Temples of Sri Lanka

විඳීමට මුල ස්පර්ශයයි…

ස්පර්ශය වෙනස් වීමෙන් විඳීම වෙනස් වෙනවා. ස්පර්ශය කියන්නේ කරුණු තුනක එකතු වීම යි (තිණ්ණං සංගති ඵස්සෝ). ඇසයි, රූපය යි, විඤ්ඤාණය යි එකතු වීම තමයි ඇසේ ස්පර්ශය. කනයි, ශබ්දය යි, විඤ්ඤාණය යි එකතු වීම කනේ ස්පර්ශය යි. නාසය යි, ගඳ සුවඳ යි, විඤ්ඤාණය යි එකතු වීම නාසයේ ස්පර්ශය යි. දිව යි, රසය යි, විඤ්ඤාණය යි එකතුවීම දිවේ ස්පර්ශය යි. කය යි, පහස යි, විඤ්ඤාණය යි එකතු වීම කයේ ස්පර්ශය යි. මනස යි, අරමුණු යි, විඤ්ඤාණය යි එකතු වීම මනසේ ස්පර්ශය යි.

මනස – අරමුණු – විඤ්ඤාණය

ඔබ හොඳින් තේරුම් ගන්න මනස කියන්නේ එකක්. අරමුණ කියන්නේ තවත් එකක්. විඤ්ඤාණය කියන්නේ තව එකක්. මනස යි, අරමුණු යි, විඤ්ඤාණය යි (තිණ්ණං) තුන (සංගති) එකතු වීම (ඵස්සෝ) ස්පර්ශය යි. එ්ක තේරුම් ගන්නේ මෙහෙමයි. දැන් මනසට අරමුණක් ආවා ම එක මනසින් ම දැන ගන්නවා. මේ දැනීම තමයි මෙතන තියෙන විඤ්ඤාණය. මේ මනස යි, අරමුණ යි එකක් නෙවෙයි; දෙකක්. දැන් අපි හිතමු මනසට අරමුණක් මතක් වෙනවා කියා. මතක් වුණා ම අපට පුළුවන් මේක හොඳ අරමුණක් නෙවෙයි කියලා තේරුම්ගෙන එක බැහැර කරලා හොඳ අරමුණක් සිතේ පිහිටුවා ගන්න. එක කරන්න පුළුවන් වෙන්නේ මනස යි, අරමුණ යි දෙකක් නිසා. එක එකක් වුණා නම් අපට එහෙම කරන්න පුළුවන්කමක් නෑ. මනස වෙන එකක්, අරමුණ වෙන එකක් නිසා මනසට අරමුණක් ආවාට පස්සේ එක වෙනස් කරන්න පුළුවන්. එතකොට මේකෙන් තේරුම් ගන්න මනස යි, අරමුණ යි, විඤ්ඤාණය යි කියන එකේ වෙනස්කම. එතකොට මනස යි, අරමුණ යි, විඤ්ඤාණය යි එකතු වීම මනසේ ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශයෙන් තමයි විඳීම හටගන්නේ.

වේදනාවේ හටගැනීම හා නැති වීම…

දැන් හොඳට වේදනානුපස්සනා සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගත්තු ශ‍්‍රාවකයා ස්පර්ශය වෙනස් වීමෙන් විඳීම වෙනස් වන බවත්, ස්පර්ශය නැති වීමෙන් විඳීම නැති වන බවත් දකිනවා. එකට කියනවා විඳීම් ගැන හටගන්නා ආකාරයත් දකිමින් වාසය කරනවා, නැසී යන ආකාරයත් දකිමින් වාසය කරනවා (සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහරති. වයධම්මානුපස්සීවා වේදනාසු විහරති)

විඳීම ගැන යථාර්ථය අවබෝධ වෙනවා…

මෙහෙම වේදනානුපස්සනා සතිපට්ඨානයෙන් වාසය කරන කොට ශ‍්‍රාවකයාට තේරුම් යන්න පටන් ගන්නවා මේකේ අයිතිකාරයෙක් හෙවත් ආත්මයක් නෑ. හේතු නිසා හටගන්නා ඵලයක් තියෙනවා, හේතු නැතිවීමෙන් ඵලය නැති වී යන ස්වභාවයෙන් යුක්තයි කියා. ස්වභාවික නියාම ධර්මයක් මෙතන පවතින බව මේ කෙනා අවබෝධ කර ගන්නවා. මම කියා හිතපු එක, මම විඳිනවා කියා හිතපු එක කොයිතරම් වැරදි අදහසක් ද? අනවබෝධයෙන් ආත්මයක් තියෙනවා කියා හිතපු එක මොනතරම් වැරදි වැටහීමක් ද කියා අවබෝධ කර ගන්නවා. එහෙම නිවැරදි ව වටහාගෙන, විඳීමට මම, මගේ, මගේ ආත්මය කියා බැඳෙන්නේ නැතිව යනවා. අන්න එ ශ‍්‍රාවකයාට තවදුරටත් සිහිය දියුණු වීම පිණිස, තවදුරටත් නුවණ දියුණු වීම පිණිස, තවදුරටත් ජීවිතාවබෝධය දියුණු වීම පිණිස මේ වේදනානුපස්සනාව උපකාරී වෙනවා (අත්ථි වේදනා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඤාණමත්තාය, පතිස්සතිමත්තාය. අනිස්සිතෝච විහරති. නච කිඤ්චි ලෝකේ උපාදියති. එවංපි ඛෝ භික්ඛවේ, භික්ඛූ වේදනාසු වේදනානුපස්සී විහරති)

අතීතයේ නිරුද්ධ වී ගිය, කෙලෙස් සහිත (සාමිස) සැප වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

අතීතයේ නිරුද්ධ වී ගිය, කෙලෙස් සහිත (සාමිස) සැප වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…

වර්තමානයේ පවතින්නා වූ, කෙලෙස් සහිත (සාමිස) සැප වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

වර්තමානයේ පවතින්නා වූ, කෙලෙස් සහිත (සාමිස) සැප වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…
අනාගතයේ හටගන්නා වූ, කෙලෙස් සහිත (සාමිස) සැප වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

අනාගතයේ හටගන්නා වූ, කෙලෙස් සහිත (සාමිස) සැප වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…
අතීතයේ නිරුද්ධ වී ගිය, කෙලෙස් සහිත (සාමිස) දුක් වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

අතීතයේ නිරුද්ධ වී ගිය, කෙලෙස් සහිත (සාමිස) දුක් වේදනාව, මම නො වේ… මගේ නො වේ… මගේ ආත්මය නො වේ…
වර්තමානයේ පවතින්නා වූ, කෙලෙස් සහිත (සාමිස) දුක් වේදනාව, ස්පර්ශය නිසා හටගත් හෙයින් ද ස්පර්ශය නැති වීමෙන් නැති වී යන හෙයින් ද අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි…

තෙරුවන් සරණයි🙏

.සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X