Temples of Sri Lanka

නිර්වානය සඳහා හිත සංවර්ධනය කර ගනිමු

බෞද්ධයාගේ මූලිකම පරමාර්ථය නිවනයි.

ඒ නිවන කරා යන ගමනේ ආරම්භය ජීවිතයයි.

 

ජීවිතය ලෞකික පක්ෂයත්, නිවන ලෝකෝත්තර පක්ෂයත්, නියෝජනය කරයි. මේ නිසා බුදු සමය හැම විටෙකම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය සංවර්ධනය කරලීමේ ප්‍රායෝගික ක්‍රියා පිළිවෙළ පෙන්වා දෙයි. මේ අනුව සලකා බැලීමේදී බුදු දහම ඉතා හරවත් වූද, උසස් වූද, ජීවන මාර්ගයකි

ප්‍රායෝගික ජීවිතයට බුදු දහම යනු ජීවිතයේ යහපත උදෙසා බුදු දහම ඇසුරින් අනුගමනය කළ හැකි ක්‍රියා මාර්ගයයි. එබඳු ක්‍රියා මාර්ග රාශියක් පිළිබඳ උපදෙස් බෞද්ධ දර්ශනයේ අන්තර්ගත වේ. ලොව ඕනෑම පුද්ගලයකුගේ ප්‍රායෝගික ජීවිතය සාර්ථකත්වයට පත්කළ හැකි බෞද්ධ සදූපදේශ අද ලොවට එකම පිළිසරණ, එකම පිහිට වන බව අනාවරණය වෙමින් පවතී.

බුදුදහම ඇසුරින් ප්‍රායෝගික ජීවිතය අර්ථාන්විත කරගන්නේ කෙසේදැයි විමසා බැලීම කාලෝචිත වේ.

බෞද්ධයාගේ මූලිකම පරමාර්ථය නිවනයි. ඒ නිවන කරා යන ගමනේ මූලාරම්භය ජීවිතයයි. ජීවිතය ලෞකික පක්ෂයත්, නිවන ලෝකෝත්තර පක්ෂයත්, නියෝජනය කරයි. මේ නිසා බුදු සමය හැම විටෙකම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය සංවර්ධනය කරලීමේ ප්‍රායෝගික ක්‍රියා පිළිවෙළ පෙන්වා දෙයි. මේ අනුව සලකා බැලීමේදී බුදු දහම ඉතා හරවත් වූද, උසස් වූද, ජීවන මාර්ගයකි.

අප ජීවත් වන්නේ විද්‍යා හා තාක්ෂණය රජයන ලෝකයකය. විද්‍යාත්මක හේතු සාධක නොමැතිව කිසිවක් පිළිගැනීමට බොහෝ දෙනා මැළිවෙයි.

මේ ස්වභාවට මුහුණ දියහැකි එකම දහම ද, එකම දර්ශනය ද, වන්නේ බුදු දහමයි. ඊට හේතුව නම් බුදු දහමින් අනාවරණය කරන කරුණු හුදු සත්‍යයම ඒවා වන හෙයිනි. විද්‍යා හා තාක්ෂණික ලෝකයේ කරුණු විද්‍යාත්මක සත්‍යයන් අනුව අවබෝධ කරගන්නා සේම බුදු දහමේ ඉගැන්වීම් හේතුඵල ධර්මයට අනුව විමසා බැලීමෙන් එහි ඇති පරම සත්‍යය අපට අවබෝධ කරගත හැකිය. බෞද්ධ දර්ශනය යනු සත්‍යයම වේ. එය නිවැරැදිව ක්‍රියාවට නැංවීමෙන් පුද්ගලයාගේ යහපත උදාවේ.

බෞද්ධ දර්ශනයට අනුගතවීම නිසා “සම්මා දිට්ඨිය” ඇතිවේ. එය මෙහෙයවීමෙන් හොඳ නරක තෝරා බේරා ගැනීමේ හැකියාව උදාවේ. මේ ‘අවදිබව‘‘ බුදු දහමේ මූලික ලක්ෂණය වන නිසා අද්‍යතන ලෝකය හා පෑහෙන දහම බවට පත්වන්නේ බෞද්ධ දර්ශනයයි. “ආලෝකෝ උදපාදි” යන්න බුදු දහමේ සංකේතය වැන්න.

පුද්ගල සංවර්ධනයේ අනුපිළිවෙළ ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්ෂාවයි. මේ ක්‍රමවේදය ලොව විශිෂ්ටතම ශික්ෂණ ක්‍රියා පිළිවෙළ වේ. එහි අන්තර්ගත නිවැරැදි දැකීම, නිවැරැදි කල්පනාව, නිවැරැදි වචනය, නිවැරැදි ක්‍රියා, නිවැරැදි දිවි පැවැත්ම, නිවැරැදි උත්සාහය, නිවැරැදි සිහිය, නිවැරැදි සමාධිය යන කරුණු අට නිවන සාක්ෂාත් කර දෙන්නා සේම ඊට පළමුව ලෞකික ජීවිතයක අභිවෘද්ධිය සලසාලන ප්‍රමුඛතම ඉගැන්වීම් වේ.

කාමසුඛල්ලිකානු යෝගයට අනුවත්, අත්තකිලමතානු යෝගයට අනුවත්, දිවි පවත්වා ගැනීමෙන් අද ලෝකයේ මහා විනාශයට පත්ව සිටින පිරිස අතිවිශාල සංඛ්‍යාවකි. කිසි දිනක සුව නොකළ හැකි ව්‍යාධි, සමනය නොවන අසීමිත ආශා, ඒ නිසාම උද්ගත වී ඇති අතෘප්තිමත් ස්වභාව හා අන්තවාදී හැඟුම් පුද්ගලයෝ දැවෙති. නමුත් බුදු දහම අනුව මැදුම් ජීවන ප්‍රතිපදාවක් සකස් කරගත් අය සුවසේ හිඳිති. දිගාසිරි විඳිති. මෙලොව සන්තුෂ්ටිය හිමිකර ගනිති. අනතුරුව පුද්ගල සංවර්ධනයේ සදාචාරය දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා පදනම් කොටගෙන ඉස්මතු වෙයි. පුද්ගලයාට මහා විනාශය පිණිස හේතුවී ඇත්තේ බලවත් ආශාවයි. එම හානිකර චිත්ත චෛතසික ඉවත් කර ගැනීම උදෙසා දානයට මූලික ස්ථානයක් හිමිවේ. දානය යනු අත්හැරීම වේ. ආශාව දුරලා තම ධනය පරිත්‍යාග කිරීමයි. ධනය ගොඩ නොගසා අවශ්‍ය පුද්ගලයන් අතට පත් කිරීමේ සංකල්පය මුල්වරට දැක්වෙන්නේ බුදු සමය තුළිනි. දානය නිසා සිත් තුළ රජයන ලෝභී සිත යටපත්වේ. සහනශීලී ජීවිතයට, පවුලකට, ගමකට, ප්‍රදේශයකට, රටකට හා ලෝකයකට, මූලික වන ධර්මතාව ඔස්සේ දීම හුරුපුරුදු වීම වේ. සියලුම සම්පත් නතුකර ගැනීමේ අතෘප්තිමත් ස්වභාවය ද ලෝකය ගිනි ගැනීමට අවශ්‍ය පසුබිම බවට පත්වී තිබීම රහසක් නොවේ. දෙවනුව ලෞකික ජීවිතය සහනශීලීවූද, සදාචාර සම්පන්න වූද එකක් බවට පත්කර ගැනීම සඳහා ශීල ප්‍රතිපදාව ඉවහල් වේ.

එහි මූලික අර්ථය වන්නේ පුද්ගල ශික්ෂණයයි. ශීල ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් සිත, කය, වචනය යන තිදොර සංවර වේ. එකී සංවරය තමාගේ යහපැවැත්මට ද, අන්‍යයන්ගේ යහපැවැත්මට ද මූලික කරුණ වෙයි. ගිහි පැවිදි වශයෙන් දෙපරිදි වන ශීලයේ මූලික පදනම පංච ශීලයයි. එය බෞද්ධත්වයේ මූලිකම සලකුණ වේ. යමෙකු තෙරුවන් සරණ සහිත පංච ශීලය සමාදන් වීමෙන් බෞද්ධත්වයට පත්විය හැකිය.

සම්බුදු රජාණන් වහන්සේ සාවද්‍ය යයි දේශනා කර වදාළ කරුණු පසෙන් වෙන්වීමත්, එය සමාදානයත් පංචශීල ප්‍රතිපදාවයි. මේ පිළිබඳව ම. නි. තෘතිය භාගයේ දක්ඛිණ විභංග සූ‍්‍රත්‍රයේ පාණාතිපාතා පටිවිරනො හොති. අදින්නාදානා පටිවිරතො හොති. කාමේසු මිච්ඡාචාරා පටිවිරතො හොති. මුසුවාදා පටිවිරතො හොති. සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති යනුවෙන් සඳහන් වේ. ප්‍රාණඝාතය, හොරකම, සාවද්‍ය කාම සේවනය, මුසා බස් බිණීම, සුරාපානය යන පංච දුෂ්චරිත පුද්ගලයාගේ හා රටක විනාශයටත්, එයින් අත්මිදීමෙන් ඒ දෙතැන්හි ම නවෝදයක් උදාවීමක් ලෙසත්, සං. නි. පංචම වග්ගයේ පංචශීලය පිළිබඳව විග්‍රහ වන සූත්‍ර ධර්ම ගණනාවකම පෙන්වා දී තිබේ.

යහපත් පුද්ගලයන් හා රටක් ගොඩනැංවීමට පංචශීල ප්‍රතිපදාව ඉවහල් වන බැවින් චක්‍රවර්ති මහ රජතුමා ද මුළු මහත් ලෝකයම පාලනය කිරීම සඳහා ඉවහල් කරගන්නා රාජ්‍ය ප්‍රතිපත්තිය වන්නේ පංච ශීලයයි. එතුමා රටේ සතර දිග් භාගයට ගොස් සිය වැසියාට අවවාද දෙන්නේ පංචශීල ප්‍රතිපදාව සුරකින ලෙසටය. දී. නි. චක්කවත්ති සීහනාද සූත්‍රයේ විස්තර කෙරෙන පරිදි පැහැදිලි වන්නේ චක්‍රවර්ති පාලනය පන්සිල් පදනම් කොට ගෙන සකස් වූ එකක් බවයි.

බුදු සමයේ සදාචාරාත්මක මූල ධර්මයක් වශයෙන් සැලකෙන පංචශීලය සෑම බෞද්ධයෙකුම අනිවාර්යයෙන් පිළිපැදිය යුතුවේ. කිසියම් සමාජයක මෙම පංචශීල ප්‍රතිපදාව ක්‍රියාත්මක නොවේ නම් එම සමාජයේ ජීවත්වීම ද නොකළ හැක්කකි. මුල්ම සික පදය බිඳිමින් එකිනෙකා මරා ගතහොත් එම සමාජය වහ වහා විනාශ වෙයි. එබඳු සමාජයක පැවැත්ම ඇත්තේ බලවතාට ම පමණකි. කිසියම් සමාජයක එකිනෙකාගේ වස්තුව සොරකම් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වේ නම් එබඳු සමාජයක අවසානයේ සොරකම් කිරීමට පවා කිසිවක් ඉතිරි නොවනු ඇත. පරදාර සේවනය වැනි වැරැදි කාමය නිසා පවුල නමැති ඒකකය බිඳී යයි. මෙබඳු තොරතුරු වත්මන් සමාජයේ පුන පුනා හටගන්නා බව ජනමාධ්‍ය වාර්තා කර සිටී.

බොරුව රජ කළහොත් මුළු මහත් සමාජ විශ්වසනීයත්වයම විනාශ වී යයි. මත්පැන් හා මත් ද්‍රව්‍ය ගැනීමෙන් සිහි විකල් බවට පත්වුවහොත් කිසිවකුටවත් තමා පාලනය කර ගැනීමට නොහැකි වෙයි. මේ නිසා පංචශීලය ආරක්ෂා කළ යුත්තේ ආත්මාර්ථය හා පරාර්ථය සඳහා ය. මේ අනුව පැහැදිලි වන්නේ පංචශීලය වනාහි සර්වභෞමික ගුණ ධර්ම මාලාවක් වන බවය.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X