Temples of Sri Lanka

නිවස, පන්සල, පාසල, රජය ,තුළින් සමෘද්ධිමත් හෙටක් .

මේ ලෝකයේ ජීවත්වන සෑම මනුෂ්‍යයෙක්ම සැපවත් උසස් ජීවිතයක් ගත කිරීමට ඉතා කැමැත්තෝ වෙති. එහෙත් මුහුණ පාන්නට සිදුවන විවිධ ගැටලු සහ උවදුරු නිසා බලාපොරොත්තු වුන ජීවිතය එලෙසම සාර්ථක කරගත නොහැකිව බොහෝ අය දුකින් පසු වන අවස්ථා අපට දැකගන්නට ඇත.

ධනය තිබේ නම් මිනිසුන්ට සියලු ගැටලු විසඳාගැනීමට පුළුවන් ශක්තියක් ලැබෙන බව සමහරුන්ගේ මතය වුවත් ධනය තිබූ තරමින්ම ප්‍රීතිමත් ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කිරීමට පහසු නොවන බව අප අත්දැකීමෙන් දනිමු.

සමහරවිට වස්තුව වැඩි වීමම බොහෝ අයට වඩා දුක්ඛිත තත්ත්වයක් ඇති කිරීමට බලපා ඇති බව විමසිලිමත්ව බලන ඕනෑම පුද්ගලයකුට පෙනී යන කරුණක් .

මිනිසුන්ගේ සුන්දරත්වය සහ වටිනාකම බැහැරින් පැළඳ සිටින රන් රුවන් නිමවූ වටිනා ආභරණයන්ගෙන් වත් ඇඳුම් පැළඳුම් ගෙන් වත් කසී සළු වලින් වත් රැස්කළ මිල මුදලින් වත් ගේ දොර ආදියෙන් වත් ලබාගත නොහැකියි. ඒ සියල්ලන්ටම වඩා මනුෂ්‍යයන්ගේ අභ්‍යන්තරය තුල පවතින උතුම් වූ ගුණ ධර්මයන් නිසා මනුෂ්‍යත්වයට පත්වන බව බුදු දහම මැනවින් පෙන්වා දෙන සත්‍ය කරුණක් .

කෙනෙකුගේ සුන්දරත්වය මතුපිටට පෙන්වා දීමට කෙනෙකු ලස්සන වීමට අවශ්‍ය වන්නේ ගුණදහම්ය. බුදුදහම ලංකාවට පැමිණීමත් සමඟම සෑම අංශයක් කෙරෙහිම පැතිරී ගිය උසස් ගුණයන් නිසා මේ රට ධර්මද්වීපය නමින් ප්‍රකට විය.

දහම මගින් පෝෂණය කොට විනිවිද පෙනෙන රටක් බවට පත්විය.එසේම පුද්ගලයින් සිතින් යහපත් දේ සිතුහ. කටින් යහපත් වචන කතා කළා සේම කයින් සිදු කරන්නට යෙදුනේ යහපත් දෙයයි. වර්තමාන ලාංකික සමාජය දෙස බලන විට නැවත ගොඩගත නොහැකි සමහරුන්ට සිතන්නට තරමේ දුශ්චරිත නැමැති අගාධයට වැටී සිටින බවක් වර්තමානයේ පෙනෙන්නට ඇත.

ඒ තරමටම මිනිස් ගුණ දහමෙන් ඈත්වී බොහෝ අය ක්‍රියා කරන ආකාරය ඉතාමත් ඛේදයකි .

මේ සංවේගජනක බිය උපදවන තත්ත්වයෙහි වර්ධනය සඳහා බලපා ඇති ප්‍රධාන කරුණු කිහිපයක් අප ගෙන හැර දක්වමු.

මුළු ලොවම පාලනය කළ හැකි හිරි ඔතප් හෙවත් ලැජ්ජා බය නොමැතිවීම එක් කරුණක්.

අසීමිත ආශාවන් ගෙන් මුදල් පසුපස හඹා යාම තවත් කරුණක්.

පෞද්ගලික ලාභ අපේක්ෂාවන් පරමාර්ථ කොටගෙන මෙහෙයවන විද්‍යුත් හා මුද්‍රිත ජන මාධ්‍ය වල බලපෑම තවත් කරුණක්.

ඒ සමඟම ආත්මාර්ථකාමි සහ අගතිගාමීව මෙහෙයවන පක්ෂ දේශපාලනය තවත් කාරණාවක්.

ප්‍රඥාවන්ත මිනිසා ලැජ්ජාව සහ බිය නිසා වරදින් ඉවත් වන ක්‍රම කීපයක් ගැන ධර්මය මගින් පෙන්වා දීලා තියෙනවා.

තම ජාතිය තම පරපුර හෝ තමා අදහන ආගම ගැන සිතා වැරදි වැඩ කිරීමෙන් එය මට කැලලක් වේ යැයි සලකා වරදින් ඉවත්වීම එක් ක්‍රමයක්

එහෙම නැත්නම් තමන්ගේම උගත්කම එසේත් නොවේ නම් තමන්ගේ වයස පිළිබඳව සලකා අයහපත් දේ කිරීමට ලැජ්ජා වෙනවා

පොදුවේ සැලකූ විට අන් අයගෙන් නිදා අපහස ලැබීමට ඇති අකමැත්ත නිසා වරදින් ඉවත්ව යනවා …සමහර මිනිසුන්.

තමන්ගේම සිතින් විමසා බලා “මෙවැනි දේ කිරීම නොහොඹිනා “යැයි සිතා වරදට බිය උපදවා ගෙන යහපත් ජීවිත ගත කරනවා.

තවත් කොටසක් අනුන්ගෙන් ලැබෙන නින්දා අපහාස පිළිබඳව සළකා බිය සලකා බියපත්ව වරදින් මිදෙනවා. රටේ නීතිය අනුව වරදකරුවන්ට ලැබෙන විවිධ වද හිංසා දඬුවම් ගැන සිතනවා ඒවාට බියෙන් වරදින් මිදී …ජීවිත මදයෙන් මත් නො වුණ සමහර අය මෙලොව පමණක් නොව පරලොව පිළිබඳව එදා ගැඹුරින් සිටීමට ආරම්භ කරනවා.

ජීවිතය කවර අවස්ථාවක හෝ නැති වීමෙන් අනතුරුව තමා කළ කර්මයන්ට අනුව තවත් තැනක උපත ලබා ගන්නා බව සලකන මිනිසා සිත කය වචනය යන තිදොරින් අයහපත් දේ කිරීමට ඇතිබිය සදාචාරාත්මක ගුණ ධර්මයන්ට නතුව ජීවත් වීමට පටන් ගන්නවා .

සකල අර්ථ සාධනය සඳහා ධනයම ප්‍රමුඛත්වයේ ලා සලකන අය කිසිදු ඉවක් බවක් නොමැතිව ඒවා රැස්කර ගැනීමට උත්සාහ ගන්නා බව පෙනී යන සත්‍යයක්. ඔවුහු සමාජයේ ජීවත්වන වගකිවයුතු ඉහළ පන්තියේ අයගේ රැකවරණයක් ලබා ගනිමින්ත් මහත් බිහිසුණු ක්‍රියාවන්හි යෙදෙන්නට අමතක කරන්නේ නෑ .ආයුධ හා බෝම්බ උපයෝගී කරගෙන මනුෂ්‍ය ඝාතන මංකොල්ලකෑම් ආදියෙහි යෙදෙන ඔවුහු මනුෂ්‍යයන් භාවිත කරන ආහාරපාන පවා වස විස ඇතුළත් කොට අලෙවි කරන්න ඔවුහු පෙලබෙනවා.

පහසුවෙන් ඉතා ඉක්මනට ධනවත් වීමට අනුගමනය කරන ඉහත සඳහන් ක්‍රියා නිසා මේ සමාජය පුදුම සහගත ලෙස පහත් තත්ත්වයකට වැටී තියෙනවා

ඉන්ද්‍රියන්ට ගොදුරු වන සෑම දෙයක්ම හරවත් බවින් යුක්තව ඉදිරිපත් කිරීමට පැරණි ලාංකීය සමාජය වගබලා ගත් බව පේනවා.

විහාර මන්දිරයක් වැනි තැනක අඳින ලද බිතු සිතුවම කින් ප්‍රකාශ වුණේ මේ ලොවේ හා පරලොව
හිතකර අගනා අදහස්. කෙතක පැළක හේනක නොවේ නම් ඔරුවක හෝ පාරුවක ගැයූ ගීයකින් පෙන්වූයේ අගනා උපදෙසක්

විද්‍යාව හා තාක්ෂණය දියුණු වත්මන් සමාජයෙහි මුද්‍රිත අංශයන්ගෙන් පිට කරන සමහර පුවත්පත් සඟරා ආදිය දෙමව්පියන්ට තම දූ දරුවන්ට සමග සමඟ එක් වග එක්ව කියවිය නොහැකි තරම් පහත් මට්ටමක පවතිනවා

ආර්ථිකය ඔස්සේම හඹායන සමහර ගුවන් විදුලි හා රූපවාහිනී විවිධ නාලිකාවන් ගේ තත්ත්වය ද එසේමයි. නොමනා හැසිරීම් වලට පමණක් නොවෙයි විවිධ චරිතයන්ට ළමා පරපුර පවා වේගයෙන් ඇද දමන එවැනි මාධ්‍ය නිසි ලෙස හසුරුවන තාක් සමාජ සංවර ය පිළිබඳව කරන කතා කවර ලෙසකින් හෝ ඵල ගැන්විය නොහැකි වෙයි.

රටක් තුළ සුබ සිද්ධිය සඳහා ප්‍රමුඛත්ව ක්‍රියාත්මක කරන දේශපාලනය තුළින් ගත හැකි අභිවෘද්ධිය සුළුපටු නොවේ.

එහෙත් රට තුළ සමහර දේශපාලන පක්ෂ ක්‍රියාත්මක කරන විවිධ කාර්යයන් බොහෝ අංශයන්හි පරිහානිය කෙරෙහි බලපා ඇති බව වැඩි දෙනාගේ පිළිගැනීමට ලක්ව ඇත

තම පක්ෂය නොවෙයි නම් එයට හිතවත් අය සලකා ඔවුන් කෙරෙහි පක්ෂපාතීව සමහරු ක්‍රියා කරන ආකාරය ද ඉතාමත් පහත්ය

පොලිසිය වැනි ආයතනයන්ට පවා නීතියෙන් හරිහැටි ක්‍රියාත්මක නොකල හැක්කේ එවැනි අය නිසාය. අනිත් පැත්තෙන් විරුද්ධ කරුවන් යැයි සලකා ඔවුන් සඳහා සාධාරණය ඉටු නොකිරීම පමණක් නොව ඔවුන්ගේ පලි ගැනීම් ආදියෙන් කරන පීඩාවන් ගැන සීමාවක් නොමැති තත්ත්වයකට පත්ව ඇත.

තම තනතුර තත්ත්වය ලාභය නැතිවේ යැයි මෝහයෙන් මුලාවට පත්ව අනවශ්‍ය බියෙන් පෙළමින් පිළිකුල් සහගත ලෙස විවිධ ක්‍රියාවන්හි යෙදෙන මිනිස්සු අද සමාජයේ බහුලව ඇත. මෙ අන්දමට ඡන්ද ද්වේශ භය මෝහ යන මේ සිව් ආකාර අගති ක්‍රියාවන්ට බලයට පත්වීමට තිබෙන බලය රැක ගැනීමට උත්සාහ ගැනීම තුළින් සිදුවන්නේ මුළු මහත් සමාජ සංහතිය තුළ ම පරිහානිය ළඟා කර ගැනීමයි

ජාති ආගම් කුල ආදියෙන් බෙදී සදාචාර මාවතෙන් පිටපැන ලාංකික සමාජයට අරුතක් ඇති යමක් කිරීම ඉතා වැදගත්ය. එහිදී පවුල පන්සල පාසැල හා රජය යන ප්‍රධාන ස්ථාන හතරක් මුල් කොට ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවධානය යොමු කිරීම තුළ සමෘද්ධිමත් හෙට දිනයක උදාව සනිටුහන් කළ හැක.

පවුල යනු මවුපිය දූ පුතුන් ඇතුළත් පුංචි සමාජයක්. මතු පරපුර ශ්‍රේෂ්ඨත්වය ට පත් කිරීමට කටයුතු කරන පවුලක ප්‍රධානත්වය දරන්නේ ස්වාමි භාර්යා දෙදෙනා. තවත් පැත්තකින් ඔහු මවුපියන් යනුවෙන්ද හඳුන්වයි.

“කෙනකු මනා ලෙස හදන්න නම් ඔහුගේ ආච්චිගෙන් පටන් ගත යුතුයි” ලොව ප්‍රකට උගතෙකු වූ * වික්ටර් හියුගෝ * පැවසීය.

එයින් අදහස් කරන්නේ නිවසක ජීවත්වන ආච්චි සහ සීයා මව සහ පියා ඇතුළු වැඩිහිටියන් තුළ පවතින යහපත් පැවැත්ම දරු සහ මුණුබුරු පරපුර කෙරෙහි බෙහෙවින්ම බලපාන බවයි.

කුඩා ළමයෙකු ගේ මොළයෙහි සෛල වයස 7 පමණ වන විට බෙහෙවින් වැඩි අවසාන වී ඇතැයි මනෝවිද්‍යාඥයෝ මෙන්ම වෛද්‍ය විද්‍යාඥයෝ ද ප්‍රකාශ කරන කරුණක් .එ අනුව ළදරු වයස කෙනෙකුගේ ජීවිතයේ ඉතා වැදගත් අවධිය බව අමතක කලයුතු නොවේ. පාසලකදී කවර විෂයක් ඉගැන්නුව ද ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ උසස් තත්ත්වය වෙත ළඟා කිරීම සඳහා කුඩා අවධියේ සිට මවුපියන් ප්‍රධාන වැඩිහිටියන්ගේ ඇසුර තුළින් දරුවන්ට ලැබෙන දැනුම මුළු ජීවිතය කෙරෙහි ම තදින්ම බලපාන බව විශිෂ්ට ලෙස සටහන් කර ගත යුතුයි.

මේ නිසා බුදුරජාණන් වහන්සේ මවුපියන් හැඳින්වීමට දුන් පූර්වාචාර්ය යන ගරු නාමය බෙහෙවින්ම වැදගත් බව සනාථ වෙයි .

පාසල යනු ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් බිහි කරන ප්‍රධාන ආයතනය යි …

බර්ට්‍රන් රසල් නම් දාර්ශනිකයා සඳහන් කොට ඇති ප්‍රකාශයෙන් එහි වැදගත්කම වඩාත් පැහැදිලි ය . අංගසම්පූර්ණ පෞරුෂයකින් යුත් සදාචාර සම්පන්න නිරෝගි පුද්ගලයකු බිහි කිරීමට ඒ මඟින් පුළුවන්කමක් ලැබෙයි. බුද්ධිමතකු වශයෙන් ප්‍රසිද්ධ පෝල්වඩ් බෝන් නැමැත්තා * මෙසේ සඳහන් කළේය .

අධ්‍යාපනය යනු ලියන්නට කියන්නට ඉගෙනීම පමණක් නොව පාසලේ දී ද කෙලි බිමේ දී ළිබිමේ දී ද මහ පාරේ ද යහපත් වූ පැවැත්ම පිළිබඳව ගුණධර්මයන් ලබා දීමට ශක්තිය ඇති ඉතිහාසය ප්‍රජාචාරය සංස්කෘතිය ආදී විෂයයන් බොහෝ දුරට පාසලෙන් බැහැර වීමේ විපාක අද භුක්ති විඳිමු. ගුරුවරු යනු මවුපියන්ට පමණක් දෙවන තැන ගන්නා අයයි. එසේ නම් ඒ ගුරුවරයා විෂය ගැන ඉගෙන ගන්නා ළමයා පිළිබඳව පමණක් නොව තමා ගැනද හරි අවබෝධයකින් ක්‍රියා කරන්නෙකු වියයුතුය. සදාචාර ගති සම්පත් වලින් යුතු ආදර්ශ සම්පන්න ගරු පැවැත්ම තුළින් දහස් සංඛ්‍යාත දරුවන් උසස් පුරවැසියන් බවට පත් කළ හැකි වෙයි.

ආගමට ලැබෙන්නේ පාසල් විෂය මාලාව තුල ඉතා සුවිශේෂී ස්ථානයක්. විශේෂයෙන් බුද්ධ ධර්මය විෂය තම ගැටලු ළු විසඳා ගනිමින් සාර්ථක ජීවිතයක් උදාකර ගැනීම සඳහා වඩාත් යෝග්‍ය ලෙස උපයෝගී කර ගැනීමට මඟ පෙන්වයි.

රටක් යහපත්ව පවත්වාගෙන යාමට පනවා ඇති රාජ නීති පමණක් ප්‍රමාණවත් නොවන බව විමසිලිවත්ව බලන විට පෙනී යයි. මිනිසුන් මැරීම සොරකම් කිරීම ස්ත්‍රී දූෂණ ආදී වැරදි ක්‍රියාවන් සඳහා බරපතළ දඬුවම් පැමිණවීමට නීති තිබුණත් ලෝකය කිසිදු රටකින් එවැනි වැරදි තුරන් නොවීමෙන් ඒ බව තහවුරු වෙයි. මේ බව තේරුම් ගත් ශ්‍රී ලංකාවේ අතීත පාලකයෝ ධර්මානුකූලව ජීවත් වන ගමන් ධර්ම නීතිය ද උපයෝගී කර ගනිමින් රාජ නීති ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත්තා

පන්සිල් මැනවින් රකින සියලු ජන කොටස් අතර තිරසර සමගිය උදා කරන නිදහස් ආර්ථික සංවර්ධනයක් ඇති කරන ලද ධර්මද්වීපයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා නිවස.. පන්සල… පාසල… හා රජය… යන ස්ථාන 4 අතර ඒකාබද්ධ කොට සදාචාර බලකඳවුරු තර කිරීම සඳහා බෞද්ධ සහෝදරත්වයෙන් අපි ඇප කැප වෙමු.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X