Temples of Sri Lanka

ඔබේ වටිනා අසිපත මෙහෙයවා සිත සමාධිය වඩන්න…

ලෝකේ වටේම දුවවමින්, කුණු ගා ගෙන ගෙට ඇතුල් වන ඔබේ දඟකාර දරුවා පිරිසිදු කරගන්න.

ඔහුට නුසුදුසු අය හා ඇසුරට ගොස් ඔහු නාස්ති වේ යැයි බියෙන් ඔහුට හොඳ මිතුරන්, හොඳ ආශ්‍රයන් ලබාදීමට ඔබ වෙහෙස වන්න.

ඔහු සෙල්ලම් කිරීමට ආස , යහපත් කෙනෙක් ඔහුට හඳුන්වා දෙන්න. සිත ලෝකේම ඇති අරමුණු හා ඇලෙමින් ගැටෙමින් කිළිටි කර ගැනීමට ඉඩ නොදී, සිතට යහපත් අරමුණක් ලබාදෙන්න.

බුදුරජාණන් වහන්සේට ඔබ හදවතින්ම ප්‍රිය වන්න. විශ්වාස කරන්න. ගෞරව කරන්න. පැහැදෙන්න. ශ්‍රද්ධාවන්ත වන්න. බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරන්න නිරතුරුව. ඔබේ සිත පිරිසිදු වී , ප්‍රීතිය ගලා එන අයුරු අත්දකින්න. ඔබ ධර්මය දන්නේ යම්තාක්ද ඒ අමාදම් බිඳක් හෝ මෙනෙහි කරන්න. සිත සුවදායි වන අයුරු දකින්න. ඔබ ගරු කරන, ප්‍රිය, භාවනා වඩමින්, සසරින් එතෙර වන්නට හෝ වීර්යය කරන හෝ, සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේ නමක්, මෙහෙණින් වහන්සේ නමක් ගැන මෙනෙහි කරන්න.

ඔවුන්ගේ ගුණ හදවතින් දකිමින් ජීවත් වන්න. නිතර දෙවේලේ ඔවුන් හා සිතින් ජීවත් වන්න.
දැන් ඔබේ සිතට සැනසෙන්නට ඔබ යහපත් මිතුරන් හඳුන්වා දී ඇත. ඔබ කළ යුතු කාරයය් එයයි. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය සිත පිරිසිදු කරවන, සතිය වඩවන, පින් වඩවාලන යහපත් මනසිකාරයන්ය.

ඔබේ සිත දැන් කෙලෙස් මඬ ගොහොරේ වේදනාවට පත් වන්නේ නැත. එය පිට දුවන්නේ නැත. හිස්, කේළාම්,බොරු, පරුෂ වචන වලට පසුබසින්නටම සිදුවේ. මන්ද ඔබ ඒවාට රැඳෙන්නට තිබූ ඉඩකඩ නැති කරන්නේය.

ඔබේ සිතේ දැන් සිටින්නේ බුදු රජාණන් වහන්සේය, ධර්මයය, සංඝයාය. අතීත සංසාරයේ පටන් මේ දක්වා මේ ලෝක ධාතුවේ පහළ වූ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ අයෝමය බුද්ධ ශක්තිය, ඒ බුදුවරුන් ලොව අන්ධකාරය නසමින් දෙසූ ධර්මයේ බලය, ඒ බුදුන් වැඩි මඟ ගමන් කළ අතීතයේ සිට අද දක්වා වැඩ සිටිනා මහා සංඝ රත්නයේ බලය ඔබේ ගත සිත සුවපත් කරයි. ඔබ ඒ ශක්තියෙන් නිරතුරුව වට වී සිටින්නේය. කොහෙන්ද ඔබේ සිතට පිට යන්නට ඉඩක්.

දැන් සිත ඔබටත් හොරා යථාර්ථය දකින්නට පටන් ගනී. මේ කයේ යථා ස්වරූපය, සිතේ ස්වරූපය ඔබට අවබෝධ වන්නට පටන් ගනී. කායානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා ඔබේ මිතුරන්ය. සුඛ සංඥාවෙන් මුලාවන්නට, නිත්‍ය සංඥාවෙන් මුලා වන්නට, ආත්මීය සංඥාවෙන් මුලාවන්නට දැන් ඔබේ සිත නැවත ඒ බොරුවේ රැවටෙන්නට ඉඩක් නැත. ඔබේ සිත ප්‍රිය වන්නේම සත්‍යය දකින්නටය. අවබෝධ කරගන්නටය. අරයාගේ , මෙයාගේ, ලෝකයේ කුණු ගොඩවල් අස්සේ රිංගමින් මඬෙහිම දැවටුණු සිත නැවත ඒවා වෙත යන්නට කැමති නැත.

දැන් ඔබ භාවනාවත වාඩි වී… ඔබේ භාවනා අරමුණෙහි සිත පිහිටුවා ගන්න..
සිත යනු කෙතරම් සුවච, කීකරු මෙහෙකරුවෙක්ද යන්න ඔබම අත්දකින්න..
ඔබේ සිත මුවහත් අසිපතකි. එය නිවැරදිව හසුරවන්න.
ඔබට අවශ්‍ය නම් එය යහපත නසන්නට භාවිතා කරන්න..
ඔබට අවශ්‍ය නම් එය ගෙයි මුල්ලේ මලකඩ කන්නට තබන්න…
නමුත් මතක තබාගන්න..
ඔබ සතුව ඇත්තේ, අති දරුණු කෙලෙස් සතුරන් පවා බියට පත් කරමින්, ඒ සතුරු ගෙළ සිඳලා, මහා සංග්‍රාමය ජයගත හැකි වටිනාම අසිපත බව…

තෙරුවන් සරණයි.🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X