ධර්ම සන්නිවේදනය
සංනිවේදනය යන්නෙහි අර්ථ කථනය අදහස් හුවමාරු කර ගැනීම වේ.එයින් සිදු කෙරෙන ප්රමුඛ කාර්ය එයයි.. අද අප සංනිවේදන තාක්ෂණය ඉතා දියුණු මට්ටමක පවතින අවදියක ජීවත් වන්නෙමු.
තොරතුරු සැපයීම, සුහදතාව වර්ධනය කිරීම, පොලඹවා ගැනීම, ආස්වාදය ලබාදීම හා නීතිය, යුක්තිය හා සාධාරණය වැනි සමාජ ධර්ම වටහාදීම වැනි පරමාර්ථ සඳහා සංනිවේදනය යොදා ගන්නා බව පෙනන සත්යකි.
මෙයින් වසර දෙදහස් හය සියයකට පෙර බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරගත් ධර්මය ලොවට දෙසූහ. තම ශ්රාවකයන් වහන්සේ ලවා දේශනා දේශනා කරවන්නටද කටයුතු කරවූහ.
ධර්ම සංනිවේදනය යනුවෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ තම ශ්රාවක පිරිස අතරට ගෙනගිය පණිවිඩය අප විසින් ජනතාව අතරට ගෙන යාම යන අදහසයි.
උන්වහන්සේගේ බලාපොරොත්තුව පැහැදිලිව දැනගත හැකි එකම මග ත්රිපිටක දේශනාවයි.
“යම් කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙකු හෝ උපාසිකාවක හෝ ධර්මය දේශනා කරයි ද, එය බුදුරදුන් විසින් දේශනා කරන ලද, ප්රකාශ කරන ලද ධර්මයක්ම වේ.
ත්රිපිටකය මැනවින් අධ්යයනය කොට ඒ අයුරින් ධර්මය අන් අයට දේශනා කිරීම, ප්රකාශ කිරීම එම රාජකීය ලේඛනය කියවා එහි නිර්දිෂ්ටදේ ක්රියාවේ යෙදවීම සංනිවෙදන කාර්යේ අරමුණු වේ.
අංගුත්තර නිකාය අටුවාව වන මනෝරථ පූර්ණියේ එන යථෝක්ත ප්රකාශනයට අනුව ධර්ම සංනිවේදනයේ යෙදීමට ගිහි පැවිදි ස්ත්රී පුරුෂ කිසිවෙකුටත් බාධාවක් නැත. ඒ හැම දෙනාම ප්රකාශ කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ අදහසයි.
අද ජීවත් වෙන අපට බුදුරදුන්ගේ අදහස වටහා ගැනීමට ඇති එකම මග ත්රිපිටකයයි. ත්රිපිටකය පාලියෙන් ලිය වී ඇති බැවින් පාලි භාෂාව නොදන්නා අයෙකුට ධර්මය නිසිලෙස වටහා ගැනීම උගහටය. පාලි භාෂාව පිළිබඳ අවබෝධය පමණක් තිබුණද ධර්මය නිවැරැදිව වටහා ගැනීම ද නොකළ හැක. ඒ ඇතැම් ධර්ම කරුණු තුලින් මතු පිටින් පෙනෙන වාච්යර්ථයට වඩා වෙනස් වූ අර්ථ ප්රකට කෙරෙන නිසයි.
ඇතැම්විට වරක් දෙකක් කියවා වුවද නිවැරදි අර්ථය වටහා ගැනීමට අපහසු වන අවස්ථා ද තිබේ.
බුදුරදුන් ජීවමාන සමයේ භික්ෂූන් වහන්සේ ද සැබෑ ධර්ම කථිකයා සොයා ගැනීමේ ගැටලුවට මුහුණ පා ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් විමසූහ. උන්වහන්සේගේ පිළිතුරු වූයේ ඇස කන නාසය දිව ශරීරය යන ඉඳුරන්ගේ කළ කිරීම පිණිස, නො ඇලීම පිණිස, නිරෝධය පිණිස දහම් දෙසන්නේ ද, තෙමේ ධම්ම කථික යැයි කීමට සුදුසු බවයි. ධර්ම සංනිවේදනයේ යෙදෙන්නන්ට මෙයින් දෙන උපදේශය නම් තම තමන්ගේ අදහස් ප්රකාශ කිරීමෙන් වැළකී බුදුරජාණන් වහන්සේගේ අධ්යාශයම ඉදිරිපත් කළ යුතු බවයි.
ධර්ම ශ්රවණය කිරීමෙන් ලද හැකි ප්රයෝජන අතර පාරිසුද්ධ බව ලැබීම, සෝක පරිදේවයන්ගේ දුරලීම, දුක් දොම්නස් සමනය කිරීම හා නිවන අවබෝධ කරගැනීම ද වෙයි.
ඇතැම් සූත්රයන්හි දැක්වෙන පරිදි නුවණැති බව ඇතිකරවීමත්, කෙලෙස් සංසිඳවීමත් සත්ය අවබෝධ කර ගැනීමටත්, තමන් හා අවට ලෝකය පිළිබඳව යථාවබෝධය ලබාදීමත් ධර්මය තුලින් ලඟා කර ගත හැකි ප්රතිලාභ බවයි.
ධර්ම සංනිවේදනයේදී ශ්රාවකයාට උක්ත ආකාරයෙන් ප්රතිලාභ හිමි වන අයුරින් ධර්මය දෙසිය යුතුය. මහින්දාගමනයෙන් පසුව ඇරඹුණු ධර්ම සංනිවේදන ක්රියාවලිය ථෙරවාදි සම්ප්රදාය ගරු කරමින් වසර දහස් ගණනක කාලය තුළ පවත්වා ගෙන එන ලද්දේ ථෙරවාදී භික්ෂූන් වහන්සේ විසිනි.
එබැවින් වඩාත් නිවැරදි හා ඵලදායි ධර්ම සංන්නිවේදන ක්රමවේදයකට අපි උරුමකම් ඇත්තෝ ලෙස සඳහන් කරමු.
සාර්ථක ධර්මදේශකයෙකුට ධර්මාර්ථයන් පිළිබඳ නිශ්චිත හා නිරවුල් අවබෝධයක් තිබිය යුතුය. අවශ්ය විටෙකපෙළ දහම කොටස් ගෙනහැර දක්වමින්, ධර්මාර්ථ පැහැදිලි කරමින්, මුල මැද හා අග පරස්පර නොවන අයුරින් සම්බන්ධ කොට දේශනා කිරීමට නම් එය අවශ්යම වනු ඇත.
අත්ථ කුසලෙන, ධම්ම කුසලෙන යනුවෙන් එය දේශනාවේ දැක්වෙයි. තමන්ට ලැබෙන කාලය පිළිබඳව සැළකිලිමත් වෙමින්, කාලයට උචිත ආකාරයට දේශනය සූදානම් කර ගෙන ඉදිරිපත් කිරීම වැදගත්වේ. පිරිසෙහි ස්වභාවය ද ප්රමාණය ද ඔවුන්ගේ සිරිත් විරිත් ආදිය පිළිබඳව දේශකයන් වහන්සේට ඇති අවබෝධය ද අවශ්යයෙන්ම තිබිය යුතු ලක්ෂණයකි.
බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කිරීමේදී ශ්රාවකයාට සරණසිල්හි පිහිටීමට ඇති හැකියාව පැවිද්ද හා ධර්මාවබෝධයට ඇති හැකියාව පිළිබඳ නුවණින් විමසා බලා දහම් දෙසූ නිසා ඉහළ ප්රතිඵල ළඟා කරගත හැකිව රිසි දේ රිසි ලෙස දීමට හැකි විය.
අකුරු, පද, වැකි ගිලිහෙන්නට ඉඩ නොදීමත්, පෙර පසු සබදතා කඩ නොවන ලෙස ඉදිරිපත් කිරීමත් අක්ෂර උච්ඡාරණයේදි නිවැරදි වීමත් අකුරු ගිලිහෙන්න නොදීමත් “ඛ්යංජනානි අවීනාසෙත්වා” යනුවෙන් දක්වා තිබීමෙන් පැහැදිලිය.
දහම් කරුණු පැහැදිලි කිරීමේදී හා විස්තර කර දීමේදී ගාථා, කවි, කතන්දර ,පාලි පාඨ උපමා කථා, ආදිය යොදා ගැනීමෙන් තම දේශනය අලංකාර කරගත හැක.
එසේම ඉදිරිපත් කෙරෙන කතා ආදිය අනවශ්ය ලෙස දික් කිරීමට හෝ කෙටි කිරීමට යාමෙන් ධර්ම දේශනාවේ ගුණාත්මක බවට හානි පැමිණිය හැක. අක්ෂර පද, වැකි ආදියෙහි උච්ඡාරණයේදී දෝෂ සහිත බවද දුර්වලතාවයකි. අකුරු අඩුවෙන් කීම, අල්පප්රාණ අකුරු අල්පප්රාණ ලෙස උච්චාරණය නොවීම, මහප්රාණ අකුරු ද එලෙසින් උච්චාරණය නොවීමත්, අකුරුවල විවෘත හා සංවෘත බව හැඳින නොගෙන උච්චාරණයේ යෙදීමත් නිසා, ඇතිවන දෝෂ ද කීපයකි.
මාතෘකාවට අදාල බව, අන්තර්ගත කරුණුවල නිරවද්ය බව, කාලානුරූප බව, කාලයට පිරිසට හා අවස්ථාවට ගැලපීම ද සාර්ථක දේශනයක ලක්ෂණ කීපයකි. පුනරුක්ත දෝෂ ඇති නොවන ලෙස ඉදිරිපත් කිරීමත් බාහිර වශයෙන් ගෙනහැර දක්වන කරුණු අනවශ්ය ලෙස විස්තර නොකිරීමත්, තුලින්, ධර්ම දේශනයක ප්රසස්ථ බව ආරක්ෂා කරගත හැක.
මුල මැද හා අග යන අවස්ථා තුනේදීම දේශනයේ උසස් බව සුරැකිය යුතුය. විශේෂයෙන් මාධ්යයකින් ධර්ම දේශනා පැවැත්වීමේදී වඩාත් සැලකිළිමත් විය යුතු වන්නේ, ලක්ෂ සංඛ්යාත පිරිසක් අතරට එකවර මෙම පණිවිඩය ගමන් කරන බැවිනි.
සංනිවේදකයාගේ පණිවිඩය ග්රහණය කර ගැනීම ඍජු සංනිවේදනයයි. ඇතැමුන් සංනිවේකයාගේ ඇඳුම් පැලඳුම් කොණ්ඩා මෝස්තර හා පසුතලයේ ඇති දෑ ආදිය ග්රහණය කරගනිති.
එය චක්ර සංනිවේදනයයි.
ධර්ම සංනිවේදනයේදී රූප මාධ්ය භාවිතයේදි ශ්රමණ ආකල්ප නිවැරදි ලෙස පවත්වා ගැනීම, ඉරියව් මනාව හැසිරවීම පිළිබඳවද සැලකීම කාලය හා පිරිස පිළිබඳව මනා අවබෝධයක් ඇතිව අවස්ථාවට උචිත වන ආකාරයෙන් ධර්ම දේශනය පැවැත්වීම දේශකයන් වහන්සේගේ වගකීමක් වන අතර ශ්රමණ සාරුප්යයට උචිත වන ආකාරයෙන් පෙනී සිටීම රූප මාධ්යයකදී අවශ්යම වේ.
පේ‍්‍රක්‍ෂකයාගේ සිත් ඇද බැඳ තබා ගැනීමටත් ඔවුන්ගේ අත්දැකීම් පදනම් කරගෙන ඒ තුළින් ගැඹුරු ධර්ම කරුණු විෂයෙහි ඔවුන්ව යොමු කිරීමටත් සිය දේශනය යොදා ගැනීම සාරවත් දේශකයකුගේ ලක්ෂණයකි.
නූතන සමාජය බහුලව මාධ්යයය භාවිතයට ගනු ලබන බැවින් ධර්ම සංනිවේදනයේදි ස්වකීය මත ඉදිරිපත් කිරීමෙන් බැහැරව බුදුරජාණන් වහන්සේගේ අදහසම ජනතාව වෙතට ගෙන යෑම මාධ්ය භාවිතා කරන්නන්ගේ මූලික වගකීමක්ද වනු ඇත.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood