Temples of Sri Lanka

අපට අවශ්‍ය යහපත් සමාජයක්

පොදුවේ ගත් කල සෑම මනුෂ්‍යයකුගේම කාර්යභාරය යහපත් සමාජයක් ගොඩනැඟීම යැයි අපි විශ්වාස කරමු.

එහෙත් රටක පවතින සමාජ, ආර්ථික, දේශපාලනික පරිසරය මෙම අරමුණ මුදුන් පමුණුවා ගැනීම සඳහා බලපායි.

සමාජයක් හැටියට දවසින් දවස විපරිණාමය වෙද්දී ඒ ඒ යුගයන්හි ජනිත වන වටිනාකම් මේ අරමුණුවලට ඍජුව බලපායි. හොඳින් විමසන්නේ නම් කුඩා දරුවාගේ පටන් මේ වෙනස්කම් මූර්තිමත් වන අයුරු අපට දැකිය හැකිය. පුංචි උන් මල් වගේය යන කියමන ලෝක ප‍්‍රවාදයකි.

තරහ, වෛරය, ක්‍රෝධය, ආත්මාර්ථකාමීත්වය වැනි නුගුණ ඔවුන් තුළ නැත. එහෙත් වත්මන් මවුපිය පරපුරට ඔවුන් සමාජගත කරන්නට සිදුව ඇත්තේම පවතින ආර්ථික ප‍්‍රවාහයේ ගොදුරක් හැටියටය.

පුංචි දරුවා පාසල් යෑම ආරම්භ කරන්නේම ව්‍යාජය රඟපෑම ගැන ලබන උගැන්ම සමඟිනි. ඔවුන් මුලදීම දකින්නේ ව්‍යාජ විදුලි බිල්පත්, වරිපනම් බිල්පත්, ඔප්පු තිරප්පු ඇතුළුව කූඨ ලේඛන සකසන පසුබිමය. මේ කිසිවක් සිදුවන්නේ දරුවාට සාරධර්ම උගැන්වීමට නොවේ. දරුවාට අධ්‍යාපනය දෙන්නට යන්නේම සියලූ සාරධර්ම මරාගෙනය. යහගුණ විනාශ කරගෙනය.

මේ වනවිට ඉරු දින දහම් පාසල යනු ගමේ බොදුනුවන්ගේ ඇල්ම බැල්ම අඩුවෙමින් පවතින තැනකි. දහම් පාසලට යන දරු පිරිස එන්න එන්නම අඩුවෙමින් පවතී. ලංකාවේ සිටින ලක්ෂ විස්සකට අධික සිසු සිසුවියන්ගෙන් අඩක්වත් දහම් අධ්‍යාපනය ලබන්නේ නැත.

එනිසා දැන් අප අධ්‍යාපනය යැයි කියමින් උරුම කරන දෙන දෙයින් සමාජයේ යහපත, ප‍්‍රගමනය සිදුවන්නේ ද යන්න ප‍්‍රශ්නාර්ථයකි. අනෙක් අතට කුහකකම්, හොරකම්, මැරකම් පදනම් කරගත් අධ්‍යාපනයක් ලබන ඒ දරුවන් අනාගතයේදී සිය මවුපියන්ටවත් සලකනු ඇතැයි අපට විශ්වාස කළ හැකි ද?

බුදුන් වහන්සේ තම දිවි පැවැත්මෙන්ම තරගයට ඉඩක් දුන්නේ නැත. බුද්ධ දේශනාවෙන් පවා හෙළිවන්නේ තරගයේ ඇති අනර්ථයයි. තරගකාරීත්වය මත පදනම් කරගත් ජීවන පැවැත්මක් බුදු දහමින් උගන්වන්නේ නැත. මිනිසුන්ට ඇති ශක්ති ප‍්‍රභව හඳුනාගෙන එය මානව ප‍්‍රගමනයට යොදාගැනීමේ වටිනාකම බුදුන් වහන්සේ දේශනා කළහ. තමන් කරන ඕනෑම කාරියක් ආරම්භ කළ යුත්තේ එහි ප‍්‍රතිඵලය ගැන සිතාය. බුදු දහමේ මෙය ආදීනව සංඥා නමින් හැඳින්වේ.

තමන් කරන කාරියෙන් සමාජයට නරකක් නපුරක් වේ යැයි සිතන්නේ නම් එය අත්හළ යුතුය යන්න බුදු දහම අනුදත් මගයි. උදාහරණයකට ශිල්ප ඥානයෙන් කෙතරම් නිපුණ පුද්ගලයකු වුවත් ඔහු නිපදවන්නේ තුවක්කුවක් නම් එයින් ඵලක් නැත. මන්දයත් තුවක්කුවේ ඵලය නම් ජීවිතයක් නැති කිරීම හෝ හානි කිරීම වන බැවිනි.

පරමාණු බෝම්බය නිර්මාණය කළ තැනැත්තා දක්ෂයකු වුවත් ඔහුගෙන් ලෝකයට අගතියක් අනර්ථයක් මිස සෙතක් වූයේ නැත. එහෙත් ඇස් කණ්ණාඩියේ නිර්මාපකයා ගැන අපට එසේ කිව හැකි ද? එවැනි නිර්මාණකරුවකු හැඳින්විය හැක්කේ කුසලවන්තයකු භාග්‍යවන්තයකු හැටියටය.

අධ්‍යාපන ක‍්‍රමයේත් විභාග ක‍්‍රමයේත් පවතින අධිතරගකාරීත්වය නිසා අපේ දරුවෝ ද හසරක් නොදැන දුවමින් සිටිති. දැනුම හුදු පුද්ගල අභිවෘද්ධිය පිණිසම මිස යහපත් ලොවක් වෙනුවෙන් නොවන තැනට වැඩ සිදුවෙමින් තිබේ. පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඊට හොඳම නිදසුන බවට පත්ව ඇත. එය අද වනවිට තිබෙන්නේ කුඩා උන්ගේ මනසට දැරිය නොහැකි තත්ත්වයකය.

ඇතැම් පුංචි දරුවන් අප හමුවේ කියා සිටින්නේ මේ විභාගය අපේ අම්මටයි තාත්තාටයි ඕනෑ වුණත් මට නම් ඕනෑ නෑ කියාය. එසේත් නැත්නම් තමන් විභාගය ඉහළින් සමත්වීමට උත්සාහ කරන්නේ මවුපියන්ගේ සමාජ තත්ත්වය ආරක්ෂා කරගැනීමට යැයි කියාය. එවැනි මානසිකත්වයකින් යුතුව විභාගයට පෙනී සිටින දරුවන්ට අධ්‍යාපනය ගැන ආලයක් නැත. ඔවුන් ඊට යොමුවන්නේ දැඩි පීඩනයකිනි. අතිශය පීඩාකාරී වටපිටාවක අකුරු කරන දරුවෝ වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු ආදී ඉහළ වෘත්තියකට පිවිසීමේ නොතිත් සිහිනයක ගැලී සිටිති.

අද වනවිට ලංකාවේ නිදහස් අධ්‍යාපන ක‍්‍රමය ගැන ද රට පුරා පැතිර පවතින්නේ විචිකිච්චාවකි. විශේෂයෙන්ම රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනය මුල් කරගෙන මේ කතාව පැතිර පවතී. පවතින තත්ත්වය තුළ තවදුරටත් සිය දරුවන් වෛද්‍ය අධ්‍යාපනය කරා යොමුකළ හැකි ද දක්ෂයන් යට වී නුසුදුස්සන් මතුවේ ද සියල්ල මුදලට යටවේ ද යන පැනය මේ රටේ බොහෝ මවුපියවරුන් අතරෙහි පවතින්නකි. එතැනින් ඔබ්බට යද්දී සමස්ත නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සම්බන්ධයෙන් පොදු සමාජය පුරා මේ තිගැස්ම පවතී.

මුදලට සියල්ල තීරණය වේ නම් අප වෙහෙස මහන්සි වන්නේ කුමට ද යන සිතුවිල්ල මේ සමඟ මතු වේ. එය හොඳ තත්ත්වයක් නොවේ. මන්දයත් බල්ලකු මහ මඟ මළත් අනේ අපොයි කී මිනිසුන් බල්ලො මරලා හරි සල්ලි උපයන්නෙමියි යන තැනට තල්ලූවන්නේ එවැනි තත්ව නිසා වන බැවිනි. ඇතැම් සමාජ විරෝධී ක‍්‍රියා ජනිතවීමට එක් හේතුවක් වී තිබෙන්නේ සුදුස්සාට සුදුසු තැන දීම වෙනුවට පුස්සන්ට තැන ලැබීමය.

ආත්මාර්ථකාමීත්වයට බුදු දහමේ කොහොමටත් ඉඩක් නැත. බුදුරදුන් පැවැසූ ආත්මාර්ථය වර්තමාන සමාජය වහරන ආත්මාර්ථයට වඩා හාත්පසින්ම වෙනස්ය. බුදුරදුන් පැවැසූ ආත්මාර්ථය පද හැටියට බෙදු විට ආත්ම අර්ථ කාමී හෙවත් තමාට වැඩ කැමැති යනුවෙන් වර නැගිය හැකිය. බුදුන් වහන්සේ දෙසුවේ අනුන්ගේ යහපත වෙනුවෙන් අනෙකාට උපකාර කිරීමට තමාගේ සියලූම කටයුතු මෙහෙයවන්නැයි කියාය. තමා වඩාත්ම ආදරේ කාටදැයි කෙනකුගෙන් ඇසුවහොත් බුදුරදුන් පවසන්නේ ඒ තමා බවය. මවුපියන්, භාර්යාව, දරුවන් ඇතුළු සෙසු සියල්ලන් සිටින්නේ ලැයිස්තුවේ තමාගෙන් පසුය. අංක එක තමාය. යථාර්ථය එයයි. තමා වැඩියෙන්ම ආලය කරන්නේ වෙනකකුගේ ජීවිතයට යැයි යමකු පවසන්නේ නම් එය මුසාවකි.

බුදුරදුන් ආත්මාර්ථය ප‍්‍රතික්ෂේප කළේ නැත. උන්වහන්සේගේ දේශනාව වූයේ තමන්ට වැඩ සලස්නා කෙනකු බවට මුලින් පත් වී එසේ උගෙන ගත් දේ සමාජ යහපත වෙනුවෙන් ක‍්‍රියාවට නැඟීම උතුම් බවය. ප‍්‍රවීණ කිවිවර පරාක‍්‍රම කොඩිතුවක්කු විසින් රචනා කරන ලද පොඩි මල්ලියෙ නම් පද්‍ය පන්තියෙහි මේ කතාව සෞන්දර්යාත්මකව මනාව විවරණය කර ඇත. වැඩිමහල් සොයුරකු විසින් බාල සොයුරාට දෙන අවවාදයක විලාසයෙන් රචනා කර ඇති මෙම පද්‍යයෙන් අපෙන් සමාජයට දිය යුතු දේ ගැන කවියා සංවේදී වෙයි.

”එක පාරට-ටකේ ගසන්නෙපා මලේ

කුරුල්ලන්ට ඉඩක් දියන්- එක කරලක් ඇදන් යන්ට !”

යැයි ඔහු කියයි. සමාජයට පෙරගමන් සපයන දැනුමැත්තන් සියලූ දෙනාගේ අද දවසේ කාර්යභාරය විය යුත්තේ මෙයයි. විද්වත් වෘත්තිකයන් ඇතුළු සමාජයේ ඉහළ මාලයේ වෙසෙන ඇතැමුන් පවා සිය දරුවන්ට දායාද කරන්නේ තනියම ගොඩ යන ක‍්‍රමවේදය යැයි ඇතැම් තැන්හි කතා කරනු පෙනේ. ඒ කතාවේ කරුණුමය වශයෙන් ගත යුත්තක් ඇතත් චෝදනාවක් වශයෙන් ගත් කල නම් එය පූර්ණ සත්‍යයක් නොවේ. අනෙකාව යටපත් කරගෙන තමාම වැජඹිය යුතු යැයි සිතන පුද්ගලයන් මේ සමාජයේ වෙසෙන බව ඇත්තය. එහෙත් එය සමස්ත සමාජයට ආදේශ කිරීම වැරැදිය. තිරිසන් සතකුට වන විපතකදී වුව කම්පාවට පත්වන සංවේදී හිතැත්තෝ අදටත් මේ සමාජයේ වෙති. එනිසා සමාජය මුළුමනින්ම උඩුයටිකුරු වී ඇතැයි මා සිතන්නේ නැත.

මිනිසුන් අතර අන්තර් පුද්ගල සබඳතා බිඳවැටීම ගැන අපි නිතර කතා කරමු. මට හිතෙන හැටියට නම් ඊට මූලික හේතුවක් බවට පත්ව ඇත්තේ නව තාක්ෂණික මෙවලම් සමඟ අසීමාන්තිකව අපට ඇති බැඳීමයි. මගතොටේ බස් රියේ දුම්රියේ එදිනෙදා හමුවන බොහෝ මිනිසුන් අප දැන් නිතර දකින්නේ ජංගම දුරකතනයක සිර වී සිටින අයුරුය. අද තරුණ පරපුරෙන් සැලකිය යුතු පිරිසකට මුළු ලෝකයම වී ඇත්තේ ජංගම දුරකතනයයි. හිතවතුන් දෙදෙනකු මුණගැසුණ ද කතාව සිදුවන්නේ එකිනෙකාගේ මුහුණ නොබලා මුහුණු පොතේ සිරව සිටින අතරේය. පවුලේ සියලූ දෙනා එකතු වන ප‍්‍රධාන තැනක් වන්නේ කෑම කාමරයයි. එහෙත් අද පවුලේ සාමාජිකයන් කෑම ගන්නේ තනි තනිවය.

අතරමැදට එතැනත් පැමිණ තිබෙන්නේ ජංගම දුරකතනයයි. ඇතැම් අවස්ථාවල පිරිත් පින්කම්වලට සහභාගී වන භික්ෂූන් වහන්සේලා පවා සිය ජංගම දුරකතන සමඟ ගනුදෙනු කරමින් පිරිත් සජ්ඣායනය කරන තැන දක්වා තත්ත්වය දුර දිග ගොස් තිබේ. එහෙත් සමාජ වෙබ් අඩවිවල නිතර සිරව සිටින බොහෝ දෙනා සැබෑ සමාජයෙන් භෞතිකව දුරස්ව සිටින්නේ ගව් ගණනිනි. මා මෙමගින් අවධාරණය කරන්නේ නව තාක්ෂණික මෙවලම් සමාජයේ අවනතියට හේතුවන බවක් නොවේ. ඒවා පාවිච්චි කරන ක‍්‍රමවේදයේ අවුලයි. සමාජ මාධ්‍ය මගින් ලැබිය හැකි අධ්‍යාපනය සුළු පටු නැත. භාෂා සාහිත්‍ය පරිශීලනයට එමගින් සැලැසෙන සේවය විෂය ප‍්‍රාමාණිකයකු හැටියට මම දනිමි.

සැබැවින්ම විද්‍යාවේත් තාක්ෂණයේත් දියුණුව හේතු විය යුත්තේ මිනිස් සමාජයේ යහපතටය. එහෙත් නවීන තාක්ෂණික මෙවලම් නිසා මිනිසුන් හුදෙකලා වේ නම් එය පැසැසිය යුතු ද? අධ්‍යාපනික මාධ්‍යයක් වනවා වෙනුවට හුදු විනෝද සම්පාදන මාධ්‍යයක් බවට එය පත් වේ නම් අප කුමක් කියමු ද? ජංගම දුරකතන නැති යුගයේ මිනිසුන් අතර ගනුදෙනුව සිදුවුණේ භෞතිකව සිදුවන මුණගැසීම්වලිනි. දවසක් දෙකක් හිතවතාගේ නිවෙසේ නතර වී ගත කරන කාලය අපතේ යෑමක් හැටියට අපි එදා නොසිතුවෙමු. එහෙත් අද තත්ත්වය වෙනස් වෙලාය. සියල්ල උපයෝගීතාවාදී ගනුදෙනු බවට ඌණනය වෙලාය.

නීතිය සර්ව සාධාරණව ක‍්‍රියාවේ යෙදෙන බව කිවහැක්කේ ජන වර්ග අතර ප‍්‍රශ්න මතුවන්නට ඉඩ නොතබා එවැනි අකටයුතුකම්වලට එරෙහිව නීතිය ක‍්‍රියාවේ යෙදීමෙනි.

බොදුණුවාට ද කිතුණුවාට ද මුසල්මානුවාට ද හින්දු භක්තිකයාට ද නීතිය එකක් විය යුතුය. ආණ්ඩුව කුමන දේශපාලන පක්ෂයකින් බලයට පැමිණිය ද පාලක පන්තිය සියලූම ජනයාට වගකිව යුතුය. එසේ නොවුවහොත් සාමය, සංහිඳියාව, සහජීවනය ආදිය පත්වනු ඇත්තේ හුදු වචන බවටය.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X