හේතු නිරුද්ධ වීමෙන්, නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි. අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. තමාගේ වසඟයේ පවත්වන්න බෑ. එ් නිසා තම – තමාට අවශ්‍ය විදියට මාර්ගය වඩන්න බෑ. මෙතන දී ඉවසීම අවශ්‍ය වෙනවා. තම – තමාට අවශ්‍ය විදියට මාර්ගය වඩන්න බැරි නිසා ම තම – තමාට අවශ්‍ය විදියට ප‍්‍රතිඵල ලැබෙන්නෙත් නෑ. මෙතන දී ඉවසීම අවශ්‍ය වෙනවා. ඇත්තෙන්ම මාර්ගය වඩනවා කියලා කියන්නේ, මාර්ගය වැඩෙන විදියට හේතු සකස් කිරීමයි. අදාළ හේතු සම්පූර්ණ වුණා ම, අදාළ ප‍්‍රතිඵල ලැබෙනවා. ඉතින් ප‍්‍රතිඵල ලැබෙන තෙක් ඉවසීමෙන් ඉන්න වෙනවා, පටන් ගත් වීර්යය අත්හරින්නේ නැතුව. ඇත්තෙන්ම මේ ඉවසීම කියන්නේ සැබෑම වීර්යය පෝෂණය කරන එක්තරා ගුණයක්. ඒකයි ඉවසීම උතුම් ම තපස කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ (ඛන්තී පරමං තපෝ තිතික්ඛා)ඒ ඉවසීම පිළිබඳ ව මෙන්න මේ විදියට පෙන්වා වදාළා.

‘‘පින්වත් මහණෙනි, වඩුවෙක් හෝ වඩුවකුගේ ගෝලයෙක් ඉන්නවා. ඔහුට වෑ මිටෙහි ඇඟිලි සලකුණු හෝ මහපට ඇඟිලි සලකුණු දකින්න ලැබෙනවා. ඔහුට අද මගේ වෑ මිට මෙච්චර ගෙවිලා ගියා. ඊයේ මෙච්චරක් ගෙවිලා ගියා. කලින් දවසේ මෙච්චරක් ගෙවිලා ගියා කියලා අවබෝධයක් ඇතිවන්නේ නෑ. නමුත් ගෙවී ගිය ගමන් ගෙවුනා කියා අවබෝධය ඇති වෙනවා.

ඒවගේ ම යි, සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් භාවනා වශයෙන් වඩන භික්ෂුවට අද මගේ ආශ‍්‍රව මෙච්චර ගෙවුනා. ඊයේ මෙච්චරක් ගෙවිලා ගියා. කලින් දවසේ මෙච්චරක් ගෙවිලා ගියා කියලා කිසිසේත් ම අවබෝධයක් ඇතිවෙන්නේ නෑ. නමුත් ගෙවී ගිය ගමන් ගෙවුනා කියා අවබෝධය ඇති වෙනවා.”

තෙරුවන් සරණයි🙏
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X