Temples of Sri Lanka

දහමට අනුව රටක මහිමය දකිමු..

ස්ථානයක් අවුල් වියවුල් වලින් තොරව පවත්වා ගැනීම සඳහා බුද්ධිමත් තීරණ ගැනීම ඉතා වැදගත් .රටක් වුවත් අවුල් වියවුල් වලින් තොරව පවත්වා ගැනීම පිණිස බුද්ධිමත් පාලකයන් අනුගමනය කරන පිළිවෙත් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබුවා. ආදායම් මාර්ගයක් නැති ඉතාමත් දුප්පත් අයට සංවර්ධන ආධාර සැපයීම ඉන් එකක්. පෙර එක්තරා රජ කෙනෙක් මේ පිළිවෙත සැලකිල්ලට නොගෙන කටයුතු කළා .දුප්පතුන් නොසලකා හැර ඔවුන්ට කිසිදු ආර්ථික ආධාරයක් නොසැපයීම තුළින් සිදු වූයේ ඒ රටේ දුප්පත්කම තව තවත් වැඩිවීමයි…

 

ඒ රටේ දුප්පත්තු බහුල වුණා. එක්තරා දිළින්දෙක් නැති බැරි කම නිසාම වෙනත් අයකු සතු දෙයක් සොරකම් කළා. මිනිස්සු ඒ සොරා අල්ලා ගෙන ගොස් රජුට ඉදිරිපත් කළා. සොරකම් කළේ ඇයි දැයි රජතුමා එම පුරුෂයාගෙන් විමසුවා. ඔහුගේ පිළිතුර වුණේ ජීවත් වීමට මගක් නැති නිසා ඒ දේ කළ බවයි. රජතුමා ඔහුට දඬුවම් දුන්නේ නැහැ. දිවි පවත්වා ගැනීමට මුදලක් දී අවවාද කරලා පිටත් කලා. දිළිඳුකම රටේ පොදු ප්රශ්නයක් ලෙස රජතුමාට නොපෙනුනා .එනිසා සොරකම රටෙන් තුරන් කළ නොහැකි වුනා.
වෙනත් දිලිඳෙක් වරින්වර සොරකම් කළා. ඔවුන් රාජපුරුෂයන් විසින් රජු වෙත පමුණුවනු ලැබුවා රජතුමා කළේ ඔවුන්ට ධනය ලබා දී අවවාද කර පිටත් කර හැරීමයි.

 

සොරකම් කරන්නෝ දිනෙන් දින වැඩි වුණා. ඔවුන් සොරකමට පෙළඹුණේ රජුගෙන් ධනය ලබා ගැනීමේ අරමුණ ඇතිවයි. දිනක් සොරකු අල්ලාගෙන ඉදිරිපත් කළ විට රජතුමා මෙසේ සිතුවා .
සොරුන්ට ධනය දී යැවීමෙන් සොරකම් වැඩි වෙනවා. ඒ නිසා සොරකම සම්පූර්ණයෙන්ම නැති කළ යුතුයි. ඒ සඳහා සොරුන්ගේ හිස ගසා දැමිය යුතුයි. මෙසේ සිතා දිනක් අල්ලා ගන්නා ලද සොරා ගේ හිස ගසා දැමීමට නියම කලා. රාජ පුරුෂයෝ එසේ කළා. එහෙත් සොරකම නතර වුණේ නැහැ .සිදුවූයේ වෙන එකක්.

 

අනුන්ගේ ද සොරකම් කරන ගමන්ම ඒවා අයිතිකරුවන්ද මරා දැමිය යුතුයි එවිට අපගේ සොරකම් ගැන රජුට දැන ගත නොහැකි වනු ඇත මෙසේ සිතූ සොරු අවි ආයුධ නිෂ්පාදනය කරගෙන ගම් නියම් ගම් නගර වනසමින් ධන හිමියන් මරා ධනය පැහැර ගැනීමට පටන් ගත්තා ….එහෙයින් රටේ සොර මැරකම් ද මිනීමැරීම් ද වැඩිවී බිහිසුනු තත්වයක් රට තුළ උද්ගත වුණා
මේ හේතුව නිසා සිදු වූ ඵලය විග්රහ කොට දක්වනවා නම් …එය රාජ්ය තුළ මෙතෙක් සිදු වූ දෑ ගැන සිතා බලන්න ….

 

රටේ සොර මැරකම් ජීවිත හානිය ආදිය කිසිවක් හේතුවක් නැතුව ඉබේ හටගත් ඒවා නොවෙයි. එසේ නම් දෙවියන් විසින් හෝ යක්ෂයකු විසින් ඇති කරනු ලැබූ ඒවා ද නොවෙයි .ඒ සියල්ල එක්තරා සිදුවීම් මාලාවක ප්රතිඵලයක් ලෙස ඇතිවූ ඒවායි .ඒවායේ රටේ පාලකයා දුප්පතුන්ට ආධාර ලබා නොදුන් නිසා ම දුප්පත් කම වැඩි වුණා. දුප්පත්කම වැඩි වීම නිසාම සොරකම වැඩි වුණා. සොරකම වැඩි වූ විට භයානක අවි ආයුධ බහුල වුණා. අවි ආයුධ බහුල වීමෙන් ජීවිත හානි කිරීම් වැඩි වුණා .එසේ රට පුරා බිහිසුනු තත්වයක්
උද්ගත වූයේ හේතු ඵලයක් වශයෙන් සිදුවූ ක්රියාවලියකට අනුගතවයි.

 

රජු විසින් දුප්පතුන් නොසලකා හරිනු නොලැබූවේ නම්…සොරකම් වැඩි නොවෙයි. සොරකම් වැඩි නොවූයේ නම් හානිකර ආයුධ භාවිතය බහුල නොවේ. ආයුධ බහුල නොවූයේ නම් ජීවිත විනාශය ද බහුල නොවේ. ලෝකයේ සෑම සිදුවීමක්ම හේතුඵල ක්රමයකට අනුව සිදු වෙතැයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ මේ හේතුව නිසා මයි.
මෙතෙක් විස්තර උනේ හේතුඵල දහමට අනුව සමාජ ගැටලු ඇති වන ආකාරයයි. අපේ මානසික ගැටලු ආදී අභ්යන්තර ප්රශ්න මතුවන්නේ ද මෙබඳුම පිළිවෙලකට හෙවත් හේතු ඵල දහමට අනුවමයි.

 

අප මෙය අවබෝධ කරගත යුත්තේ එම ගැටලු නිරාකරණය කර ගැනීම පිණිසයි. ගැටලුවක් ලිහා ගැනීමට නම් මෙම ගැටලුවේ හේතු ගැන මනා වැටහීමක් අවශ්යයි. එසේම එම හේතු නැති කළ යුතු ආකාරය ගැන මනා වැටහීමක් අවශ්යයි .දහමේ ඉගැන්වෙන හේතුඵල දහම අප විසින් මැනවින් තේරුම් ගත යුත්තේ එහි කාලීන හා ප්රායෝගික වටිනාකමක් ද ඇති නිසායි…
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X