Temples of Sri Lanka

ඇවිලෙන ගින්නට සිසිල් පැන් පොද

රටක වෙළෙඳපොළ රටාවේ තීරණාත්මක ආර්ථික සාධකය ලෙස අතපොවන්නට දේශපාලනයේ තීන්දු තීරණ සඳහා ප්‍රජා බලපෑම් එල්ල කරන්නට ආගමික වශයෙන් ජනයා මෙහෙයවන්නට අද බලවත් රටවල් වලට මාහැඟි බලයක් හිමි වී තිබේ. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ එක් බලවත් රාජ්‍යයක් විසින්  භික්ෂූන් වහන්සේ යොදාගෙන ගම් මට්ටමින් සිදුකරන බඩු පෙට්ටි බෙදා දීමේ ව්‍යාපාරය යි.

එමෙන්ම ආර්ථික බලය පැතිරවීමට ජනමාධ්‍ය හරහා පාලනයෙන් තොරව කාමය පැතිරවීම සිදු කළ, පසුගිය යුගයේ විපාක දැන් දැන් මතුවෙමින් පවතී. කාම ගින්න පැතිර වීම සිදු කළ පුරෝගාමියකු වන්නේ ජනමාධ්‍යයි. ශ්‍රී ලංකාවේ ද මෑත කාලයේ ඇති වූ කාම ගින්නට ඉන්ධන දැම්මේ ජනමාධ්‍යයි. මෙනිසා  ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, විෂම ලිංගික චර්යා, මත්ද්‍රව්‍ය වෙළඳාම, පාතාල කල්ලි, සංස්කෘතිය, මත්ද්‍රව්‍ය භාවිතය, සූදුව ආදිය අප රට බෙහෙවින් පැතිරේ.

මේ ගෝලීයකරණය නම් නූතන යටත් විජිතවාදය විසින් ජාතක කළ කාම රැල්ලේ ආදීනව වෙයි. අපේ ක්‍රියාවද වචනය ද සිතුවිලි ද ඒ රැල්ලට අනුව තීරණය වී ඇත .

මේ වෙනකක් නොව සදාචාරයක් නැති අධර්ම රාගයේ හා විෂම ලෝභයේත් හිස එසවීම ය.

බලවත් රටවල ආර්ථික සමාජ දේශපාලන ආගමික ආක්‍රමණ ගුප්තයි. ඔවුන් අපට සැප සම්පත් සපයා දෙනවා යැයි හැඟෙයි. දියුණු සමාජයක් ඔවුන් සතු යැයි අපේ සිත් තුළට කාවද්දා තිබේ. අප ක්‍රියාත්මක කරන ඔවුන්ගේ දේශපාලන ව්‍යුහය ශිෂ්ට සම්පන්න යැයි වෙස් ගන්වා ඇත. ඔවුන්ගේ සංයමය ද විනය ද උසස් යයි යැයි හුවා දක්වා පාසලේ සිට රැකියා ස්ථානය තෙක් සියලු සමාජ රටාවන් ට ම එය පුරුදු කරවා ඇත. ඔවුන්ගේ අර්ථ දැක්වීම අනුව අපගේ විනය හා හික්මීම නොදියුණු එකක්.

මේ ඔස්සේ සිදුවන්නේ අපේ ජීවිත රටාවේ තීරණාත්මක සාධක ඔවුන් අතට පත් කර ගැනීම නොවේද..?

අපි කන බොන දේ අඳින පළඳින දෙයද පරිහරණය කරන උපකරණ ද තීරණය වන්නේ අපට හිමි කර ඇති ආර්ථික සමාජ රටාව මතයි. එය ඔවුන්ගේ නූතන යටත් විජිතයයි. ඒ අනුව අප ජීවත් වෙන්නේ ඊට සමගාමීව යි.

බලවත් රටවල් සිය අරමුණු කාම රැල්ල ඔස්සේ ඉටු කරගන්නට බැරි තැන ඒ ඒ රටවල් අතර යුද ගැටුම් ඇති කරගන්නවා.එසේත් නැතිනම් බලවත් සමාජ දේශපාලන ආගමික දෘෂ්ටි පතුරවනවා මේ නූතන යටත් විජිත පාලනය ගැනිමට ඔවුන් කාමයේ ඕනෑම ක්‍රියාවකට නිදහස දීමට ඕනෑම යුද්ධයක් කිරීමට සූදානම් .

ඔවුන්ගේ හැඟීම් මත වාද දෘෂ්ටි නිර්මාණය කරන්නට සමත් වෙනවා .මේ වෙන දෙයක් නොව, අපට සසරෙ හැමදා බැට කන්නට උරුමව තිබෙන රාග ද්වේශ මෝහ වල නූතන බැට
කෑ ම නොවේද..?

අද වන විට කාම රැල්ල ශ්‍රී ලංකාවට අධි වේගයෙන් ගලා එන ප්‍රමුඛ මාධ්‍යය වන්නේ විදේශ ටෙලිවිශන් සම්බන්ධතා ඉන්ටර්නෙට් හා ජංගම දුරකථන  වෙයි. …

සදාචාරයෙන් තොර සම්බන්ධතා හරහා කාම රැල්ලට සියලු දෙනාම අඩු වැඩි වශයෙන් ඇබ්බැහි වී හමාරයි .දිවේ රස නහර මැරූ කළ නීරස දෙයද රසයයි පෙන්වා අපට
කැවිය හැකියි සිතා උත්සාහ තැබූ කල ඇවිස්සුණු සිතට සරිලන භාණ්ඩ සියල්ල වෙළඳපොලේ මිලදී ගැනීමට සූදානමින් තිබේ.

 

නිදහස් ආර්ථිකය ඔස්සේ අපේ රට කාම උන්මාදයෙන් ආක්‍රමණය කරද්දී අප ගුණධර්මවලින් ආරක්ෂාවක් සලසා ගත්තේ නැත. මෑත කාලයේ ගුගුර වෙමින් ඇති කාම යුද්ධයේ ගිනිදැල් ලොව වටා පැතිර යන්නට කලින් අප ආරක්ෂාවක් සලසා ගන්නට කල්පනා කළ යුතු කාලය පැමිණ ඇත. ඒ ආරක්ෂාව අද්භූත තැනක නැත. අහසේ හෝ පොළොවේ හෝ නැත එය ඇත්තේ අපේ සිතේමයි . සිත පරිපූර්ණව අවබෝධ කළ උතුමන් වහන්සේ නමක් අපට ශාස්තෘන් වහන්සේ වීම කෙතරම් භාග්‍යයක් ද…?
ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පරිපූර්ණ ආරක්ෂාව ලබන්නට හැකි නම් ලෝකය ම ගිනි ගත්තද අප සිසිල් නිවුණු සිතකින් වාසය කරනවා ඒකාන්තයි.

ධර්මය දැන, එහි හැසිරීමෙන් ම …..අනාගත යුද අර්බුදයෙන් ඇතිවන පීඩාවෙන් පරිපූර්ණ රැකවරණයක් ලැබෙනු ඇත.

ලෝක සත්වයා අවුලා විරුද්ධකම් කිරීම, විවාද කිරීම, බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, ආදී නොයෙක් ලාමක අකුසල ධර්මයන් පහළ වෙනවා..

මේ ධර්මතාවය අපේ සිතේ තිබෙනවා… ඒ සිත නිසා නේද ලෝකයේ කල කෝලාහල ,ගැටීම්, යුද්ධ, හට ගන්නේ ..

සිතේ මේ ධර්මතාවය අදහා ගත් කෙනා හට ගැටීම් කෝලාහල මැද වුවත් සිසිල් වූ සිතක් ඇති කරගන්න පුළුවන්…

දිනක් මහානාම ශාක්‍යයා නිග්‍රෝධාරාමයට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට දහම් කතාවේ යෙදෙන්නට වුණා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා…

“පින්වත් මහානාම, කාමයන්ගේ කුඩා සැපයක් ඇත. බොහෝ දුක් ඇත. දැඩි වෙහෙසක් ඇත .බොහෝ විපාකයන් ඇත.

පින්වත් මහානාම, කාමය මුල් කොටගෙන කාමය හේතුකොටගෙන රජවරු රජවරු සමග යුද්ධ කරයි. ක්ශස්ත්‍රියයන් ක්ශස්ත්‍රියයන් සමග කෝලාහල කරයි. බමුණන් බමුණන් සමඟ කෝලාහල කරයි. ගේදොර වාසීන් අතර කෝලාහල ඇති වේ. මව ද පුතා ද අතර කෝලාහල ඇති වේ. පියා ද පුතා ද අතර කෝලාහල ඇති වේ. සහෝදර සහෝදරියන් අතර කෝලාහල ඇති වේ. යහළුවන් අතර කෝලාහල ඇති වේ මෙසේ කෝලාහල විරුද්ධකම් වාද විවාදයට පැමිණ එකිනෙකා අතින් පහර දෙයි. කැට කැබිලිති වලින් පහර දෙයි. පොලුවලින් පහර දෙයි. ආයුධවලින් පහර දෙයි. එයින් ඔවුන් මරණයට පත්වේ .මාරාන්තික වේදනා ඇතිවෙයි.

පින්වත් මහානාම…, මෙලොවදී ම විඳිය යුතු මේ සියල්ල ඇති වන්නේ කාමය හේතු කොට ගෙනයි .කාමය මුල් කොට ගෙනයි”

කාම රැල්ලට හසු වූ අප මේ ව්‍යසන නෙවෙයිද අත් විඳින්නේ………..

අන්න ඒ ආකාරයෙන් හිතේ අර්බුදයට හේතුව දන්නා කෙනා කාමයෙන් ලෝකය ගිනි ගත්තත් සිසිල් වූ සිතකින් වාසය කරනවා

බලන්න අපගේ හිතේ බොහෝ බාහිර ලෝකයේ හෝ සියලු අර්බුද හඳුනාගන්නට ශ්‍රී සද්ධර්මයේ උරුමය අපට හිමිව තියෙනවා. ඒකාන්තයෙන් අපට රැකවරණය ලබා දෙන්නා වූ ඒ උරුමය ලබා නොගන්නා තාක් ඒ ඒ කලට එන කාම රැල්ලට, මේ කාම යුද්ධයට, ඒ ඒ අන්ධ මත වාද වලට, අපට යටත් වෙන්නට සිදු වෙනවා..

භාග්‍යවතුන් වහන්සේ පංචකාමය දක්වා තිබෙනවා. පංච කාමයට හසුවන ක්‍රමය දක්වා තිබෙනවා.එහි විපාකය ද දක්වා තිබෙනවා. එයින් මිදීම ද දක්වා තිබෙනවා භාග්‍යවතුන් වහන්සේ යුද්ධයේ සුල මුල දක්වා තිබෙනවා. අර්බුධ වල ආදීනව ද දක්වා තිබෙනවා අර්බුදයෙන් මිදීම ද දක්වා තිබෙනවා.භාග්‍යවතුන් වහන්සේ සිතමුලා වන ක්‍රම කියා දෙනවා එහි විපාකද කියා දෙනවා. එයින් මිදීමේ ක්‍රමද පහදල දෙනවා.

සද්ධර්මයෙන් හෙළිවන ධර්මතාවයන් ගෙන් පිට මේ ලෝකයේ කිසිවක් සිදුවන්නේ නැහැ. මේ ධර්මයේ උරුමය ලබන්නට අනුක්‍රමයක් ද නැහැ. ඒ භාග්‍යවතුන් වහන්සේම දේශනා කළ ආකාරයට ධර්මයේ හැසිරීමයි. ධර්මයේ හැසිරීමෙන් ම ධර්මයෙන් සිසිල් වූ සිතක් ඇති කර ගැනීමට අප සියලු දෙනාම අදිටන් කර ගන්නට අවශ්‍යයි.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X