Temples of Sri Lanka

සෝවාන් වෙලාද ???

අද කාලයේ සෝවාන් ආදී මාර්ග ඵල ලැබුවයි කියා රැවටිලා සිටින අය බෝහෝ දෙනෙක් සිටිනවා. එම නිසා සත්‍ය වශයෙන්ම තමන් මාර්ග ඵලයකට පත්වුණාද නැද්ද කියන එක තේරුම් ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. මේ සඳහා ඉතාමත්ම උපකාර වන , උපයෝගී වන ධර්මයක් තමයි මේ ප්‍රත්‍යවේක්ෂා ඥානය කියන එක.
මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පිළිබඳව පටිසංවිදා මග්ග පාලියේ මෙහෙම පාඨයක් දක්වලා තිබෙනවා.

“තදා සමුදාගතේ ධම්මේ පස්සනේ පඤ්ඤා පච්චවෙක්ඛනේ ඤාණං …”

මාර්ග ඵලයකට සිත පත්වන අවස්ථාවේදී පහළ වූ ධර්මතාවයන් දක්නා නුවණ තමයි ප්‍රත්‍යවේක්ෂා ඥාන කියලා කියන්නේ.

මේක සාමාන්‍ය කෙනෙකුට අත්දකින්නට අපහසුයි මොකද ප්‍රඥාව ඉතාමත්ම දියුණු කෙනෙකුට පමණයි ඒක අත්දකින්නට පුළුවන් වන්නේ. උදාහරණ වශයෙන් සෝවාන් මාර්ග ඵලයක් හෝ සකෘදාගාමී , අනාගාමී ආදී කවර මාර්ග ඵලයකට සිත පත්වන විට ඒ අවස්ථාවේදී සමාධිය කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වුණාද , තමාගේ සිත තුළ ඒ වන අවස්ථාවේදී සතිය කොහොමද ක්‍රියාත්මක වුණේ, ප්‍රඥාව කොහොමද ක්‍රියාත්මක වුණේ, ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම පහ, බොජ්ජංග ධර්මයන් ක්‍රියාත්මක වුණේ කොහොමද ආදී වශයෙන් ඒ කරුණු දකින්නට පුළුවන්. ඒවා දකින්නේ සියුම් වූ ප්‍රඥාවකින්, එවැනි ප්‍රඥාවක් නැති කෙනෙකුට ඒ වාගේ ප්‍රත්‍යවේක්ෂා ඥානයක් ඇතිකරගන්නට බැහැ.

විශේෂයෙන්ම අටුවා වල ඒ වගේම විශුද්ධි මාර්ගය වැනි පොත් පත්වල දක්වා තිබෙනවා ප්‍රත්‍යවේක්ෂා ඥාන 19 ක්. වෙනත් ආකාරයකින් ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාන දක්වා තිබෙන්නේ. ඒ 19 ක් කියලා ප්‍රත්‍යවේක්ෂ ඥාන ගණනයෙන් දක්වන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, කියන මාර්ග ඵල අවස්ථා වලට එක එක මාර්ගයකට ප්‍රත්‍යවේක්ෂ ඥාන 5 බැගින් 15 ක්. රහත් මාර්ගයේදි ප්‍රත්‍යවේක්ෂා ඥාන 4 ක් . එහෙමයි 19 ක් වන්නේ. ඒ පහ බැගින් දැකිය යුතු ප්‍රත්‍යවේක්ෂා ඥාන මේ අය දකින්නට, බලන්නට උත්සාහ ගන්නට ඕන.

ඒක තමයි තමන් නැසුවා නම් යම්කිසි සංයෝජන ධර්මයක් , යම්කිසි ක්ලේශ ධර්මයක් ඒ නැසූ ක්ලේශ ධර්මයන් දකින්න පුළුවන් ශක්තිය, ප්‍රත්‍යවේක්ෂා ඥාන. ඒ පිළිබඳ නුවණක් ඇතිකර ගන්නට පුළුවන්.
තමන් ළඟ දැනට තව ඉතිරිවෙලා තිබෙන කෙලෙස් සහ සංයෝජන ධර්ම මොනවද කියල දකින්නට පුළුවන් ඥානය.ඒකත් ප්‍රත්‍යවේක්ෂා ඥානයක්.

ඊළඟට මාර්ග ඥානය මේකයි කියලා දක්නා ප්‍රත්‍යවේක්ෂා ඥානය.
ඵල ඥානය මේකයි කියලා දක්නා ප්‍රත්‍යාවේක්ෂා ඥානය සහ ඊට පස්සේ තවත් ප්‍රත්‍යවේක්ෂා ඥානයක් දක්වනවා නිවන මේකයි කියලා.
එතකොට ඉදිරියේදී තව නසන්නට තිබෙන ක්ලේශ ධර්ම සංයෝජන ධර්ම මොනවද කියලා රහත් වූ කෙනෙකුට දකින්නට නැති නිසා එතන රහත් වූ කෙනෙකුට ප්‍රත්‍යාවේක්ෂා ඥාන 4 ක් පමණක් උපදවා ගත හැකි බව තමයි ඒ විශුද්ධි මාර්ග වැනි පොත් පත්වල දක්වා තිබෙන්නේ. අටුවා වලත් ඒ මතය පිළි අරගෙන තිබෙනවා.

එතකොට මේ දක්වා නැසූ සංයෝජන ධර්මයන් ප්‍රත්‍යාවේක්ෂා ඥාන තුළින් කෙනෙකුට අත්දකින්නට පුළුවන්. උදාහරණ වශයෙන් සෝවාන් වන විට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්ම තුන සම්පූර්ණයෙන්ම නැවත නූපදින ආකාරයෙන්ම නසන බව මේ අය දන්නවා. ඒ බව පොත්පත් වලත් සඳහන් වී තිබෙනවා. බුදුරජාණන් වහන්සෙත් දෙශනා කර තිබෙනවා. එතකොට යම්කිසි කෙනෙක් සක්කාය දිට්ඨිය හරියට ප්‍රහාණය වීම , ප්‍රයෝගික වශයෙන් අත්දකින්නේ රූපස්කන්ධයන්ගේ නිරෝධය දැකීම තුළින් රූපය තුළ ආත්මයක් ඒ අවස්ථාවේ නැති බව ප්‍රත්‍යක්ෂ ලෙස අත්දැකීම ලැබීමෙන් සහ දෙවනුව නාමස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය දැකීම තුළින් නාම ධර්ම තුළ ආත්මයක් නැති බව ප්‍රත්‍යක්ෂ ලෙස අත්දැකීම තුළින්. ඒකෙන් අදහස් කරන්නේ විදර්ශනා භාවනාවක නියැලෙන කෙනෙකුට රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම සිතට නොපෙනී ගොස් නිරුද්ධ වී ගොස් කොතෙක් සිතින් බැලුවත් රූපස්කන්ධය දෙස තමාට රූපය තිබෙන බවවත් තේරෙන්නේ නැතිව ගියාට පසුව ඒ අවස්ථාවේදී රූපය තමන්ගේ සිතට අරමුණු වන්නේ නැහැ, ඒක නිසා ඒ වෙලාවේදී රූප නිරෝධයකට සිත පත්වෙලා තිබෙන්නේ.
ඒ රූපය ඒ අවස්ථාවේදී දර්ශනය නොවන නිසා රූපස්කන්ධය මමය, මගේ ආත්මයක්ය කියලා ගන්නට ඒ අවස්ථාවේදී විද්‍යමාන වන්නේ නැහැ, පවතින්නේ නැහැ. ඒක නිසා රූපස්කන්ධය තුළ ආත්මයක් දක්නට නැති බව ප්‍රත්‍යක්ෂ ලෙස අත්දකිනවා. ඊට පස්සේ ඉතිරි වන්නේ ඒ හිස් වූ ඒ ශූන්‍යතා දර්ශනය දක්නා දැනීමක් පමණයි. රූප නිරෝධයට සිත පත්වුණාට පස්සේ සිත හිස්වෙනවා, ඒක සාමාන්‍යයෙන් ඕලාරික තත්වයේ පවතින්නා වූ ශූන්‍යතාවයක්. ඒක දක්නා සිතක් තිබෙනවා. මේ සිත සහ, ඒ සිතේ යෙදෙන වේදනා ආදී වෙනත් ස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය දැක්කාට පස්සේ ඒ අවස්ථාවේදී නාම ධර්මයන් තුළත් ආත්මයක්, මම කියලා ගන්නට දෙයක් නැති බව ප්‍රත්‍යක්ෂ ලෙස කෙනෙකුට අත්දකින්නට පුළුවන්. ඒ නාම ධර්ම ක්ෂණයක සුළු කාලයකදී හෝ නිරුද්ධ වී ගියා නම්, ඒ ක්ෂණයක සුළු කාලය තුළඳී පවා ආත්මයක් කියලා ගන්නට කිසිම දෙයක් නැති බව තමන්ට පැහැඳිළිව අත්දකින්නට පුළුවන් කම ලැබෙනවා.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X