සතර අපායෙන් සදහටම මිදෙන්න…
බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන ප්‍රසාදයක් ඇතිකර ගැන්මට නම් බුදුරජාණන් වහන්සේ ව මනා කොට ගුණ වශයෙන් හඳුනාගත යුතු ම ය.
කිසිදු ගුරුවරයෙකුගේ උපදේශයකින් තොර ව ම තමන් වහන්සේගේ ස්වකීය ඤාණයෙන් සියල්ල අවබෝධ කොට වදාළ භාග්‍යවතුන් වහන්සේ අන් අයට අවබෝධ කර ගැනීම පිණිස දහම් දෙසන සේක. දමනයට පත් වූ භාග්‍යවතුන් වහන්සේ අන් අයට දමනය වීමට දහම් දෙසන සේක.
සන්සිඳීමට පත් භාග්‍යවතුන් වහන්සේ අන් අයට සන්සිඳීම පිණිස දහම් දෙසන සේක.
සසරින් එතෙර වූ භාග්‍යවතුන් වහන්සේ අන් අයට සසරින් එතෙර වීමට දහම් දෙසන සේක. පිරිනිවනට පත් වූ භාග්‍යවතුන් වහන්සේ අන් අයට පිරිනිවන් පාන්නට දහම් දෙසන සේක.
දැනගත යුතු දේ දන්නා, දැකගත යුතු දේ දක්නා දහම් ඇසින් උපන්, නැණ මඬලින් උපන්, දහම තුළින් උපන්, පරම ශ්‍රේෂ්ඨත්වයෙන් උපන් භාග්‍යවතුන් වහන්සේට සම කළ හැකි වෙනත් කිසිවෙකුත් නැත්තේ ම ය. දහම් අරුත් මතුකර දෙන ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මේ තුන් ලෝකයට ම අග්‍ර වන සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ තුළ දැකිය හැකි පමණ කළ නොහැකි වූ උතුම් සම්බුදු ගුණ කඳ බුදුරජාණන් වහන්සේ විසින් ම ගුණ නවයකට කැටිකොට අපට දේශනා කොට වදාළ සේක.
එනම් බුදුරජාණන් වහන්සේ සියලු රාග ද්වේෂ මෝහ ප්රහාණය කළ නික්ලේශී උත්තමයන් වහන්සේ නමකි (අරහං). චතුරාර්ය සත්‍ය ධර්මයන් සත්‍ය ඤාණ වශයෙන් ද කෘත්‍ය ඤාණ වශයෙන් ද කෘත ඤාණ වශයෙන් ද පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළසකින් යුතුව පරිපූර්ණ වශයෙන් ගුරු උපදේශ නැති ව ම අවබෝධ කොට වදාළ සේක (සම්මා සම්බුද්ධෝ). බුදුරජාණන් වහන්සේ ඉද්ධිවිධ ඤාණ, දිබ්බසෝත ඤාණ, දිබ්බචක්ඛු ඤාණ, පුබ්බේ නිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය ආදී නොයෙකුත් ඤාණයන් උපදවා ගත් සේක. ඒ ඤාණයන්ට අනුව ම ජීවිතය ගත කළ සේක (විජ්ජාචරණ සම්පන්නෝ). භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කොට වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සුන්දර මධ්‍යම ප්‍රතිපදාව තුළ තම ජීවිතය දියුණු කොට ඒ පරම සුන්දර නිවන සාක්ෂාත් කොට වදාළ සේක (සුගතෝ). බුදුරජාණන් වහන්සේ සියලු බ්‍රහ්ම ලෝක ද සියලු දිව්‍ය ලෝක ද මේ මිනිස් ලෝකය ද සතර අපාය ආදී සියලු ලෝකයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒ සියලු ලෝකවලින් නිදහස් වී වදාළ සේක (ලෝකවිදූ). දමනය කිරීමට අසීරු වූ අකීකරු බඹුන්ව ද අකීකරු දෙවියන්ව ද අකීකරු මිනිසුන්ව ද මහා කරුණාවෙන් දමනය කොට දහමට කීකරු කරවා අමා නිවනට පමුණුවා වදාළ සේක (අනුත්තරෝ පුරිසදම්මසාරථී).
භාග්‍යවතුන් වහන්සේ සියලු දෙවියන්ගේ ද සියලු මිනිසුන්ගේ ද එක ම ශාස්තෘන් වහන්සේ වන සේක (සත්ථා දේවමනුස්සානං). බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයට ද අවබෝධ කර ගැනීම පිණිස ඉතා පැහැදිලි ලෙස, ඉතා සුන්දර ලෙස පැහැදිලි වචනවලින්, පැහැදිලි අර්ථවලින් දේශනා කොට වදාළ සේක (බුද්ධෝ).
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවේ වෙන කිසිවෙකුට දැරිය නොහැකි වූ මේ සියලු සම්බුදු ගුණයන් දරා වැඩ සිටි සේක (භගවා).
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ව ගුණ වශයෙන් හඳුනාගන්නා අයෙකුට උතුම් බෝසත් දිවිය ගැන ද ජාතක කතා ඇසුරින් දැනගන්නට ලැබෙන්නේ නම් ‘අනේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය සම්බුද්ධත්වයට පෙර බෝසත් අවධියේ දී ද මෙතරම් අසිරිමත් නම් සම්බුදු දිවිය කෙතරම් අසිරිමත් වන්නේදැ’ යි කියා තව තවත් සිතේ ප්‍රසාදය වැඩි දියුණුකර ගත හැක්කේ ම ය.
මෙලෙසින් බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් දැනගෙන නොසැලෙන චිත්ත ප්‍රසාදයෙන් යුතු ආර්ය ශ්රාවකයා මුල මැද අග කල්‍යාණ වූ අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සහිත වූ, මුළුමනින් ම පිරිපුන් වූ, පාරිශුද්ධ වූ මේ උතුම් ශ්‍රී සද්ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට වදාරන ලද්දේ ය (ස්වාක්ඛාතෝ), මේ ජීවිතයේ දී ම තමන් තුළින් මේ ධර්මය දැකගත හැක්කේ ය (සන්දිට්ඨිකෝ), කාලයකට අයත් නැත්තේ ය (අකාලිකෝ), ඇවිත් බලන්න යැයි කිව හැක්කේ ය (ඒහිපස්සිකෝ), තමා තුළට පමුණුවා ගත යුත්තේ ය (ඕපනයිකෝ), නැණවතුන් විසින් තම තම නැණ පමණින් දැක්ක යුත්තේ ය (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි) යැයි කියා උතුම් ශ්‍රී සද්ධර්මය ගැන ද ගුණ වශයෙන් ම හැඳින සිත පහදවාගෙන සිටී. මෙසේ හෙතෙම දෙවන සෝතාපත්ති අංගයෙන් ද සමන්විත වේ.
එසේ ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වීම නම් වූ මී ළඟ සෝතාපත්ති අංගයෙන් සමන්විත ශ්රාවකයා ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නය තුළ දැකිය හැකි ගුණයන් පිළිබඳ ව ද මනා අවබෝධයකින් යුක්ත වේ. කුදු මහත් භවබෝග සම්පත් අතහැර, කුදු මහත් ඤාති සමූහයා අතහැර, හිසකෙස් බා, කසාවත් පොරවා බුදු සසුනෙහි පැවිදි බිමට පත් වූ, ලද ආහාරයකින් යැපෙන, ලාභ සත්කාරයන්ට ගිජු නොවන, පාපී ආශාවන්ගෙන් නිදහස් වූ උතුම් ශ්‍රාවක සංඝරත්නය නිවැරදි ප්‍රතිපදාවට පිළිපන්නෝ ය (සුපටිපන්නෝ), ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති නිවන වෙත යන ඍජු ප්‍රතිපදාවට පිළිපන්නෝ ය (උජුපටිපන්නෝ), අවබෝධය ඇතිවෙන ප්‍රතිපදාවට පිළිපන්නෝ ය (ඤායපටින්නෝ), යහපත් ධර්මය පවසන ප්‍රතිපදාවට පිළිපන්නෝ ය (සාමීචිපටිපන්නෝ), පුරුෂ යුගල වශයෙන් සිව්නමක් ද පුරුෂ පුද්ගල වශයෙන් අටනමක් ද වන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය දුර සිට දන්පැන් ගෙනවුත් පිදීමට සුදුසු ය (ආහුනෙය්‍යෝ), ආගන්තුක සත්කාරයට සුදුසු ය (පාහුනෙය්යෝ), පින් සලකා දෙන දනට සුදුසු ය (දක්ඛිණෙය්යෝ), වැඳුම් පිදුම් ලැබීමට සුදුසු ය (අඤ්ජලිකරණීයෝ), ලොවට උතුම් පින්කෙත ය (අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස) කියා ලොවෙහි අග්රතම පිරිස වන අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි සිත පහදවා ගන්නා ආර්ය ශ්රාවකයා මෙසේ තුන්වන සෝතාපත්ති අංගයෙන් ද සමන්විත වේ.
තෙරුවන් සරණයි.🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood