පරමාදර්ශී අදහස් වගා කරමු
කුල භේද, ජාතිවාදී අරගල, සුළු ජාතීන් හෙළා දැකීම ආදියට මුල් වන්නේ අප ඇති කර ගෙන ඇති නොයෙකුත් මතවාද, අදහස් උදහස් නිසා වූවත් ඒ පිළිගෙන ඇති සම්මුති සත්‍යයන් අප කිසි විටෙක ප්‍රශ්න කර නොබලති. ඒ වෙනුවට අප හැඩගැසී ඇත්තේ ඒවා සත්‍ය දේ ලෙස කරපින්නා ගැනීමටය. තවත් කෙනෙකු දෙස අප බලන්නේ අපේ ජාතිය, ආගම, සංස්කෘතිය පිළිබඳව අප ගොඩනගා ගත් නොයෙකුත් අදහස් උදහස් මත පිහිටා ගෙනය. ඒ මට්ටමේම හිඳිමින් නිදහස, සමානාත්මතාවය වැනි අප ගොඩ නගා ගැනීමට උත්සාහ ගන්නා පරමාදර්ශී අදහස් නොදුනුවත්වම සකස් වන්නේ අප ඒ ඇති කර ගෙන ඇති එම සම්මුති සත්‍යයන්ගේ බලපෑම් යටතේය. සමාජයීය හා සංස්කෘතික ආභාශයන් ගෙන් මිඳීම සඳහා කෙනෙක් දැරිය යුතු උත්සාහය සුළුපටු නොවේ.
අමෙරිකානුවෙකු ලෙස හැදුනු හැඩුනු අයෙකුට ඒ අනුව ආරූඪ කර ගත් දේවල් සහ උපකල්පනා කොතෙක්ද? වෙනත් සංස්කෘතියක් තුළ ජීවත් වීමට අවස්ථාවක් ලැබෙන තෙක් කොතෙක් දුරට අමෙරිකානු කමින් ඉහවහා ගොස් ඇත්දැයි නොපනේ. අමෙරිකානු පිළිවෙත් සාධාරණීකරණයෙන්ද කෙනෙක් අන්ධ විය හැකිය. පාලනය සඳහා සුදුසුම ක්‍රමය අනෙකුත් රට වලට පෙන්වා දීමට හෝ අපේ අදහස් උදහස් බලෙන් පෙවීමට අපි හැම විටම සැදීපැහැදී සිටින්නෙමු.
සිතාමතා උගන්වා නොතිබූවත් අපි ලෝකයේ දියුණුම හා බලවත්ම ජාතිය ලෙස සිතා සිටින්නෙමු. මෙවැනි අදහස් වල අප කොතෙක් දුරටපැටලී ඇත්දැයි අපට ප්‍රත්‍යක්ෂ වන්නේ, මෙවැනි උපකල්පනයන්ගේ ඇති පක්ෂග්‍රාහී බව මෙනෙහි කර බලමින්, ඒවා අභිබවා යාමට ගන්නා උත්සාහය තුළින්ය. වෙනත් සභ්‍යත්වයක් තුළ ජීවත් වන විට මෙය වටහා ගැනීමට පහසුය. මේ සඳහා බොහෝ සෙයින්ම උපකාර වන්නේ වෙනත් රටවල ගත කළ කාල පරිඡ්චේදයයි. බෞද්ධ ආරණ්‍යවලදී මූලිකවම අවධාරණය කර සිටින්නේ මෙනෙහි කර බැලීමට, සිහිකල්පනාවෙන් යුක්ත වීමට හා ප්‍රඥාව ඇතිකර ගැනීමටය.
අප කොතෙක් සූක්ෂමව අපේ ආකල්පයන්, උපකල්පනයන් තුළ කොටු වී සිටීදැයි සොයා බැලීම සිදුකල යුතුය. එම බැඳීම් මගින් ඇති කෙරෙන දුක්වේදනා වලට මුහුණ දෙන තෙක් ඒවායේ බලපෑම අපට පහසුවෙන් පැහැදිලි නොවේ. තේරුම් ගැනීමටද අපහසුය.
මෙලෙසින්ම භාවනාවට එරෙහිව බාධක ලෙස ඉස්මතු වන්නේ ගතිකානුගතික බලපෑම්ය. සමාජයීය මට්ටමින් “විය යුතු මෙසේ යයි” කියා අප තදින් අල්ලා ගෙන ඇති දේ බොහෝය. පරිපූර්ණ, උත්කෘෂ්ට අදහස් සහ සංකල්පනා පෙරමුණෙහි තබා ගැනීමෙන් අපේ ව්‍යවහාරයට ඇතුළත් කර ගෙන ඇති “මෙසේ විය යුතු යයි” සම්මත දෙයෙහි සීමාවක් නැත. එවැනි පරමාදර්ශයන්හි ඉතා වැදගත් කමක් ඇති බැවින් අප ඒවා අත් නොහළ යුතු වූවත් ඒවායෙහි සීමාවන් අප අවබෝධ කර ගත යුතුය. අපෙන් ඉටු විය යුතු යමක් ඉතිරිව ඇති බවක හැඟීමක් හැමවිටම ඉන් උපදවයි. ‘අතපසු වූ යමක් ඇති නිසා අප ඒවා ඉටු කළ යුතුව ඇත. දැන් අප වැඩකරන ආකාරයට වඩා මහන්සිවී වැඩ කළ යුතුව ඇත. අප දැන් පුහුණු වන ආකාරයට වඩා හොඳින් පුහුණු වීම කළ යුතුය. මීට වඩා අප අවංක විය යුතුය. විවෘත විය යුතුය. මීට වඩා අප ශ්‍රද්ධාසම්පන්න විය යුතුය. ගුණයහපත් කම් වලින් සම්පූර්ණ විය යුතුය.’ මේ ආදී වශයෙන් මෙසේ විය යුතු දෑ අප ඉදිරියෙහි ගොඩගැසී ඇත. මෙසේ විය යුතු යයි අප සලකන එවැනි දෙයෙහි සත්‍යතාවයක් ඇත. නමුත්, මඳකට සිතා බලන්න, සියල්ලම සර්ව සම්පූර්ණ නම් කළ යුතු යමක් ඉතිරිව තිබේද? එසේ නම් සෑම දෙයක්ම සර්ව සම්පූර්ණව පවතින සමාජයක ‘මම’ අති විශිෂ්ට සාමාජිකයෙකු බවට පත්වනු ඇත.
නමුත් අපේ ජීවිත එයාකාර නොවේ. අප මේ උත්තරීතර තත්ත්වයන් මවා ගන්නේ හොඳම දේ, ඉතාමත්ම ලස්සනම දේ, විශිෂ්ට සර්ව සාධාරණ දේ මත පිහිටා ගෙනය. නමුත්, බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ජීවිතයෙහි ඇති අස්ථිරභාවයයි, විශිෂ්ටත්වයෙහිම අපට එය රඳවා තැබිය නොහැකිය, අපට කිසිවක් අල්ලා තබා ගත නොහැකිය. මලක් ගැන සිතා බලන්න. උදාහරණයක් ලෙස රෝස මලක් එහි පැහැයෙන්, සුවඳින්, පෙනුමින් අග තැන්පත් වූ විට අපට එය ඒ තත්ත්වයෙන්ම තබා ගත හැකි වන්නේ ඉතා කෙටි කාලයකට පමණක් නේද? ඉන්පසු එය ටිකින්ටික මලානික වී දුර්වර්ණ වීම ඇරඹේ. එවිට අප එය විසි කොට වෙනෙකක් ගත යුතුය. දේවල් වෙනස් වන බව හා එය සිදුවන ආකාරය සිහිකල්පනාව තුළින් දැන හිඳිය හැකිය. අපේ මනෝභාවයන්, හැඟීම් නිරන්තරයෙන්ම වෙනස් වන ස්වභාවය භාවනාවේදී අපේ අත්දැකීම් තුළින්ම අපි දැක ඇත්තෙමු. ඒවා සිදු විය යුතු මෙසේ යයි සිතීමෙන් අප නැවතත් අරඹන්නේ අප තුළ ඇති අදහස් සංසන්දනය කිරීමය. “පුහුණු වීම කියන්නේ කුමක්ද? පුහුණු වීම කළ යුතු කෙසේද? දවසකට පැය කීයක් භාවනා කළ යුතුද? එය කරන්නේ කෙසේද?” යනාදී වශයෙන් අප මේ හොඳයයි සලකා ගත් අදහස් මත පිහිටා කටයුතු කළ හැකිය. නමුත්, “මෙසේ විය යුතු යයි” යන සම්මතයන් අනුව පුහුණුවෙහි යෙදුනහොත්, අවසානයේදී ඊටත් වඩා සුදුසු යමක් ඇතැයි යන හැඟීම නැවත මතුවීම නොහැළැක්විය හැකිය. ‘පරිපූර්ණත්වයේ මූලය වෙතට තවමත් ළඟා වී නැත. තවදුරටත් ඉටු කළ යුතු ඇති දේවල අඩුවක් වී නොමැත.’ මේ කෙළවරට පැමිණි විට ඔබට සිත් දෙන්නේ සෑම දෙයක්ම අත්හැර දමා පරණ පුරුදු ආකාරයටම ජීවත් වීමටය. අපට යා හැකි යම් දුර ප්‍රමාණයක් ඇත. අපට යමක් කළ හැකි වන්නේ එක්තරා ප්‍රමාණයකට පමණි. ඉන් ඔබ්බට යා හැකි වූවත් මනස එතැන පවත්වා ගෙන සිටීම එතරම් පහසු කටයුත්තන් නොවේ.
අප සියලු දෙනා වයසට ගිය විට වෙලාව ගතවන්නේ, දවස ගෙවී යන්නේ ඉතා ඉක්මණින්ය. “තව කොච්චර දවසක්ද ජීවත් වෙන්න ඉතිරි වෙලා තියෙන්නෙ? ළඟදිම මේ ශරීරය වල දාන්න වෙනව නේද? ” මෙවැනි අදහස්, ඔබ කුඩා කල, මතු වූවාද? වයස් ගත වීම ගැන සිතා බැලීම, අනිත්‍ය පිළිබඳව කළ හැකි හොඳ මෙනෙහි කර බැලීමක්ය; ‘සබ්බේ සංඛාරා අනිච්චා’, දිගින්දිගටම අප මෙනෙහි කළ යුතුය. ඊට හේතුව, තවමත් අපේ සිත නැඹුරු වී ඇත්තේ දකිනදකින දේ තදින් අල්ලා ගැනීමටය. සෑම සංසිද්ධියක්ම; දකින දේ, දැනෙන දේ, හැඟෙන දේ, ඇසෙන දේ, සිතිවිලි, මතක, මමත්වය ආදී මේ සියල්ලක්ම අපට පෙනෙන්නේ ඇත්ත ඇති හැටියට නොවේ. මේ අවිද්‍යාවය. අපිම මවා ගත් ලෝකවල ජීවත්වීම නිසා ඇත්ත ලෙස අප බාර ගන්නේ විකෘති වූ අදහස්ය. අවදිවීම; මේ මොහොත වෙත අවධානය ඇති කර ගැනීම, එයින් මිඳීමට ඇති එකම මගය.
අප ජීවත් වන්නේ සංවේදී භවයකය. එහි සත්‍ය ස්වභාවය අපට දැකිය හැකි වන්නේ ඒවා සංයෝජනය වී ඇති තද ගතිය, බැඳුණු ගතිය, උණුසුම, වායුව, අවකාශය ආදී දෑ තුළින්ය. එම ගති ලක්ෂණ දේවල තථ්‍යතාවය වටහා ගැනීම සඳහා උපකාර වේ. අපි ඒවා යොදා ගන්නේ ඒවා සෑදී ඇති ආකාරය පිළිබඳව විද්‍යානුකූල, ව්‍යුක්ත අර්ථ දැක්වීමක් සඳහා නොවේ. එය අපේ අත්දැකීම් තත්ත්වාකාරයෙන් දැක ගැනීම සඳහා සකස් වූ ක්‍රමවේදයක් පමණය. මෙසේ මෙනෙහි කර බැලීම සඳහා අවස්ථාවක් අප යොදා නොගන්නේ නම් දේවල තථ්‍යතාවය අපට නොවැටහෙන්නේය. මනුෂ්‍යත්වය අඳුරෙහි ගිලී ඇත්තේ මෙම හරි දැකීම අපට නැති නිසාය. සත්‍යාවබෝධයකින් තොර වතාවරණ යටතේ ඔවුන්ට ඔබ පාලනය කිරීමටත්, ඔබ කැමති ආකාරයකින් ඔවුන් හැසිර වීමටත් අවකාශ ඇත. පසු ගිය ලෝක යුද්ධ සමයේදී කිසිම අර්ථයක් නොමැතිව මනුෂ්‍යය පරම්පරාවක්ම සමූලඝාතනය කිරීමට තරම් මිනිසුන් අන්ධ බාලයින් බවට පත් වූයේ මන්ද? අද ලෝකය දෙස බලන විටදී වූවත්, එහි වෙනසක් ඔබට පෙනේද? මේ ගැන මඳක් සිතා බලන්න!
ඔබට තෙරුවන් සරනයි …
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood