Temples of Sri Lanka

කෙලෙස් ප්‍රහීන කිරීමේ ප්‍රතිපත්තිමය ක්‍රමවේදය…

පෘථග්ජන බවෙන් මිදී ආර්ය ශ්‍රාවකයකු වීමට නම් අපි පළමුවෙන් ම කළ යුත්තේ මේ කෙලෙස් දහසය යටපත් කිරීමයි. ඊළඟට නැති කිරීමයි. ප්‍රහීන කිරීමයි.

අවසානයේදී නැත්තටම නැති කිරීමයි. එය මහත් අසීරු කාර්යයක් වේවි. ආරද්ධවිරිය හෙවත් පටන් ගන්නා ලද උත්සාහයෙන් යුතුව සතිසම්පජඤ්ඤය හෙවත් මනා සිහිබුද්ධියෙන් කටයුතු කරනව නම් ඒ අසීරු කාර්ය ඔබට කළ හැකියි.

අවශ්‍ය වෙන්නේ පටන් ගැන්ම හා සිහිබුද්ධියෙන් වැඩ කිරීම විතරයි. මොකද? කෙලෙස් නැති කරන, ප්‍රහීන කරන ක්‍රමය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දී තිබෙනවා. ඒ ක්‍රම අතරෙන් වඩාත් පහසුම ක්‍රමය මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රයට අනුව කෙලෙස් ප්‍රහීන කිරීම සඳහා ක්‍රම හතක් තියෙනවා. ඒ ක්‍රම හත පළමුවෙන්ම නම් වශයෙන් දක්වන්නම්.

  1. දස්සනා පහාතබ්බා – දැකීමෙන් කෙලෙස් නැති කිරීම
  2. සංවරා පහාතබ්බා – ඉන්ද්‍රිය සංවරයෙන් කෙලෙස් නැති කිරීම
  3. පටිසෙවනා පහාතබ්බා – අවශ්‍යතා ඇසුරු කරමින් කෙලෙස් නැති කිරීම
  4. අධිවාසනා පහාතබ්බා – ඉවසීමෙන් කෙලෙස් නැති කිරීම
  5. පරිවජ්ජනා පහාතබ්බා – දුරු කිරීමෙන් කෙලෙස් නැති කිරීම
  6. විනොදනා පහාතබ්බා – බැහැර කිරීමෙන් කෙලෙස් නැති කිරීම
  7. භාවනා පහාතබ්බා – සිත වැඩීමෙන් කෙලෙස් නැති කිරීම

දැන් මේ ක්‍රම හත එකින් එක විස්තර කරමු.

  1. දස්සනා පහාතබ්බා

අපගේ සිතේ පවතින සිතුවිලි එනම් අපේ චින්තන ක්‍රියාවලිය පළමුවෙන්ම හරිහැටි හඳුනා ගත යුතුයි. තේරුම් ගත යුතුයි. මෙය තවත් සරලව පැහැදිලි කරනව නම් ඒ ඒ මොහොතේ සිතේ පවතින සිතුවිලි පිළිබඳ සිහියෙන් සිටිය යුතුයි. මොකද? අපේ සිතට මෙනෙහි කළ යුතු යහපත් හොඳ සිතුවිලිත් ඇති වෙනවා. මෙනෙහි නොකළ යුතු අයහපත් නරක සිතුවිලිත් ඇතිවෙනවා. මේ සිතුවිලි යහපත් ඒවා ද, අයහපත් ඒවාදැයි හඳුනාගත හැක්කේ සිතේ ඇතිවෙන, නැතිවෙන සිතුවිලි ගැන සිහියෙන් සිටියොත් විතරයි. සිතුවිලි හඳුනා ගත්තට පස්සේ කළ යුත්තේ යහපත් සිතුවිලි මෙනෙහි කිරීමයි. අයහපත් සිතුවිලි මෙනෙහි නොකිරීමයි.

අපි සිතුවිලි හරියාකාරව හඳුනා නොගන්නා නිසා බොහෝ වෙලාවට මෙනෙහි නොකළ යුතු අයහපත් නරක සිතුවිලි නැවත නැවතත් මෙනෙහි කරනවා. මෙහිදී “දස්සනා” යනු අයහපත් නරක සිතුවිලි, අයහපත් නරක සිතුවිලි ලෙසම දැකීමයි. ඒ සිතුවිලිවල අයහපත් බව තේරුම් ගෙන වටහා ගැනීමයි. “පහාතබ්බා” යනු ඒ අයහපත් නරක සිතුවිලි මෙනෙහි නොකර සිටීමයි. අයහපත් සිතුවිලි නැවත නැවත මෙනෙහි නොකර සිටින කොට, ඒවා ඉක්මනින්ම සිතෙන් බැහැර වෙනවා. සිතේ රැඳෙන්නේ නැහැ.

දැන් ඔබට ප්‍රශ්නයක් ඇති වෙයි මොනවද අපි මෙනෙහි නොකළ යුතු සිතුවිලි කියා. එයට බුදුරජාණන් වහන්සේම ලබා දීපු උත්තරයක් තියෙනවා. “මහණෙනි, මෙනෙහි නොකළ යුතු ධර්මයෝ (සිතුවිලි) මොනවාද? මහණෙනි, යම් ධර්මයන් මෙනෙහි කරන්නා වූ යමකුට නූපන්නා වූ කාම ආශාව උපදී ද, උපන්නා වූ කාම ආශාව වැඩේ ද, නූපන්නා වූ භව ආශාව උපදී ද, උපන්නා වූ භව ආශාව වැඩේ ද, නූපන්නා වූ අවිiා ආශාව උපදී ද, උපන්නා වූ අවිiා ආශාව වැඩේ ද මේ ධර්මයෝ මෙනෙහි නොකළ යුතුයි. මෙම කාම, භව හා අවිiා ආශ්‍රවයන්ට වත්‍ථුපම සූත්‍රයේ දැක්වූ කෙලෙස් දහසයම ඇතුළත්. මෙම කෙලෙස් දහසය දැන, දැක හඳුනාගෙන නැවත නැවත මෙනෙහි නොකිරීම දස්සනා පහාතබ්බයයි.

මෙනෙහි කළ යුතු සිතුවිලි මෙනෙහි කළ යුතුයි. ඒ මොනවාද? “මහණෙනි, යම් ධර්මයන් මෙනෙහි කරන්නා වූ යමකුට නූපන්නා වූ කාම ආශාව නූපදී ද, උපන්නා වූ කාම ආශාව පහ වේ ද, නූපන්නා වූ භව ආශාව නූපදී ද, උපන්නා වූ භව ආශාව පහ වේද, නූපන්නා වූ අවිiා ආශාව නූපදී ද, උපන්නා වූ අවිiා ආශාව පහවේ ද මේ ධර්මයෝ මෙනෙහි කළ යුතුයි” තවදුරටත් දස්සනා පහාතබ්බය පුරුදු පුහුණු කරනව නම් කාමය, භවය හා අවිiාව පිළිබඳ ඇති ආශාව නැති වන සිතුවිලි විතරක් මෙනෙහි කිරීම ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා මෙනෙහි කළ යුතු තවත් විෂය ක්ෂේත්‍රයන් රාශියක් තියෙනවා. ඉන් කිහිපයක් දක්වන්නම්.

රූපය, වේදනාව, සංඥාව, පෙනීම, ඇසීම ආදියේ යථා ස්වභාවය මෙනෙහි කරන්න ඕන. උදාහරණයක් හැටියට පැහැදිලි කරනව නම්, රූපය ලෙස හඳුන්වන බාහිර ලෝකයේ තියෙන්නේ ඇත්තටම වෙනස් වන ස්වභාවයක් නේ. වෙනස්වෙනව නම් ඒවා අනිත්‍යයි නේ. අනිත්‍ය නම් දුකයි නේ. දුකයි නම් තමාගේ යැයි ගත යුත්තක් නැහැ නේ. රූපයේ ඇති මෙන්න මේ යථා ස්වභාවය මෙනෙහි කළ යුතුයි. අනෙක් ඒවා ගැනත් මේ විදියටම මෙනෙහි කළ යුතුයි.

සිත තුළ හටගන්නා සිතුවිලිත්, ඒ හා බැඳුණු සිත් ආදියත් හඳුනාගෙන මෙනෙහි කළ යුතුයි. ඒ සිත් වහ වහා වෙනස් වන හැටිත්, නැති වෙමින් නැවත නැවත ඇති වන හැටිත් මෙනෙහි කළ යුතුයි. එහෙම දීර්ඝ කාලයක් මෙනෙහි කරන කොට එය නුවණින් දකින්න පුළුවන් වෙනවා. “දස්සනා” කිව්වේ ඒ තත්වයයි.

දුක් ඇති වෙන්නේ තෘෂ්ණාව නිසයි. ඇලීම් ඇති වෙන්නේ ද තෘෂ්ණාව නිසාමයි. ඇලීමක් හෝ ගැටීමක් නැත්නම් දුකක් ද නැහැ. මේ බව අපි හොඳින් තේරුම් ගත යුතුයි. මේ බව අපි නුවණින් දැකිය යුතුයි. දුකට හේතුව බාහිර ලෝකය නොව අපේම තෘෂ්ණාසහගත සිත බව හඳුනා ගත යුතුයි. තෘෂ්ණාසහගත සිත හඳුනා ගැනීම දුක්ඛ සමුදයේ දැකීමයි. එවිට දුක ඇති වෙන්නේ තෘෂ්ණාව නිසා නම්, තෘෂ්ණාව නැති කළ විට දුක ද නැති කළ හැකි බව වැටහෙනවා. ඒ වැටහීම දුක්ඛ නිරෝධයයි. දුක නැති කරන්න තමා තුළ මනා දැක්මක් හා ක්‍රියා පිළිවෙතක් ඇති කර ගත යුතුයි. එම දැක්ම තුළින් තම දුර්වලතා වටහා ගෙන, ඒවා ක්‍රමක්‍රමයෙන් දුරු කරමින් ප්‍රබලතා ඉස්මතු කර ගත යුතුයි. ප්‍රබලතා වැඩීම තුළින් සිතේ සමාධිය ඇති කර ගන්න පුළුවන්. එයින් ඥානදර්ශනය ඇති වෙනවා. මේ මාර්ග සත්‍යයේ දැකීමයි. මේ මට්ටමට සිත සකස් වීමේදී ශරීරය ස්ථිරයි සදාකාලිකයි යන හැඟීම ඇති සක්කායදිට්ඨිය ද, බුද්ධාදී අටතැන්හි සැකය උපදවන විචිකිච්ඡාව ද, වැරදි ව්‍රත හා සීලයන්ට යොමු වන සීලබ්බතපරාමාසය ද පහව යනවා ඒකාන්තයි.

  1. සංවරා පහාතබ්බා

අපට ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස කියලා ඉන්ද්‍රියන් හයක් තියෙනවා. මේ ඉන්ද්‍රියන්වලට කැමැති හැටියට අපි හැසිරෙන්න ජීවත් වෙන්න පුරුදු වුණොත් කෙලෙස්වලට බැඳෙනවා. කෙලෙස්වලට ඇලෙනවා. ගැලෙනවා. උදාහරණයක් හැටියට පැහැදිලි කරනව නම්, ලස්සන ලස්සන රූප පස්සේ යන්න ඇස කැමතියි. ඒ කැමැත්තට ඉඩ දීල ලස්සන රූප පස්සේ ගියොත් අපි නතර වෙන්නේ බොහෝ අකුසල් රැස් කරගෙනයි, සාමාන්‍ය ජීවිතේ මහා කරදර ගොඩක පැටලිලයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඇස සංවර කර ගත යුතුයි. අනෙක් ඉන්ද්‍රියන් පහත් ඒ විදියමයි. ඒ නිසා මේ ඉන්ද්‍රියන් හය අපි සංවර කරගත යුත්තේ නැත්නම් ජීවිතය පුරාම දැඩි වෙහෙසකින් හා දැවිල්ලකින් තමයි ජීවත්වෙන්න වෙන්නේ. ඉන්ද්‍රියන් හය සංවර කර ගත්ත නම් වෙහෙසක් හා දැවිල්ලක් නැති බව බුදුරජාණන් වහන්සේම දේශනා කරල තියෙනවා.

“මහණෙනි, ඇස සංවර කර නොගෙන වාසය කරන අයට වෙහෙස හා දැවිල්ල සහිත වූ යම් යම් කෙලෙස් උපදිත් ද, ඇස සංවර කරගෙන වාසය කරන අයට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් ඇති නොවෙත්”

“මහණෙනි, කන සංවර කර නොගෙන වාසය කරන අයට වෙහෙස හා දැවිල්ල සහිත වූ යම් යම් කෙලෙස් උපදිත් ද, කණ සංවර කරගෙන වාසය කරන අයට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් ඇති නොවෙත්”

“මහණෙනි, නාසය සංවර කර නොගෙන වාසය කරන අයට වෙහෙස හා දැවිල්ල සහිත වූ යම් යම් කෙලෙස් උපදිත් ද, නාසය සංවර කරගෙන වාසය කරන අයට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් ඇති නොවෙත්”

“මහණෙනි, දිව සංවර කර නොගෙන වාසය කරන අයට වෙහෙස හා දැවිල්ල සහිත වූ යම් යම් කෙලෙස් උපදිත් ද, දිව සංවර කරගෙන වාසය කරන අයට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් ඇති නොවෙත්”

“මහණෙනි, කය සංවර කර නොගෙන වාසය කරන අයට වෙහෙස හා දැවිල්ල සහිත වූ යම් යම් කෙලෙස් උපදිත් ද, කය සංවර කරගෙන වාසය කරන අයට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් ඇති නොවෙත්”

“මහණෙනි, මනස සංවර කර නොගෙන වාසය කරන අයට වෙහෙස හා දැවිල්ල සහිත වූ යම් යම් කෙලෙස් උපදිත් ද, මනස සංවර කරගෙන වාසය කරන අයට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් ඇති නොවෙත්”

ඉන්ද්‍රිය සංවරය නොමැතිව ආර්ය ශ්‍රාවක මාර්ගයේ එකදු පියවරක්වත් ගමන් කළ නොහැකියි.

ඉදිරියට කෙසේවත් යා නොහැකියි. ඒ නිසා මෙහිදී අප කළ යුත්තේ ඇස, කන, නාසය, දිව, ශරීරය, ඇසුරෙන් මනසට කෙරෙන බලපෑම වළක්වා ගැනීමයි. “සංවරා පහාතබ්බා” යනු මෙයයි.

තෙරුවන් සරණයි.🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X