ලෝකයේ සැබෑ හැඩරුව අටලෝ දහමින් පෙන්වයි…
අවිද්‍යාවේ මහගෙදර පංචනීවරණයෝ නිසා ම, කාමච්ඡන්දයෝ වැඩිවෙද්දී, සද්ධර්මයට අදාළ යහපත් පුරුදු අපිට අමතකවෙලා යන්න පුළුවන්. කාමච්ඡන්දයෝ නිවෙන, සංසිඳෙන, උපේක්‍ෂා සහගත වෙන සිතුවිලිවලට ප්‍රිය නැහැ. පින්වත, කාමච්ඡන්දයෝ කැමති ආස්වාදයෙන් ඇවිළෙන සිතුවිලිවලට. ඔබේ ඵස්සය තෘෂ්ණාවෙන් ආරක්‍ෂාකොට ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයට එරෙහිව මෙහෙයවන, අවිද්‍යාවේ මුල් ම ප්‍රහාරක බල ඇණිය, ඵස්සය කෙරෙහි තෘෂ්ණාවයි. ඇසෙන් දකින, කනෙන් අසන, මනසින් දැනෙන ලෝකය යළි, යළිත් අවිද්‍යාවේ යටත්විජිතයක් බවට පත්කොට දෙන්නේත්, ඵස්සය පින්වත, කාමච්ඡන්දයෝ හේතුවෙන් යහපත් පුහුණු කිරීම් අපිට අමතකකොට දමන්න පුළුවන්., චතුරාර්ය සත්‍යය ධර්මයෝ ජීවිතය තුළ දරාගෙන, අවිද්‍යා ලණුපොටේ, අතුරේ යන ගමනක් අපි යන්නේ.ඵස්සය අසලින් තෘෂ්ණාව ලිස්සුවොත්, ඇලීම්, ගැටීම් සංස්කාර මහපොළොවටයි අපිව ඇදගෙන වැටෙන්නේ.ජීවිතය හරිම හදිසි අනතුරක්. ඵස්සයේ අවිද්‍යාව සිතුවිල්ලක්, සිතුවිල්ලක් පාසා ලෝකය සමග ගැටෙනවා, එක්කෝ ලෝකය සමග ඇලෙනවා. බැඳීයෑම් හෙවත් උපාදානයන්ගේ බර බිමින් තියලා, ජීවිතයට විවේකයක් දෙන්න. හැබැයි ඉතින් විවේකය තුළ “මා සිටිනවා” යැයි කියලා, විවේකයත් තෘෂ්ණාවෙන් නම් ගන්න එපා. ඔබේ විවේකය ඵස්සනිරෝධා වේදනානිරෝධෝ යැයි, ධම්මානුපස්සනාවෙන් ම දකින්න.
අවිද්‍යාවෙන් ඉන්ධන ලබන බාහිර පංචඋපාදානස්කන්ධ ලෝකය, තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. අපි හැමෝගේ ම ජීවිත ඇලීම් සහ ගැටීම් දිශාවට බර වෙලා. , ලෝකය උපේක්‍ෂාවෙන් විඳින්න තෘෂ්ණාව ඉඩදෙන්නේ නැහැ. උතුම් සම්මාදිට්ඨිය අපිට කර්මය කර්මඵල විශ්වාසය ගැන කියලා දුන්නත්, අපි සොයන්නේ ලාභ, කීර්ති ප්‍රශංසා, ජයග්‍රහණ සහ සතුට පමණක්මයි. සංස්කාර ලෝකයේ ම කොටසක් වන අලාභ, නින්දා අපහාස, පරාජය සහ දුකට අපි කැමති ම නැහැ. ජීවත් වෙනවා වගේ ම, ජීවත්වෙන ඔබේ පංචඋපාදානස්කන්ධ ලෝකය හඳුනා ගන්න. සළායතනයෝ ඉපදුණා ද, සළායතනයන්ගේ ඵස්සය, පෙරළා පටිච්චසමුප්පාද ලෝකය ජීවත් කරවනවා. අටලෝදහම පටිච්චසමුප්පාද ලෝකයේ සැබෑ හැඩරුවයි. ලෝකයේ සැබෑ හැඩරුව අපි උපේක්‍ෂාවෙන් පිළිගන්න ඕනේ. ජීවිතයක් යැයි කියන්නේ, ආයුෂය, උණුසුම සහ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට. ජීවිතය තුළ තෘෂ්ණාව නැහැ. ඵස්සයේ විඳීමයි තෘෂ්ණාවට මුල්වෙන්නේ.
අතීතයේ වැඩසිටිය උතුම් රහතන්වහන්සේලාගේ ජීවිත තුළත් ආයුෂය, උණුසුම, පටිච්චසමුප්පන්න විඤ්ඤාණ ධර්මයෝ ක්‍රියාත්මකව තිබුණා, නමුත් එම උත්තරීතර ජීවිතවල තෘෂ්ණාව තිබුණේ නැහැ. තෘෂ්ණාව නිරෝධය කළ පූජනීය ජීවිත තුළින්, විකුණන සහ විකිණෙන තෘෂ්ණාවේ සාංසාරික පුරුදු නිවිලා ම යනවා. අපි තවමත් විඳීම්, හඳුනා ගැනීම්, සංස්කාර, විඤ්ඤාණ, ලාභ සොයන්න ආධ්‍යාත්මික සළායතනයෝ අවිද්‍යාවට විකුණනවා. අපි තවමත් අවිද්‍යාවෙන් අන්ධ සංස්කාර මුදලාලිලා. අපි තවමත් සිහිනුවණින් තේරුම් ගන්නේ නැහැ, රූපය වික්කොත් සහ රූපයට විකිණුනොත් අපි ලබන පරම ලාභය ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ යැයි කියලා.
මේ සවස් යාමයේ කුටිය වටාපිටාවේ පරිසරය හරිම මායාකාරියි. අහස සිප ගන්න තරගයක යෙදෙන කඳු වැටිපෙළේ එක පැත්තක් ඝන මීදුමින් වැසිලා, තවත් පැත්තක ලා මීදුම, තවත් පැත්තක සිහින් පොදවැස්ස අතරින් පතර දිලිසෙන කොළ පැහැයෙන්යුත් ශාක වියනක් යස අගේට පෙනෙනවා. විඳින්න කැමති ලෝකයට සංස්කාරයන්ගේ රසනහර පිනවන ප්‍රණීත ආහාරයක් බවට අවට පරිසරය පත්වෙලා. පරිසරය නමැති බාහිර රූපය යැයි කියන්නේ මායාකාරී සතර මහා ධාතුවක්. ඒ මායාකාරී සතර මහා ධාතුව නිරතුරුව ම වෙනස් වෙනවා. එම වෙනස්වීමයි අපි පාරිසරික විවිධත්වය, චමත්කාරය හැටියට දකින්නේ.
චමත්කාරජනක පාරිසරික රූපයන් ඉදිරියේ පැවිදි අපි ගොඩාක් සිහිනුවණ ඇතිකොට ගන්න ඕනේ. අපේ පිනට, අපේ ඇසට අරමුණු වෙන චමත්කාර ජනක පාරිසරික ආස්වාදයෝ විඳීමේ ගොදුරුබිමක්කොට ගන්න හොඳ නැහැ.විඳීම අයිති ඵස්සයේ තෘෂ්ණාවට යැයි සතිය සිහිය ඇතිකොට ගනිද්දී, ඵස්සයෙන් ලෝකය ගැලවිලා යනවා.එවිට චමත්කාරජනක, මායාකාරී පරිසරය කායානුපස්සනාවට අදාළ ධාතු මනසිකාරය විනිවිද උතුම් ධම්මානුපස්සනාවට කමටහනක් ම වෙනවා. පරිසරය හරිම ලස්සනයි. ලස්සන පරිසරය අනිත්‍යවූ සතරමහා ධාතුවක් යැයි දකින සිත, එක තැනම කෙලෙස්වලින් නිශ්චලයි.
මරණය අයිතිවෙන්නේ අවිද්‍යාවට. පිරිනිවීම අයිතිවෙන්නේ සම්මා විමුක්තියට. මරණය යැයි කියන්නේ ජාති පච්චයා ජරා, මරණ කියන ධර්මතාවයට. පිරිනිවීම අයිතිවෙන්නේ ජාති නිරෝධා ජරා, මරණ නිරෝධෝ කියන ධර්මතාවයට. මරණය කෙරෙහි තෘෂ්ණාවේ උපාදානයෝ ඇතිකොට ගන්න එපා. තෘෂ්ණාවේ උපාදානයෝ “මරණය” පටිච්චසමුප්පන්න තවත් උපතකට පාර කියනවා. රෝගීව මියයයි ද? නීරෝගීව මියයයි ද? හොඳ සිහියෙන් මියයයි ද? අසිහියෙන් මියයයි ද නගරයේ මල්ශාලාවේ ද? ගමේ මල්ශාලාවේ ද? සඳුන් දැවයෙන් තැනූ පෙට්ටියක් ද? රබර් ලෑලි පෙට්ටියක්ද? එම්බාම් කරයි ද? කුණුවෙලා යයි ද? දේහය පසුපස සුසාන භූමියට යන්න පිරිවර සිටී ද? භූමදානය කරනවා ද? ආදාහනය කරනවා ද? මේ සියල්ල අයිති ලෝකයට. මේ සියල්ල අයිති ඵස්සපච්චයා වේදනාවන්ට.
තෙරුවන් සරණයි.🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood