Temples of Sri Lanka

ඔබව ඔසවා තබන සාරධර්ම

සාරධර්ම යනු, මානවයා විසින් මානවයාගෙ පැවැත්ම උදෙසා ඇතිකරගත් ධර්මතා වේ. සමාජය පවතින්නේ සත්‍ය මූලික වීම මතයි. සාරධර්ම මඟින් මිනිසා තුළ ගුණ ගරුක පුද්ගලයෙක් බිහිවන බව ඔබ අප හොදාකාරවම දන්නා කරුනක්.

සාරධර්ම අප රැකිය යුත්තේ සමාජයේ යහපත් පුරවැසියෙකු ලෙස ජිවත් විමටය. සිංහල සංස්කෘතියට පමණක් නොව සෑම සංස්කෘතියක් තුළම යම් සාරධර්ම පද්ධතියක් ඇත. එම සංස්කෘතියේ අභිමානය කියාපාන මෙම සාරධර්ම අප සුරැකිය යුත්තේ අපගේ අනාගත පරපරම්පරාවට මේවා ආරක්ෂා කළ යුතු නිසාය.

දිනෙන් දින සිදුවන තාක්ෂණික වර්ධනයත් සමඟ සාරධර්ම කියන්නේ මොනවාද යන්න නොදන්නා තරමට අද සමාජය විකෘති වී ඇත. සාරධර්ම සමාජයෙන් පිරිහී ඇත. පුද්ගලයකුගේ කතා විලාසය, ක්‍රියා කලාපය හා හැසිරීම් රටාව යන සෑම දෙයක්ම සාරධර්ම හා බැඳී පවතී. සමාජයේ යහපත් පුරවැසියකු ලෙස ජීවත්වීමට සාරධර්ම අත්‍යවශ්‍යය. මුලින්ම සාරධර්ම ඉගෙන ගන්නේ තම පවුලෙනි. වැඩිහිටියන්ට ගරු කිරීම, හොඳ වචන කතා කිරීම, යහපත් දේ සිදු කිරීම, අවංක කම කරුණාව හා දයාව ආදියෙන් පවුල තුළින් වර්ධනය කරගනියි.

එමෙන්ම සමාජයේ සම්බන්ධතා සමඟ ඒවා තවත් වර්ධනයට මෙන්ම පිරිහීමට ඉඩ ඇත.

එනම් සමාජයේ ඇසුරු කරන සමවයස් කණ්ඩායම්, මිත්‍රයන් හා අයහපත් පුද්ගලයින් අනුව එය වෙනස් වනු ඇත‍. සාරධර්ම ගොඩනැගීමට හොඳම ස්ථානය පාසල වේ. මෙහිදී ගුරුවරයකු, පාසල් ශිෂ්‍යයකු හා ශිෂ්‍යයන්ගේ දෙමව්පියන් ලෙස ගිලිහි යන සාරධර්ම නැවත ගොඩනැඟීමට දායක විය හැක. සාරධර්මවලට දරුවාව පුරුදු කරවන්න ඔවුන් කුඩා කළ සිටම දෙමව්පියන් වගකීම ගත යුතුය. පාසලෙනුත් දහම්පාසලෙනුත් යහපත් ගුණාංග දරුවාට පුරුදු කළ යුතුය. වර්තමානයේ ළමයින් ඉගෙනීමට උපන් හපන් ඇති වුවද සාරධර්ම අතින් දුර්වලය.මනුස්සකම් නැත. අනෙකාට වඩා තරගකාරීත්වය අබිබවා යෑම අරමුණ වී ඇත. සාරධර්ම පිරිහිමට ජනමාධ්‍ය ප්‍රධාන හේතුවකි. රූපවාහිනියේ විකාශය වන මෙගා ටෙලි නාට්‍යයද සාරධර්ම කෙරෙහි බලපෑම් කරයි. ජනමාධ්‍යයන් දිනෙන් දින තරගකාරී වන මොහොතක එයින් යහපත් දෙයක් සමාජයට දායාද නොකෙරෙයි. දෙමව්පියන් වශයෙන් දරුවාට, පවුලේ සාමාජිකයන්ට උචිත වැඩසටහන් නැරඹීමට තෝරා ගත යුතුය. එමෙන්ම රූපවාහිනි තීරය තුළින් වෙනත් සංස්කෘතීන් නිරූපණය කිරීමේදී අප සංස්කෘතිය පිරිහී යනු ඇත. අප සංස්කෘතිය බිහි වී ඇත්තේ සාරධර්මවලට අනුකූලවය.

කොරෝනා වසංගතය හමුවේ ළමා පරපුර, තරුණ පරපුර නිරන්තරයෙන් ජංගම දුරකථනය හරහා අධ්‍යාපන කටයුතු ,රැකියා කටයුතු සිදු කළේය. මෙහිදී සිදුවන්නේ සමාජයෙන් පවුලෙන් දරුවා, තරුණයන් දුරස් කිරීමයි. වර්තමානයේ වැඩිහිටි නිවාස ඉදීවීමටත්, සිරගෙවල්වල වැරදිකරුවන් වැඩි වීමටත් සහ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වීම් සිදුව ඇත්තේ නිසි සාරධර්මයන් රට තුළ නොමැති බැවිනි. අනෙකාට වඩා තමන් ඉදිරියට යන්න සිහින දකින ලෝකයක සාරධර්ම යනු නොවටිනා වචනයක් වී හමාරය.

එළැඹෙන අවුරුදු සමයන් වල වැඩිහිටියන්ට බුලත් දී වැඳ නමස්කාර කර පවුලේ සමාජයේ නැතිවී ගිය සබඳතා වර්ධනයට, සාරධර්මයන් නැවත යථා තත්ත්වයට වඩවා ගන්න අපට මහත් උත්සාහ‍යක් ගන්නට වේවි. පුද්ගලයෙක් සාරධර්ම , උගත්කමින් පරිපූර්ණ වූ කල ඔහු තුළ ඉතා වටිනාකමක් ඇත්තේය. රටක් සංවර්ධනයට භෞතික පරිසරය පමණක් නොව ජිවත්වන මිනිසුන්ගේ හැදියාව, සාරධර්මද ඉවහල්වනු ඇත.

පිරිහී ගිය සාරධර්ම නැවත ගොඩනැංවීමට හොඳම කාලය මෙයයි..

පවුල තුළ මවගේ යුතුකම්, පියාගේ යුතුකම්, දරුවන්ගේ යුතුකම්, වැඩහිටියන්ට සැලකීම, එකිනෙකාට ආදර්ශමත්වීම හා එකමුතුකම කොතරම් දුරට පවතීද යන්න අප විමසා බැලිය යුතු වේ. මහ රෑ වන තුරු රූපවාහිනි නරඹා නින්දට වැටීමෙන් උදේට පාසල් යන දරුවාට ගෙනයාමට ආහාර පිළියෙල කිරීම මඟහැරෙන මව් වරුන් අප සමාජයේ කොතෙකුත් සිටී. දියණියන් ඉක්මවා අසංවර විලාසිතාවන් වැළඳගත් මව්වරු සිටිති.

සංස්කෘතිය හා සදාචාරය පිරිහුණු තැනක භෞතික සංවර්ධනයට ද පැවැත්මක් නැත. ඒ බව අපි පසුගියදා අත්දුටුවෙමු. භෞතික දේ සතුටින් අත්විඳිය හැක්කේ ද සමාජයේ ඇති හර පද්ධතියේ පැවැත්ම මතය. සිරිත් විරිත්, නැතිවිට අප විඳින්නේ සංතාපයය. ලබන්නේ පරිහානියය.

ගුණගරුක සමාජයක් මගින් සාරධර්ම ඇති පිරිහී නොගිය සමාජයක් මතින් ඔබ එසවීමට නම්, ඔබගේ ඔසවා තැබීම සනිටුහන් කිරීමට නම්…

ඔබ සදාචාරය සමානාත්මතාවය සහජීවනය රැගත් සාරධර්මයෙන් යුතු පුද්ගලයකු වීම කාලීන අවශ්‍යතාවයක් බව වටහා ගත යුතුය…

ඔබ සැමට තෙරුවන් සරණයි.🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X