Temples of Sri Lanka

කය ලෙඩින්ද..? ඒත් සිත ලෙඩ කරගන්න එපා…

බක්ක නම් භේසකලා වනය නම් වූ ස්වාභාවික සෞන්දර්යයෙන් යුක්ත නිසංසල රුක් ගොමු ලිය මඬුලුවලින් සුසැදි රමණීය පියසක වැඩ වාසය කරන බුදුරදුන් හමු වීමට දිනක් නකුල පිතා නම් ඉතා වයස්ගත පුද්ගලයෙක් පැමිණියේ ය.

මොහු බොහෝ කාලයක සිට ම බුදුන් වහන්සේ ඇසුරු කරමින් බණ දහම් අසා සිත පහදවාගත් අයෙකි.

හෙතෙම දැන් තමා වයස්ගත ව සිටින බැවින් ඇවිදගැනීමටවත් නුපුළුවන් බව ද කලකින් බුදුරදුන් හමුවට නොපැමිණියේ ඒ නිසා ය යි ද පවසා, දැන් නිතොර ව ලෙඩ දුකින් පසු වන බව ද දන්වා සිටියේ ය.

එවිට බුදු රජාණන් වහන්සේ වදාරා සිටියේ කය ලෙඩ වුණත් සිත ලෙඩ නොවී තබාගැනීමට උත්සාහවත් විය යුතු බව ය. මේ උපදේශය ඇසීමෙන් ඔහු සිත අමන්දානන්දයට පත් වූයේ කලකට පසු ඇසූ බණ පදයෙන් ඇති වූ සතුට හා සහනය නිසා ය. අනතුරු ව ඔහු ඉතා සතුටින් සිනා පහළ කරමින් සැරියුත් මාහිමියන් මුණගැසීමට යුහුසුලු ව ගමන් කළේ ය.

තමන් වහන්සේ හමු වීමට එන නකුල පිතා දුටු සැරියුත් මාහිමියෝ මුව පුරා සිනා පාමින් පැමිණීමට හේතුව විමසූ හ. තමා බුදුරදුන් හමුවට ගිය බවත් එහි දී තමන් උගත් බණ පදය නිසා බොහෝ කලකට පසු අප්‍රමාණ සතුටක් ඇති වූ බවත් සැරියුත් මාහිමියන්ට පවසා සිටියේ ය. ඒ බණ පදය කුමක් දැ යි ඇසූ කල්හි ඒ අනෙකක්නො ව, ශරීරය ලෙඩ වුවත් සිත ලෙඩ නොවී තබාගන්නා ලෙස වදාළ බවත් පැවසී ය. එවිට සැරියුත් මාහිමියෝ නකුල පිතාගෙන් සිත ලෙඩ නොවී තබාගන්නා ආකාරය කියා නුදුන්නේ දැ යි ඇසූ හ.

එවැන්නක් වදාළේ නැතැ යි කියූ තැන සැරියුත් හිමියෝ ඒ පිළිබඳ ව කියා දීමට සැරසුණ හ.

තමා රෝගී ව පසු වන්නේ යැ යි දැන්වූ අයකුට වර්තමානයේ බුදු රජාණන් වහන්සේ පැවසූ ආකාරයේ උපදේශයක් දුන්නේ නම් නකුල පිතා පරිදි පී‍්‍රතියට පත් වේ දැ යි සිතා බලන්න. එවැනි අවස්ථාවක අප බලාපොරොත්තු වන්නේ පවතින රෝග පිළිබඳ සැනසිලි වදනකි. එහෙත් බුදුරදුන් පුද්ගලයන්ට නැළවිලි බස් කියා රවටන සිරිතක් නැත.

උපදෙස් කෙළින් ම වදාරා, පුද්ගලයාගේ ජීවිතයට ආලෝකයක්, යහපතක්, සැනසීමක් සැලසීම බුදුවරයකුගේ පරම නිෂ්ඨාව වන්නේ ය.

එසේ නම් කය ලෙඩ වුවත් සිත එසේ නොවී තබාගන්නා සැටි පවසන ලෙස නකුල පිතා සැරියුත් හිමියන්ගෙන් අයැද සිටියේ ය.

‘මම’ යන පුද්ගල භාවය සහිත වීම හෙවත් සක්කාය දිට්ඨීය හේතු කොට ගෙන සිත නිරන්තරයෙන් දුකට කරදරයට පත් වන බව සැරියුත් හිමියෝ වදාළහ.

මිනිස් ශරීරය ද ක්‍රියාත්මක වන්නේ ස්වාභාවික ධර්මතාව වූ හේතු විසින් හටගන්වනු ලබන න්‍යායට අනුව ය යන්න අපට නොපෙනෙන්නේ අවිද්‍යාව නිසා ය. තණ්හා, මාන, දිට්ඨි ආදි වැරදි දැක්මට හෙවත් මිථ්‍යා දෘෂ්ටියට ගොදුරු වීමෙන් අපේ වුවමනාවට ම සියලු දුක් කරදර මවාගැනීම සිදු වේ. ඒ දුක් කරදරවලට හේතුª ප්‍රත්‍ය සංස්කාර ලෙස ක්‍රියාත්මක වන දේවල් මොනවා දැ යි දැනගැනීමෙන් ම එම දුක්-කරදරවල නිරෝධය හෙවත් නැති වී යෑම සිදු වේ.

“සියලු දුක් කරදර උසුලන ‘මම’ ය යි කියාගන්නා ආත්මය නිසයි ප්‍රශ්නය උද්ගත වන්නේ” සාරිපුත්‍ර හිමියෝ නකුල පිතාට පැවසූ හ. ‘මම’ යනු රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධය යි; හෙවත් සක්කාය දිට්ඨිය යි. සක්කාය දිට්ඨිය කරන ලොකු ම මෝඩකම නම් සොබාදහමට අයත් දේ සොබා දහමට ම භාර නොදී, ‘මාගේ ය, මම ය, මගේ ආත්මය යි’ කියා උපාදාන කරගෙන (අල්ලාගෙන) මා වෙත නැති දුකක් බලහත්කාරයෙන් මා විසින් ම නිර්මාණය කරගැනීම යි.

රූපය නම් තමා ම ය, තමාගෙන් රූපය සෑදී ඇත, රූපය තුළ සිටින්නේ තමා ම ය, රූපය තිබෙන්නේ තමා තුළ ය, යන සිව් වැදෑරුම් වැරදි දෘෂ්ටියට එළඹේ. රූපය සමඟ ඉතිරි වේදනා ආදි උපාදානස්කන්ධ පිළිබඳ ව ද මෙම සිව් ආකාරයට සක්කාය දිට්ඨි ගොඩනැගෙන බැවින් විසි වැදෑරුම් ආකාරයට ක්‍රියාත්මක වේ.

හේතු ප්‍රත්‍ය ක්‍රියාදාමය පිළිබඳ ව නොදන්නාකම නිසා මවාගත් සක්කාය දිට්ඨිය හේතුවෙන් එසේ සිතන තාක් කල් සිත ලෙඩ වේ. කිසිවෙක් මරණයට කැමති නැත. මා රූපය නම්, රූපය මගේ නම්, රූපය තිබෙන්නේ මා තුළ නම්, රූපය තුළ මා සිටී නම්, මරණයට පත් නොවී ව්‍යාධියට පත් නොවී සිටීමට පුළුවන් විය යුතු ය. යමකු ලෙඩ වන විට සිත ලෙඩ වන්නේ රූපය ය යි සිතා සිටින විසි වැදෑරුම් සක්කාය දිට්ඨිය නිසා ය. අප අනන්ත අප්‍රමාණ ව දුකට පත් වී ඇත. එසේ වන්නේ අල්ලාගැනීම (උපාදානය) නිසා ය. දුක හට ගන්නේ මම සහ මගේකම නිසා ය. මිය ගියේ මගේ මව, පියා හෝ සහෝදරයා නම් දුක ඇති වේ. එහෙත් වෙනත් මවුවරුන් පියවරුන් සොහොයුරන් මිය යෑම නිසා මට දුකක් නැත. ඒ නිසා සක්කාය දිට්ඨියෙන් අල්ලාගැනීම නිසා දුක් නිර්මාණය වන බව මෙයින් පෙනේ.

ධර්මයෙහි කිසි ම තැනක මගේ ජීවිතය ගෙන යෑම අරබයා දේපළ මිල-මුදල් ආදිය හරි-හම්බ කරගැනීම සුදුසු නො වේ යැ යි කියා නැත. එහෙත් ඒ ජීවත් වීමට විනා ආශාවෙන් බදාගෙන තමන් යන එහේ ලෝකයටත් ගෙන යා යුතු නොවන බව අවධාරණයෙන් කිව යුතු ය. මෙසේ මුළු පංචුපාදානස්කන්ධය ම මම මගේ යැ යි සිතීම නිසා සිත නිරතුරු ව රෝගී වේ. අජාසත් කුමරු මවු කුස තුළ සිටිය දී එම දේවියට තම සැමියා වූ බිම්බිසාර රජුගේ ලේ පානය කිරීමට දොළක් ඇති විය. මේ කුමරු උපන් පසු පියතුමාට අපමණ දුක් දී මරාදමන බව නක්‍ෂස්ත්‍රකරුවන් පවසා තිබියදීත් රජතුමා තම දරුවා සුරක්‍ෂිත ව හදා-වඩාගත්තේ ය. බිම්බිසාර රජතුමා සෝතාපන්න ඵලයට පත් වූවෙකි. සක්කාය දිට්ඨිය ඔහු කෙරෙන් ප්‍රහීණ වී ඇත. අජාසත් සිය පියා දඟගෙයි දමා අපමණ දුක් පීඩා පැමිණවූවත් ඒ සැම විට ම එතුමා මෙත් සිතින් සිටියේ ය.

රූපය මෙන් ම වේදනා සංඥා සංඛාර සහ විඤ්ඤාණ යන සියල්ල ම හේතු ප්‍රත්‍යයෙන් නිම වී ඇත. සෝවාන් ඵලය වත් නොලැබූ අය ‘මම’ ලෙඩට, ජරාවට, වයසට යන විට මරණ බියෙන් තැති ගනිති; දුක් වෙති. ඒ නිසා සත්ත්වයාගේ දුකට හේතු වන මහත් වූ ව්‍යාධිය වනාහි අන් කිසිවක් නො ව, සක්කාය දිට්ඨිය යි.

මේ රෝගී තත්ත්වය හෙවත් අවිද්‍යාව නිසා අප විසින් ම නිර්මාණය කරගන්නා නොදැනුවත්කමට හේතු වන දේ සොයා බැලිය යුතු ය.

ඉමස්මිංසති – ඉදං හෝති
ඉමස්සුපාදා – ඉදං උපපජ්ජති

මෙය ඇති කල්හි මෙය ද ඇත්තේ ය. මෙය හට ගැනීමෙන් මෙය හට ගනී.

ඉමස්මිං අසති – ඉදං න හෝති
ඉමස්ස නිරෝධා – ඉදං නිරුජ්ඣති

මෙය නැති කල්හි මෙය ද නැත්තේ ය. මෙය සම්පූර්ණයෙන් ම නැති කිරීමෙන් මෙය ද නැත්තට ම නැති වේ.

මේ හැම පදයක ම පරමාර්ථය නම් අප විසින් ම හදා-වඩාගෙන තිබෙන කරදරවලින් සදහට ම මිදීමේ මාර්ගය පෙන්වා දීම ය. මෙය මුළු මහත් විශ්වය තුළ ම සිදු වන ඕනෑ ම දෙයක් උදෙසා භාවිත කළ හැකි, මිනිසාගේ කායික මානසික ජීවිතය තුළ සිදු වන හැම දෙයක් ම තේරුම් ගැනීම සඳහා භාවිත කළ හැකි – භාවිත කළ යුතු මූලධර්මයකි. මෙය තථාගතයන් වහන්සේ හඳුන්වා දී තිබෙන්නේ හේතු ප්‍රත්‍ය කොටගෙන ඒ හා උපදනා යන අදහස ඇති ‘පටිච්ච සමුප්පාදය’ යන නාමයෙනි.

ජීවිතය නාම රූප ලෙස එනම් උපාදාන ස්කන්ධ පහකට බෙදා දැක්වීමට තථාගතයන් වහන්සේ අදහස් කළේ සදහට ම ‘මම’ එක සේ පවතින ආත්මයක් වෙමි යන දෘෂ්ටිය කඩා-බිඳදැමීමට ය. ‘මම’ යන පුද්ගලයා තැනීමට තිබෙන සංස්කාර හෙවත් මූලද්‍රව්‍ය පුද්ගල නොවන අනිත්‍ය වූ ස්වාභාවික වූ ද දේවල් පෙන්වා දීම සර්වඥයන් වහන්සේගේ අභිමතය විය. මෙබඳු හෙළිදරව් කිරීමකින් අදහස් කළේ මම යන පුද්ගල භාවය හෙවත් සක්කාය දිට්ඨිය මායාවක් බව පෙන්වා දී දුක නැති කිරීමේ මාර්ගය වන හේතු ප්‍රත්‍යවල ස්වභාවය හෙළිදරව් කිරීම ය. මෙසේ කය ලෙඩ වූවත් සිත ලෙඩ නොවී තබාගැනීමට නම් පංච උපාදනස්කන්ධය මගේ නො වේ ය යන්න අවබෝධ කළ යුතු ම වන්නේ ය. දුක නැති කිරීමේ ඒකායන මාර්ගය එය යි.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X