Temples of Sri Lanka

ජීවන ගමනේ ඇයි මේ වෙහෙසක්

මෙනෙහි කළ යුතු යහපත් හොඳ සිතිවිලි අපේ හිතේ ඇතිවෙනවා වාගේම, මෙනෙහි නොකළ යුතු අයහපත් නරක සිතුවිලිත් ඇති වෙනවා.

මේ සිතිවිලි යහපත් ඒවා ද, අයහපත් ඒවාදැයි හඳුනා ගත හැක්කේ සිතේ ඇතිවෙන, නැති වෙන සිතුවිලිගැන සිහියෙන් සිටියොත් විතරයි.”
පෘථග්ජන බවෙන් මිදී ආර්ය ශ්‍රාවකයෙකු වීමට නම් අපි පළමුවෙන්ම කළ යුත්තේ මේ කෙලෙස් දහසය යටපත් කිරීමයි.

ඊළඟට නැති කිරීම හා ප්‍රහීන කිරීමයි. අවසානයේ දී නැත්තටම නැති කිරීමයි.එය මහත් අසීරු කාර්යයක් වේවි.

ආරද්ධ විරිය හෙවත් පටන් ගන්නා ලද උත්සාහයෙන් යුතුව සතිසම්පජඤ්ඤය හෙවත් මනා සිහි බුද්ධියෙන් කටයුතු කරනව නම් ඒ අසීරු කාර්ය ඔබට කළ හැකියි. අවශ්‍ය වෙන්නේ පටන් ගැන්ම හා සිහි බුද්ධියෙන් වැඩ කිරීම විතරයි. මොකද? කෙලෙස් නැති කරන, ප්‍රහීන කරන ක්‍රමය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දී තිබෙනවා.ඒ ක්‍රම අතරෙන් වඩාත් පහසුම ක්‍රමය මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ දී දේශනා කළා. සබ්බාසව සූත්‍රයට අනුව කෙලෙස් ප්‍රහීන කිරීම සඳහා ක්‍රම හතක් තියෙනවා.

දස්සනා පහාතබ්බා – දැකීමෙන් කෙලෙස් නැති කිරීම

සංවරා පහාතබ්බා – ඉන්ද්‍රිය සංවරයෙන් කෙලෙස් නැති කිරීම

පටිසෙවනා පහාතබ්බා – අවශ්‍යතා ඇසුරු කරමින් කෙලෙස් නැති කිරීම

අධිවාසනා පහාතබ්බා – ඉවසීමෙන් කෙලෙස් නැති කිරීම

පරිවජ්ජනා පහාතබ්බා – දුරු කිරීමෙන් කෙලෙස් නැති කිරීම

විනොදනා පහාතබ්බා – බැහැර කිරීමෙන් කෙලෙස් නැති කිරීම

භාවනා පහාතබ්බා – සිත වැඩීමෙන් කෙලෙස් නැති කිරීම

අපගේ සිතේ පවතින සිතිවිලි පළමුවෙන්ම හරිහැටි හඳුනා ගත යුතුයි. තේරුම් ගත යුතුයි. මෙය තවත් සරුව පැහැදිලි කරනව නම් ඒ ඒ මොහොතේ සිතේ පවතින සිතුවිලිපිළිබඳ සිහියෙන් සිටිය යුතුයි. මොකද? අපේ සිතට මෙනෙහි කළ යුතු යහපත් හොඳ සිතිවිලිත් ඇති වෙනවා. මෙනෙහි නොකළ යුතු අයහපත් නරක සිතුවිලිත් ඇති වෙනවා. මේ සිතිවිලි යහපත් ඒවා ද, අයහපත් ඒවාදැයි හඳුනා ගත හැක්කේ සිතේ ඇතිවෙන, නැති වෙන සිතුවිලිගැන සිහියෙන් සිටියොත් විතරයි. සිතිවිලි හඳුනා ගත්තට පස්සේ කළ යුත්තේ යහපත් සිතිවිලි මෙනෙහි කිරීමයි. අයහපත් සිතිවිලි මෙනෙහි නොකිරීමයි.

සිතිවිලි හරියාකාරව හඳුනා නොගන්නා නිසා බොහෝ වෙලාවට මෙනෙහි නොකළ යුතු අයහපත් නරක සිතුවිලිනැවත නැවතත් මෙනෙහි කරනවා. මෙහිදී “දස්සනා” යනු අයහපත් නරක සිතුවිලිඅයහපත් නරක සිතිවිලි ලෙසම දැකීමයි. ඒ සිතුවිලිවල අයහපත් බව තේරුම් ගෙන වටහා ගැනීමයි. “පහාතබ්බා” යනු ඒ අයහපත් නරක සිතුවිලිමෙනෙහි නොකර සිටීමයි.

අයහපත් සිතිවිලි නැවත නැවත මෙනෙහි නොකර සිටින විට, ඒවා ඉක්මණින්ම සිතෙන් බැහැර වෙනවා. සිතේ රැඳෙන්නේ නැහැ.

දැන් ඔබට ප්‍රශ්නයක් ඇති වෙයි මොනවද අපි මෙනෙහි නොකළ යුතු සිතිවිලි කියා. එයට බුදුරජාණන් වහන්සේම ලබා දීපු උත්තරයක් තියෙනවා. “මහණෙනි, මෙනෙහි නොකළ යුතු ධර්මයෝ (සිතුවිලි) මොනවාද? මහණෙනි, යම් ධර්මයන් මෙනෙහි කරන්නා වු යමෙකුට නූපන්නා වූ කාම ආශාව උපදී ද, උපන්නා වූ කාම ආශාව වැඩි ද,නූපන්නා වූ භව ආශාව උපදී ද, උපන්නා වූ භව ආශාව වැඩි ද, නූපන්නා වූ අවිද්‍යා ආශාව උපදී ද, උපන්නා වූ අවිද්‍යා ආශාව වැඩි දමේ ධර්මයෝ මෙනෙහි නොකළ යුතුයි.

මෙම කාම, භව හා අවිද්‍යා ආශ්‍රවයන්ට වත්‍ථූපම සූත්‍රයේ දැක්වූ කෙලෙස් දහසයම ඇතුළත්. මෙම කෙලෙස් දහසය දැන, දැක හඳුනාගෙන නැවත නැවත මෙනහෙි නොකිරීම දස්සනා පහාතබ්බයයි.

මෙනෙහි කළ යුතු සිතිවිලි මෙනෙහි කළ යුතුයි. ඒ මොනවාද? “මහණෙනි, යම් ධර්මයන් මෙනෙහි කරන්නා වු යමෙකුට නූපන්නා වූ කාම ආශාව නූපදී ද, උපන්නා වූ කාම ආශාව පහ වේ ද,නූපන්නා වූ භව ආශාව නූපදී ද, උපන්නා වූ භව ආශාව පහ වේ ද, නූපන්නා වූ අවිද්‍යා ආශාව නූපදී ද, උපන්නා වූ අවිද්‍යා ආශාව පහ වේ ද මේ ධර්මයෝ මෙනෙහි කළ යුතුයි” තවදුරටත් දස්සනා පහාතබ්බය පුරුදු පුහුණු කරනව නම් කාමය, භවය හා අවිද්‍යාව පිළිබඳ ඇති ආශාව නැති වන සිතිවිලි විතරක් මෙනහෙි කිරීම ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා මෙනෙහි කළ යුතු තවත් විෂය ක්‍ෂේත්‍රයන් රාශියක් තියෙනවා. ඉන් කිහිපයක් දක්වන්නම්.

රූපය, වේදනාව, සංඥාව, පෙනීම, ඇසීම ආදියේ යථා ස්වභාවය මෙනෙහි කරන්න ඕන. උදාහරණයක් හැටියට පැහැදිලි කරනව නම්, රූපය ලෙස හඳුන්වන බාහිර ලෝකයේ තියෙන්නේ ඇත්තටම වෙනස් වන ස්වභාවයක් නේ. වෙනස්වෙනව නම් ඒවා අනිත්‍යයි නේ. අනිත්‍ය නම් දුකයි නේ. දුකයි නම් තමාගේ යැයි ගත යුත්තක් නැහැ නේ. රූපයේ ඇති මෙන්න මේ යථා ස්වභාවය මෙනෙහි කළ යුතුයි. අනෙක් ඒවා ගැනත් මේ විදියටම මෙනෙහි කළ යුතුයි.

සිත තුළ හට ගන්නා සිතිවිලිත්, ඒ හා බැඳුණු සිත් ආදියත් හඳුනාගෙන මෙනෙහි කළ යුතුයි. ඒ සිත් වහ වහා වෙනස් වන හැටිත්, නැති වෙමින් නැවත නැවත ඇති වන හැටිත් මෙනහි කළ යුතුයි. එහෙම දීර්ඝ කාලයක් මෙනෙහි කරන කොට එය නුවණින් දකින්න පුළුවන් වෙනවා. “දස්සනා” කිව්වේ ඒ තත්වයයි.

දුක් ඇති වෙන්නේ තෘෂ්ණාව නිසයි. ඇලීම් ඇති වෙන්නේ ද තෘෂ්ණාව නිසාමයි. ඇලීමක් හෝ ගැටීමක් නැත්නම් දුකක් ද නැහැ. මේ බව අප හොඳීන් තේරුම් ගත යුතුයි. නුවණින් දැකිය යුතුයි. දුකට හේතුව බාහිර ලෝකය නොව අපේම තෘෂ්ණා සහගත සිත බව හඳුනා ගත යුතුයි. තෘෂ්ණා සහගත සිත හඳුනා ගැනීම දුක්ඛ සමුදයේ දැකීමයි. එවිට දුක ඇති වෙන්නේ තෘෂ්ණාව නිසා නම්, තෘෂ්ණාව නැති කළ විට දුක ද නැති කළ හැකි බව වැටහෙනවා. ඒ වැටහීම දුක්ඛ නිරෝධයයි. දුක නැති කරන්නා තමා තුළ මනා දැක්මක් හා ක්‍රියා පිළිවෙතක් ඇති කර ගත යුතුයි. එම දැක්ම තුළින් තම දුර්වලතා වටහා ගෙන, ඒවා ක්‍රමක්‍රමයෙන් දුරු කරමින් ප්‍රබලතා ඉස්මතු කර ගත යුතුයි. ප්‍රබලතා වැඩීම තුළින් සිතේ සමාධිය ඇති කර ගන්න පුළුවන්. එයින් ඥානදර්ශනය ඇති වෙනවා. මේ මාර්ග සත්‍යයේ දැකීමයි. මේ මට්ටමට සිත සකස් වීමේ දී ශරීරය ස්ථිරයි සදාකාලිකයි යන හැඟීමඇති සක්කායදිට්ඨිය ද, බුද්ධාදී අටතැන්හි සැකය උපදවන විචිකිච්ඡාව ද, වැරදි ව්‍රත හා සීලයන්ට යොමු වන සීලබ්බතපරාමාසය ද පහව යනවා ඒකාන්තයි.

අපට ඇස, කණ, නාසය, දිව, ශරීරය හා මනස කියලා ඉන්ද්‍රියයන් හයක් තියෙනවා. මේ ඉන්ද්‍රියන්වලට කැමැති හැටියට අපි හැසිරෙන්න, ජීවත් වෙන්න පුරුදු වුවත් කෙලෙස්වලට බැඳෙනවා. කෙලෙස්වලට ඇලෙනවා. ගැලෙනවා. උදාහරණයක් හැටියට පැහැදිලි කරනව නම්, ලස්සන ලස්සන රූප පස්සේ යන්න ඇස කැමතියි. ඒ කැමැත්තට ඉඩ දීල ලස්සන රූප පස්සේ ගියොත් අප නතර වෙන්නේ බොහෝ අකුසල් රැස් කරගෙනයි. සාමාන්‍ය ජීවිතේ මහා කරදර ගොඩක පැටලිලයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඇස සංවර කර ගත යුතුයි. අනෙත් ඉන්ද්‍රියන් පහත් ඒ විදියමයි. ඒ නිසයි මේ ඉන්ද්‍රියන් හය අපි සංවර කර ගත යුත්තේ. නැතිනම් ජීවිතය පුරාම දැඩි වෙහෙසකින් හා දැවිල්ලකින් තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඉන්ද්‍රියන් හය සංවර කර ගත්ත නම් වෙහෙසක් හා දැවිල්ලක් නැති බව බුදුරජාණන් වහන්සේම දේශනා කරල තියෙනවා.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X