Temples of Sri Lanka

ධාතු මනසිකාර භාවනාව පුරුදු කරන හිතේ සුවපත් බව දකිමු

ධාතු මනසිකාරය කියා කියන්නේ ජීවිතය බොහොම වේගයෙන් අවබෝධය කරා ගෙනියන භාවනාවක්. ධාතු මනසිකාරය තුළ පඨවි ධාතුව, ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව කියන සතර මහා ධාතූන් පිළිබඳ ව නුවණින් විමසනවා.

මේ ශරීරයේ ඇති තද ස්වභාවයෙන් යුක්ත පොළොවට පස් වී යන ස්වභාවයට අයිති දේ පඨවි ධාතුවයි.

වැගිරෙන ස්වභාවයෙන් යුක්ත ජලයේ දියවී යන දේ ආපෝ ධාතුවයි.

උණුසුම් ස්වභාවයට අයිති දේ තේජෝ ධාතුවයි. හමා යන ස්වභාවයෙන් යුක්ත දේ වායෝ ධාතුවයි. පඨවි ධාතුවට අයත් කෙස්, ලොම්, නියපොතු ආදි කොටස් විස්සක් අපගේ ශරීරයේ ඇති බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා. ඒ වගේ ම පිත, සෙම, සැරව ආදි ආපෝ ධාතුවට අයත් කොටස් දොළහක් මේ ශරීරයේ තියෙනවා.

එමෙන් ම ආහාර දිරවන උණුසුම ආදි කොටස් හතරක් ද පවතිනවා. ආශ්වාස – ප‍්‍රශ්වාස ආදි වායෝ ධාතුවට අයත් කොටස් හයක් ශරීරය තුළ පවතිනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරය සතර මහා ධාතූන්ට අයත් මේ සියලූ කොටස් ගැන නුවණින් විමසීම ධාතු මනසිකාර භාවනාව යි.

මෙහි දී පඨවි ධාතුව ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළේ, පොළොව හා සම කොට දකින්න කියා යි. එනම්, පොළොවට පස් වී යන ස්වභාවයෙන් යුක්තයි කියා නුවණින් විමසිය යුතුයි. ආපෝ ධාතුව ජලය හා සම කොටත්, තේජෝ ධාතුව ගින්න හා සම කොටත් වායෝ ධාතුව සුළඟ හා සම කොටත් නුවණින් දකින්න යැයි වදාළා.

මේ සෑම දේකින් ම බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ අප ඇලෙන ගැටෙන මුළාවෙන ස්වභාවයෙන් මුදවා, ජීවිත අවබෝධයක් ලබා දීම යි.

ධාතු මනසිකාර භාවනාවේ දී බුදුරජාණන් වහන්සේ අවබෝධය පිණිස උපමාවකුත් වදාළා.

එනම් ගව ඝාතකයෙක් ගවයෙකු මරා හතරමං හන්දියක විකුණනවා. එතකොට ඔහු තුළ ‘මස් විකුණනවා’ යන අදහස මිසක් ‘ගවයා විකුණනවා’ කියා අදහසක් නෑ. මස් ගන්න මිනිස්සු තුළත් ‘ගවයෙක් ගන්නවා’ කියන අදහසක් නෑ. ‘ගවයා’ කියන සම්මුතිය ඉක්මවා ගිහින් ‘මස්’ කියන ව්‍යවහාරය ඉස්මතු වෙලා. මෙන්න මේ විදිහට ධාතු මනසිකාරය වැඞීමේ දී ශරීරය කියන සම්මුතිය ඉක්මවා ගිහිල්ලා පඨවි, ආපේ, තේජෝ, වායෝ, කියන ධාතු හතරට බෙදා බලමින් අවබෝධය ඇතිවෙන ආකාරයට නුවණින් විමසන්නට ඕනි.

මේ ධාතු මනසිකාර භාවනාව තුළින් නිෂ්කාමී සන්සිඳුන සිතක් ඇතිකර ගන්නට පුළුවනි. චිත්ත සමාධිය උපදවාගෙන විදර්ශනා වඩා ධර්මාවබෝධය ලබන්නටත් පුළුවනි. එම නිසා අපි කවුරුත් පහත සඳහන් ආකාරයට මේ භාවනාව පුරුදු කර ගන්නට උත්සාහ ගනිමු. තුළින් ඉවසීම කරුණා මෛති‍්‍රය ආදි උතුම් ගුණධර්මවල වේගවත් දියුණුවක් ලබන්නට ඔබටත් පුළුවන්.

අවධානය හොඳින්ම යොමු කරන්න තමන්ගේ ශරීරය ගැන. මේ ශරීරයේ ඔළුවේ තියෙන්නේ කෙස්. මේ කෙස් ඔක්කොම ගස්වල කොළ වගේ. ඉදුණාම ගැලවෙනවා. ඉදිලා තිබිල වැටිලා යනවා. ඉතින් මේ කෙස් ටික ඔක්කොම ගැලවුණොත් පොළොවට වැටෙනවා. අපි කියමු මේ කෙස් ඔක්කොම ගැලවිලා තමන්ගේ අතට ආවා කියල. අපි ළඟ තියාගන්නෙ නෑ. වීසි කරනවා. විසි කළාට පස්සේ ඒ කෙස් පොළොවට වැටිලා පොළොවේ ම පරණ වෙලා ගිහිල්ලා දිරලා, දිරලා ගිහිල්ල පස්වෙනවා. එහෙම නම් කෙස් කිව්වෙ පස්වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. පඨවි ධාතුව.

ලොම්, මේ ශරීරයේ තියෙන ලොම් කෙස් වගේ ම තමයි. ඉදිලා ගැලවිලා යනවා. ලොම් ඔක්කොම ගැලවිලා ගිහිල්ලා පොළොවට වැටුනට පස්සේ ඒ වැටිච්ච ලොම් අර ගස්වල කොළ වැටිලා පොළොවට එහෙම්ම ම එකතු වෙලා දිරල යනව වගේ පොළොවත් එක්ක එකතු වෙලා දිරලා, දිරලා පස්වෙලා යනවා.

ඊ ළඟට මේ ශරීරයේ තියෙන නියපොතු දිගට වැවෙද්දී, වැවෙද්දී කැපුවා. වීසි කළා. පොළොවට වැටිච්ච වැටිච්ච තැන්වල පස් වෙලා ගියා දන්නෙ ම නැතුව. ඒ වගේ මේ ඇඟිලිවල තියෙන නියපොතු ඔක්කොම පොළොවට පස් වෙලා නැත්තට ම නැතිවෙලා යනවා.

ඊ ළඟට දත්, දත් කියන්නේ පොළොවට පස් වෙලා යන දෙයක්. මේ කට ඇතුළේ තියෙද්දිම මේ දත් දිරනව . මේ දත් කුණු වෙනවා. දත් දිරලා ගිහින් ගිහින් කුඩුවෙලා යනවා. දත් ගැලවුණාට පස්සේ, ඒවා පොළොවට වැටුනට පස්සේ ඔක්කොම පස්වෙලා යනවා. කී කෝටියකගේ දත් මේ පොළොවේ පස් බවට පත් වුණා ද? දත් කියලා කියන්නේ පස්වෙලා යන ස්වභාවයට අයිති එකක්.

මේ සම. සමත් එහෙමයි. මේ සම සීරෙනවා, තුවාල හැදෙනවා, හොරි හැදෙනවා, දද හැදෙනවා, මේ වයසට යන්න යන්න මේ හම ඇකිලෙනවා. පතුරු යනවා. මේ හම කවදාහරි පොළොවට වැටුනට පස්සේ පස් එක්ක එකතු වෙලා පස් බවට පත් වෙලා අවසන් වෙලා යනවා.

ඊ ළඟට නහර වැල්. නහර වැලූත් එහෙමයි. දැන් මේ නහර වැල් තිබ්බට මේවා ඔක්කොම කුණු වෙලා ගිහිල්ලා පොළොවට පස් වෙලා නැත්තට ම නැතිවෙලා යන ජාතියක්.
ඊ ළඟට මේ ශරීරයේ තියෙන ඇට. අපි හැම එක්කෙනෙක් ළඟ ම මේ ඇට සැකිල්ලක් තියෙනවා. මේ වගේ ඇට සැකිලි කී කෝටියක් අපට තියෙන්න ඇද්ද? ඉපදිච්ච ඉපදිච්ච ජීවිතේ දී මේ ජාතියෙ ඇට සැකිලි අපි මගේ කියල හිතාගෙන හිටියනේ. මේ ජීවිතේදීත් ඔන්න අපිට හම්බවෙලා ඇයෙමත් ඇට සැකිල්ලක්. මේ ඔළුවෙ අස්සෙ හිස් කබල, බෙල්ල අස්සෙ බෙල්ලෙ ඇට, උරහිස් ඇට, අත් අස්සෙ අත් ඇට, වැල මිට, මැණික් කටු තියෙනවා. අල්ලෙ ඇට, ඇඟිලිවල ඇට, පපුව අස්සෙ ඉල ඇට, පිට කොන්දෙ කොඳු ඇට, උකුල් ඇට, කළවා ඇට, දණිස් ඇට, කෙණ්ඩා ඇට, කොච්චර නම් ඇට තොගයක් ද මේ ශරීරයේ තියෙන්නේ. මේ ඇට ඔක්කොම යම් දවසක දිරලා ගිහිල්ලා, පොළොවට වැටිලා, පොළොවේ දිරල දිරල ගිහිල්ල සම්පූර්ණයෙන් ම පස්වෙලා නො පෙනී යන දවසක් එනවනේ.

ඊ ළඟට මේ ශරීරයේ ඇට අස්සේ තියෙනවා මස්. ඒවාට කියන්නේ ඇට ලොඳ, ඇට මිදුලූ කියලා. ඇටත් එක්කල ඒවා ඔක්කොම දිරලා දිරලා ගිහිල්ලා පස්වෙලා යනවා.
ඊ ළඟට මේ ශරීරයේ තියෙන වකුගඩු නරක් වෙලා පොළොවට වැටුනට පස්සේ කුණු වෙලා ගිහින් පස්වෙලා යනවා.

හෘද මාංසය, හදවත, ඒකත් ඒ විදිහට ම කුණුවෙලා ගිහිල්ලා පස් වෙලා යනවා.

අක්මාව. පීකුදුව කියන්නේ. අන්න ඒකත් පොළොවට වැටිලා පස් වෙලා යනවා.

පෙනහලූ දෙක. හුස්ම ගන්න කොට ඒ පෙනහලූ පිම්බෙනවා. හුස්ම හෙළන කොට ඒවා ඇකිලෙනවා. අන්න ඒවා ඔක්කොම මහ පොළොවට වැටිලා කුණු වෙලා අවසන් වෙනවා.

ඊ ළඟට මේ ශරීරයේ තියෙනවා, කුඩා බඩවැලක්. ලොකු කඹයක් ගුලි කරලා ඔතලා තියෙනව වගේ. දිග බඩවැලක් තියෙනවා. එව්වා ඔක්කොම කුණු වෙලා ගිහිල්ලා පොළොවේ පස් එක්ක එකතු වෙලා ගිහිල්ල පස් බවට පත්වෙනවා.

කාපු බීපු දේවල් දිරවලා මේ ශරීරයේ අන්තිමට ඉතුරු වෙනවා අසූචි හැටියට. ඒවාත් ඔක්කොම පොළොවට පස්වෙලා යනවා.

එහෙම නම් හැම එකක ම තිබුණේ පස් වෙලා යන ස්වභාවය. පඨවි ධාතුව.

ඒ වගේ ම මේ ශරීරයේ තියෙනවා දියවෙලා යන ජාති. දියවෙලා යනවා.

මේ ශරීරයේ තියෙනවා පිත කියලා ජාතියක්. අන්න ඒවා වතුරේ දියවෙලා, නැතිවෙලා යන ජාතියක්. ආපෝ ධාතුව.

මේ ශරීරයේ තියෙනවා සෙම කියල ජාතියක්. පෙණ සහිත දියරයක්. ඒවත් වතුරේ දියවෙලා යනවා. දියවෙලා ගිහිල්ල නො පෙනී යනවා. ආපෝ ධාතුව.

මේ ශරීරයේ හැදෙනවා සැරව කියල ජාතියක්. ලේ නරක් වුණාට පස්සේ කහ පාට වතුරක්. ඒ සැරවත් වතුරේ දියවෙලා නො පෙනී යනවා. ඒසැරවත් ආපෝ ධාතුව.

මේ ශරීරයේ තියෙනවා ලේ කියලා ජාතියක්. ඒවත් වතුරේ දියවෙලා ගිහින් නො පෙනී යන ජාතියක්. ලේ. ආපෝ ධාතුව.

මේ ශරීරයේ හිස් මුදුනේ ඉඳලා යටි පතුලට යනකම් ම ගලන ජාතියක් තියෙනවා. ඒවාට කියන්නේ දහඩිය. අන්න ඒවත් දියවෙලා යනවා. වතුරේ දියවෙලා යන ජාතියක්. ආපෝ ධාතුව.

මේ දහඩියත් එක්ක ම තියෙනවා ඇලෙන ගතියක්. ඒතෙල් මන්ද නිසා. දියවෙලා යන තෙල් ගතියක්. වතුරේ දියවෙලා යනවා.

ඊ ළඟට මේ ශරීරයේ තියෙනවා කඳුළු. ඇස්වලින් ගලන ඒවාත් ඔක්කොම වතුරේ දියවෙලා යනවා. කඳුළු කියන ජාතිය.

මේ ශරීරයේ වගේ ම ගලනවා සොටු. දැන් හිටපු ගමන් සොටු ගලනවා, බිංදු බිංදු වැක්කෙරෙනවා. ඒ ගලන්නා වූ සොටු දියවෙලා යනවා.

එසේම මේ ශරීරයේ ගලනවා කෙළ. දැන් අපි කට වහගෙන ඉන්න නිසා, ගලන්නා වූ කෙළ ගිලින නිසා තමයි මේ කටින් වැක්කෙරෙන්නෙ නැත්තේ. ගලන කෙළ ගිල්ලෙ නැත්නම් මේ කටින් වැක්කෙරෙනවා. එක්කො පිහදාන්න ඕනෙ. එක්කො හෝදන්න ඕනෙ. ගලනවා කෙළ.

ඒ වගේ ම මේ ශරීරයේ තියෙනවා මුත‍්‍රා. ඒවාත් වතුරේ දියවෙලා නො පෙනී යනවා. ආපෝ ධාතු.

ආපෝ ධාතු – ශරීරයේ තියෙන දියවෙලා යන දේ අපි ඔය කිව්වෙ. එව්වා ඔක්කොම මේ ශරීරයේ තියෙනවා.

ඒ වගේ ම මේ ශරීරයේ තියෙනවා උණුසුම් දේවල්. ඒ රස්නෙ ගතියත් එක්ක තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ.

ඒවගේ ම මේ රස්නෙ වැඩි වුණා ම දාහය ඇතිවෙනවා. උණ ගන්නවා.

ඒ වගේ ම මේ අනුභව කරන දේවල්, ඒකියන්නේ කන බොන දේවල් ශරීරය ඇතුළට ගියාට පස්සේ ඇෙඟ් රස්නෙන් ඒවා තැම්බි තැම්බි ඕජාව උරා ගන්නවා. අන්න ඒක වෙන්නෙ තේජෝ ධාතුවෙන්.

ඊ ළඟට මේ ශරීරය ජීර්ණ වෙනවා. මේ ශරීරය වර්ධනය වෙලා නැසිලා යන්නත් හේතු වෙන්නේ තේජෝ ධාතුව තමයි. ශරීරය දිරවලා දිරවලා යන්නේ. ඒවා ඔක්කොම අනිත්‍ය දේවල්.

ඊ ළඟට මේ ශරීරයේ තියෙනවා හුළෙඟ් ගහගෙන යන දේවල්. උගුරට එනවා වාතය. එ්ක හුළෙඟ ගහගෙන යනවා.පසුපසින් පිටවෙනවා වාතය. ඒකත් හුළෙඟ ගහගෙන යනවා.

ඊ ළඟට හුළෙඟ ගහගෙන යන දෙයක් තමයි ආශ්වාස කරන්නේ. ඒකත් වාතය. ඊට පස්සේ පිට කරනවා. ප‍්‍රශ්වාස කරනවා නාසයෙන්. ඒත් වාතය හුළෙඟ ගහගෙන යනවා.

මේ ශරීරයේ ඇතුළෙ තියෙනවා එහා මෙහාට යන වාතය. මෙන්න මේවා වායෝ ධාතු.

ඉතින් මේ ශරීරයේ තියෙන්නේ ඔව්වනෙ. පස්වෙලා යන දේවල් පඨවි ධාතුව. දියවෙලා යන ජාති ආපෝ ධාතුව. රස්නෙ ජාති තේජෝ ධාතුව. හමාගෙන යන ජාති වායෝ ධාතු. ඔව්ව තියෙන්නෙ.

ඉතින් මේ ආකාරයේ දෙයක් මේ ශරීරයේ තියෙනවා කියල විමසලා බලන්න කිව්වා හොඳට. මස් විකුණන ළමයෙක් හරකෙක් මරලා හිට හන්දියක තියාගෙන කෑලි කෑලි විකුණනවා වගේ හොඳට බලන්න කිව්වා. අන්න එහෙම බලන කොට තමයි මේකෙ ඇත්ත පේන්නෙ. එතකොට මේ හිතේ තියෙන මේ බැඳීම මධ්‍යස්ත වෙනවා.

මේ අවබෝධය අපේ සියලුම භාවනා හා අවබෝධ ක්‍රම සඳහා ජීවිතයට අවශ්‍ය ම දායාදයන් සමීප කර ගැනීමට අවස්තාව උදා කරනු ඇත…

ඔබ සැමට තෙරුවන් සරණයි..

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X