–මාධ්‍ය නිවේදනය–
හෙයියන්තුඩුව (2026 සැප්තැම්බර් 13) — “දහම් නැණින් හික්මුණු දරුවෙක්; සාමකාමී, සදාචාර සම්පන්න හෙට දවසක්” යන උතුම් තේමාව පෙරදැරි කරගනිමින්, ‘සදහම් පාලම’ (Dhamma Bridge) ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ‘දම්සක් දරුවෝ’ වැඩසටහන අද දින හෙයියන්තුඩුවේ පිහිටි පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙම උත්සවයේ විශේෂිතම අවස්ථාව වූයේ පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය විසින් සම්පාදිත ‘දම්සක් පැවතුම් සූත්‍රය’ මංගල පුස්තකය එළිදැක්වීමයි. මෙම කෘතිය දිවයින පුරා සිටින දම්සක් දරුවන් ලක්ෂයක් (100,000) වෙත පිරිනමමින්, බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවේ පරම සත්‍යය බාල පරපුර වෙත සමීප කරවන දීපව්‍යාප්ත සදහම් යාත්‍රාවක් දියත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
ලොව ප්‍රථම හා එකම පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය වශයෙන්, බෞද්ධ ශිෂ්ටාචාරයේ පාලි (ථේරවාද) සහ සංස්කෘත නාලන්දා සම්ප්‍රදායන් දෙක අතර පාලමක් තනමින් දරුවන් තුළ සදාචාරාත්මක හා ආත්මීය වටිනාකම් ගොඩනැගීමට මෙම ‘දම්සක් දරුවෝ’ වැඩසටහන මගින් සිදු වේ.
සම්භාවනීය අමුත්තන් සහ දේශන
මෙම ඓතිහාසික අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් අතිගරු ශ්‍රී මෛත්‍රී කුල්කර්ණී මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, එතුමාගේ පැමිණීම දෙරට අතර පවතින සිරස්තාර සංස්කෘතික හා රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය තවදුරටත් පිළිබිඹු කළේය. එසේම, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අශෝක සපුමල් රංවල මැතිතුමා, බියගම සහ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
- ආගමික වතාවත් සහ පිළිගැනීම: ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් වැඩසටහන ආරම්භ වූ අතර, මධ්‍යස්ථානයේ ආගමික, සංස්කෘතික හා සමාජ කටයුතු අධ්‍යක්ෂ පූජ්‍ය බලංගොඩ සීලරතන ස්වාමීන් වහන්සේ විසින් මහා සංඝරත්නය ඇතුළු සම්භාවනීය පිරිස පිළිගනිමින් වැඩසටහනේ අරමුණු පැහැදිලි කරන ලදි.
- දෙශනය: ජාත්‍යන්තර බෞද්ධ මහා සමිති සම්මේලනයේ (IBC) නියෝජ්‍ය මහ ලේකම් සහ පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මැතිතුමා “The Importance of Pali & Sanskrit Cultural Education” යන තේමාව යටතේ අර්ථපූර්ණ දේශනයකි සිදු කළේය. එහිදී, පාලි භාෂාව ‘ශ්‍රේෂ්ඨ සම්භාව්‍ය භාෂාවක් (Classical Language)’ ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ඉන්දීය රජයට සිය හදපිරි ස්තූතිය පිරිනැමීමට ද ආචාර්ය පොරගේ මහතා අමතක නොකළේය.
- ප්‍රධාන ආරාධිත දේශනය: සිය අදහස් දැක්වීමේදී ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ශ්‍රී මෛත්‍රී කුල්කර්ණී මැතිතුමා සඳහන් කළේ ඉන්ඉදීය අගමැතිතුමන්ට අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යනු ‘ශිෂ්ටාචාරමය නිවුන් සහෝදරයන් (Civilizational Twins)’ වන බවයි. මහින්දාගමනයෙන් ආරම්භ වූ දහම් සබඳතාව සිහිපත් කළ එතුමා, භෞතිකව ගොඩනඟන පාලම් දහස් ගණනකට වඩා මෙවැනි ‘සදහම් පාලමක්’ (Dhamma Bridge) දෙරට අතර ශක්තිමත් පදනමක් තබන බව ප්‍රකාශ කළේය.
- විශේෂ ආරාධිත දේශනය: ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අශෝක සපුමල් රංවල මැතිතුමා අදහස් දක්වමින්, ඉන්දියාව අපගේ සමීපතම කල්‍යාණ මිතුරා බවත්, මෙම ‘සදහම් පාලම’ මගින් දෙරටේ සබඳතා මෙන්ම ප්‍රදේශයේ ගම්මාන ද පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය සමග සමීපව යා කෙරෙන බවත් පැවසීය.
වැඩසටහනේ විශේෂ අංග
- සූත්‍ර සජ්ඣායනාව: ගෞරවනීය මහා සංඝරත්නය සහ දම්සක් දරුවෝ එක්ව සංගායනා කළ ‘ධම්මචක්කප්පවත්තන සූත්‍ර’ ශබ්ද පූජාවෙන් වැඩමුළුව ආරම්භ විය.
- තරුණ දහම් සාකච්ඡාව: මධ්‍යස්ථානයේ ලේඛකාධිකාරී ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය විසින් දූ දරුවන් වෙනුවෙන් විශේෂ දහම් අධ්‍යාපනික සාකච්ඡාවක් මෙහෙයවූ අතර, ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අන්තර්ගතය නූතන තාරුණ්‍යයේ ජීවිතයට ගළපාගන්නා ආකාරය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි.
- මංගල පුස්තක පිළිගැන්වීම: එළිදක්වන ලද ‘දම්සක් පැවතුම් සූත්‍රය’ මංගල කෘතියේ ප්‍රථම පිටපත, මධ්‍යස්ථානයේ ලේඛකාධිකාරී ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය විසින් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ශ්‍රී මෛත්‍රී කුල්කර්ණී මැතිතුමා වෙත ගෞරවපූර්වකව පිළිගන්වන ලදි.
- සහතික පත්‍ර ප්‍රදානය: වැඩසටහනට සහභාගී වූ දම්සක් දරුවන් වෙත සහතික පත්‍ර ප්‍රදානය සම්භාවනීය අමුත්තන්ගේ සුරතින් සිදු කෙරිණි.
‘දම්සක් දරුවෝ’ වැඩසටහන අනාගත පරපුර උදෙසා අඛණ්ඩව ක්‍රියාත්මක වන සදහම් පාලමක් ලෙස දිවයින පුරා ව්‍යාප්ත කිරීම පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ අවංක අපේක්ෂාවයි.
මාධ්‍ය අංශය
පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය
හෙයියන්තුඩුව,
ශ්‍රී ලංකාව







