1956 ඔක්තෝබර් 14 – 2026 ඔක්තෝබර් 14
ධර්මයේ ආලෝකය අනාගත පරපුරට දායාද කිරීමේ අපේ වගකීම
………………………………..
ඓතිහාසික බෞද්ධ පුනරුදයක 70 සංවත්සරය
භාරත දේශයේ විප්ලවීය සමාජ පරිවර්තනයක් මෙන්ම බෞද්ධ පුනරුදයක් සනිටුහන් කළ දිනයක් ලෙස 1956 ඔක්තෝබර් 14 වැනිදා සුවිශේෂි වේ. එදින ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කාර්තුමා සිය අනුගාමිකයන් ලක්ෂසංඛ්යාත පිරිසක් සමඟ ඉන්දියාවේ නාග්පූර්හිදී බුදුදහම වැළඳගත්තේ ය. මෙම ඓතිහාසික සිදුවීම අදටත් ඉන්දියාවේ ධම්මචක්ක පවත්තන දිනය ලෙස සිහිපත් කෙරේ.
1891 අප්රේල් 14 වැනිදා උපත ලැබූ අම්බෙඩ්කාර්තුමා නීතිවේදියකු, ආර්ථික විද්යාඥයකු, දේශපාලන නායකයකු සහ සමාජ ප්රතිසංස්කරණවාදියකු ලෙස ඉන්දියානු සමාජයට විශාල මෙහෙවරක් ඉටු කළ යුග නිර්මාණකරුවෙකි. කුල පීඩනය, සමාජ අසමානතාව සහ මානව ගෞරවය අහිමි කරන සමාජ සම්ප්රදායන්ට එරෙහිව ඔහු දිගුකාලීන අරගලයක නිරත වෙමින් මිනිසුන්ගේ මානුෂීයභාවයේ වටිනාකම් සුරැකීම උදෙසා කැපවිය.
සිය අධ්යයනයන් හා දාර්ශනික විමර්ශනයන් ඔස්සේ බුදුදහම කෙරෙහි නැඹුරු වූ අම්බෙඩ්කාර්තුමා, ප්රඥාව, කරුණාව, සමානාත්මතාව සහ මානව ගෞරවය පදනම් කරගත් ජීවන දර්ශනයක් ලෙස බුදුදහම දුටුවේ ය. ඔහුගේ බෞද්ධාගමට පිවිසීම හුදෙක් ආගමික වෙනසක් පමණක් නොව, සමාජ පීඩනයට එරෙහිව නිදහස, සමානාත්මතාව සහ නව ජීවන දැක්මක් ප්රකාශ කළ ඓතිහාසික පරිවර්තනයක් ද විය.
අද වන විට එම ඓතිහාසික බෞද්ධ පුනරුදයට හැත්තෑවසරක් සපිරේ. එය අතීතය සිහිපත් කිරීමේ අවස්ථාවක් පමණක් නොව, බුදුදහමේ හරය වර්තමාන සමාජය තුළ ජීවමාන කරමින් අනාගත පරපුරට දායාද කිරීමේ අපගේ වගකීම නැවත සිහිපත් කරවන අවස්ථාවකි. අම්බෙඩ්කාර්තුමාගේ බෞද්ධ දර්ශනය තුළින් අපට ගත හැකි වැදගත්ම සුභාශිර්වාදය වන්නේ ධර්මය හුදෙක් ඇදහීමකට සීමා නොකර ජීවිතයේ සැබෑ යථාර්ථය අවබෝධ කරගැනීමටත්, සමාජයට තමා විසින් සිදුකළ යුතු මානවීය යුතුකම් ඉටු කිරීමටත් යොදාගත යුතු බවයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම්මචක්කප්පවත්තන සූත්රය තුළින් මධ්යම ප්රතිපදාව, චතුරාර්ය සත්යය සහ දුකින් නිදහස් වීමේ මාර්ගය පැහැදිලි කරනු ලැබේ. මෙම ඉගැන්වීම් පුද්ගලයාගේ සිත සංවර කරගැනීමට, දුකේ ස්වභාවය අවබෝධ කරගැනීමට සහ ප්රඥාවෙන් යුතුව ජීවිතයට මුහුණ දීමට මඟ පෙන්වයි.
මෛත්රිය, කරුණාව, අහිංසාව සහ සීලය ජීවිතයට එක්කරගැනීමෙන් පුද්ගලයාට පමණක් නොව සමස්ත සමාජයට ද යහපතක් සැලසිය හැකිය. එබැවින් අම්බෙඩ්කාර්තුමාගේ බෞද්ධ පුනරුදය සිහිපත් කරන මෙම අවස්ථාවේදී අප විමසා බැලිය යුත්තේ බුදුදහම පිළිබඳව අප දන්නා ප්රමාණය පමණක් නොව, එම ඉගැන්වීම් අපගේ ජීවිත තුළ කොතරම් දුරට ප්රායෝගික අවබෝධයෙන් ක්රියාත්මක කරන්නේ ද යන්නයි.
බුදු සසුනේ චිරස්ථිතිය රඳා පවතින්නේ පූජනීය ස්ථාන ආරක්ෂා කිරීමෙන් පමණක් නොවේ. ධර්මයේ නිවැරදි අවබෝධය, ශාස්ත්රීය උරුමය සහ බෞද්ධ ආචාරධර්ම අනාගත පරපුරට දායාද කිරීම ද ඒ සඳහා අත්යවශ්ය වේ.
බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ධර්ම දැනුම අනාගත පරපුරට දායාද කිරීම මෙන්ම පාලි භාෂාව පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම ද වැදගත් වේ. මේ සඳහා පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්යස්ථානය මඟින් ක්රියාත්මක කරනු ලබන ‘දම්සක් දරුවෝ’ ව්යාපෘතිය විශේෂයෙන් සඳහන් කළ හැකිය. ධම්මචක්කප්පවත්තන සූත්රය සරල සිංහල අර්ථය සමඟ දරුවන්ට හඳුන්වා දීම තුළින් ධර්මයේ මූලික ඉගැන්වීම් අවබෝධ කරගැනීමටත්, පාලි පාඨ පිළිබඳ උනන්දුව වර්ධනය කරගැනීමටත් අවස්ථාව සැලසේ. එමඟින් පාලි භාෂාව ප්රවර්ධනය කිරීමටත්, බෞද්ධ ශාස්ත්රීය උරුමය අනාගත පරපුරට දායාද කිරීමටත් දායකත්වයක් ලැබේ. මේ උත්සාහය අම්බෙඩ්කාර් තුමන් දුටු බෞද්ධ දර්ශනයේ ප්රායෝගික සුරක්ෂිතභාවය ලක්දීපය තුළ රෝපණය කිරීමයි.
අම්බෙඩ්කාර්තුමාගේ බෞද්ධ පුනරුදය අපට සිහිපත් කරන්නේ බුදුදහම පුද්ගලයාගේ අභ්යන්තර පරිවර්තනයට මෙන්ම සමාජයේ යහපත් වෙනසට ද මඟ පෙන්විය හැකි විශ්වීය දර්ශනයක් බවයි. එහි සැබෑ වටිනාකම ප්රකාශ වන්නේ ධර්මය දැනගැනීමෙන් පමණක් නොව, එය අවබෝධ කරගෙන ජීවිතාවබෝධයෙන් යුතුව ජීවත්වීමෙනි.
එබැවින් මෙම 70 වැනි සංවත්සරය අතීතය අගය කරන දිනයක් බවට පමණක් සීමා නොකරමු. ධර්මය අධ්යයනය කිරීමටත්, එහි වටිනාකම් ප්රායෝගිකව ක්රියාත්මක කිරීමටත්, බෞද්ධ ශාස්ත්රීය උරුමය අනාගත පරපුරට දායාද කිරීමටත් අධිෂ්ඨාන කරගනිමු.
සසුන සුරකිමු. ධර්මය අවබෝධ කරගනිමු. ධර්මාලෝකය අනාගත පරපුරට දායාද කරමු.