පාපී සිතිවිලි වල විපාක බොහොම සැරයි
මාරයාගේ ස්වරූපය අප තුළ ක්‍රියාත්මක වන්නේ ක්‍රෝධය ලෙසට.
ක්‍රෝධය මාරයා වැනිය යනු මෙහි සරල අදහසයි. එම මාරයා හෙවත් ක්‍රෝධය සිතට ඒම නැති කළ හැක්කේ, වැළැක්විය හැක්කේ තම සිත තැන්පත් කර ගැනීමෙන් පමණයි.සංවර හා සංසුන් කර ගැනීම හිත නිවා ගැනීමට උපකාර වෙනවා…
ක්‍රෝධයේ විපාකයන් දකිමින් නුවණැසින් ක්‍රියා කිරීම අවශ්‍යම දෙයක්.උත්සාහයෙන් හා වීර්යයෙන් යුක්ත ව සම්‍මා දෘෂ්ටිය හෙවත් යහපත් දැකීමක් සහිත ව කටයුතු කිරීමත් ඉතා වටිනවා…
එසේ ම ක්‍රෝධ කිරීමෙන් ඇති වන ආදීනවයන් සැලකිල්ලට ගනිමින් එයින් වෙන් ව කටයුතු කිරීම කල යුතුයි..
පුහුදුන් සත්ත්වයන් ලෙස ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි අයහපත් මානසික ක්‍රියාකාරීත්වයන්, සිතිවිලි නිරන්තරයෙන් අපගේ සිතෙහි ඇති වුවත්, එම සිතිවිලිවලට අනුව අප ක්‍රියාත්මක නොවී ඒවායේ බරපතලකම, විපාකයන්ගේ වේදනාකාරීත්වය පිළිබඳ අප සිතන්නේ නැතිව සිටීම නවතා දැමිමටද අපට නිවීම අවශ්‍යමයි…
මිනිසුන්ට පමණක් නොව, අපා – දෙපා – සිව්පා හා බහුපා ආදී පෙනෙන – නො පෙනෙන සියලු සත්ත්වයන් කෙරෙහි බොහෝ අවස්ථාවල වෛරයෙන් හා ක්‍රෝධයෙන් අපි කටයුතු කරමු. එලෙස කිරීමෙන් වන ආදීනවයන් පිළිබඳ කිසිලෙසකින්වත් තැකීමක් කරන්නේ නැත. ක්‍රෝධ කිරීම තුළින් පුද්ගලයාට සිදුවන අනර්ථය අප මනා සිහියකින් අවබෝධ කර ගෙන සිත මෛත්‍රීයෙන් පුරවා ගත යුතු ය.
වරෙක කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මේ ලෝකයේ සත්ත්වයාගේ විපත පිණිස, අහිත පිණිස, දුක් පිණිස හේතු වන කරුණු කීයක් තිබේ දැයි විමසා සිටියේය.
ඒ වේලාවෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්ත්වයාගේ අහිත පිණිස, දුක් පිණිස, විපත පිණිස හේතු වන කරුණු තුනක් පවතින බව.” එනම්,
පුද්ගලයා තුළ හටගන්නා ලෝභය,
පුද්ගලයා තුළ හටගන්නා ද්වේෂය
හා පුද්ගලයා තුළ හටගන්නා මෝහයයි.
මේ කරුණු අනුව යම් පුද්ගලයෙක් ලෝභ, ද්වේෂ හා මෝහයෙන් වඩනා ලද සිත් ඇති ව කටයුතු කරයි නම්, ඒ හේතුවෙන් එම පුද්ගලයා දුකට පත් වන බවත්, එසේ කටයුතු නො කිරීම හේතුවෙන් එය යහපත පිණිස, හිතසුව පිණිස, සැප පිණිස හේතු වන බවත් බුදුරජාණන් වහන්සේ වැඩි දුරටත් දේශනා කලා.
පුද්ගලයාගේ ජීවිතයේ සමෘද්ධිමත් භාවය පිණිස, යහපත් අර්ථ සහිත බව පිණිස කිසිවෙකුටත් වෛර නො කළ යුතු ය. ඊර්ෂ්‍යා නොකළ යුතු ය. නින්දා නොකළ යුතු ය. ක්‍රෝධ නො කළ යුතු ය. මෛත්‍රිය වැඩිය යුතු ය. බුදුරජාණන් වහන්සේ අපට පෙන් වූ මාවත එයයි. ක්‍රෝධයෙන් මිදීමේ පිළිවෙත එයයි.
එසේ ම ක්‍රෝධය යනු නිවන වළකන බාධකයකි. නිවනින් අප ඈත් කර තබන්නේ මෙම ක්‍රෝධය යි. බුදුරජාණන් වහන්සේ මෙය තේරුම් කර දීමට ලස්සන උපමාවක් දේශනා කර තිබෙනවා.
ඒ අනුව ක්‍රෝධය විෂ මුල් ඇති හා මිහිරි අග ඇති ගසක් වැනි ය. විෂ මුල් කියන තරහින් තමා මේක පෝෂණය වන්නේ. පළිගැනීමෙන් තමා සතුටු වෙන්නේ. කුමන දෙයක් කර හෝ පළිගැනීම එක ම අරමුණ වේ. එය අපගේ අනර්ථය පිණිස, දුක් පිණිස හේතු වන අකුසල කාරකයකි.
එම නිසා ක්‍රෝධයෙන්, වෛරයෙන් මිදෙන්නට අප අපාය භය සිහි කළ යුතු ය. ක්‍රෝධය මුල් කර ගෙන මම නිරයේ මේ වන විට කොයි තරම් නම් දුක් විඳලා ඇති දැයි සිතිය යුතු ය. අනාගතයේ ක්‍රෝධ කිරීම නිසා කොයි තරම් දුක් විඳින්න සිදුවේ දැයි කල්පනා කළ යුතු ය. එවිට අපට ක්‍රෝධයෙන් මිදිය හැකි ය.
බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටියා එක්තරා කරණවෑමියෙක්. ඔහු වයසට ගොස් තම දරුවන් දෙදෙනා ද සමඟ පැවිදි වුණා.
දවසක් මෙම භික්ෂුවට අවශ්‍ය වුණා බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරන්න. ඒක නිසා තම දරුවන් දෙදෙනා ද කරණවෑමි කටයුතු දන්න නිසා දරුවන් දෙදෙනා ගම්වලට පිටත්කර හරිනව කොණ්ඩෙ කපලා මුදල් සොයා ගෙන එන්න කියලා.
මිනිසුන් ද මුදල් දීලා පොඩි හාමුදුරුවරු දෙදෙනාගෙන් කොණ්ඩෙ කපා ගත්තා. මුදල් සොයා ගෙන ආවට පස්සේ එම මුදල්වලින් දානය පිළියෙළ කරලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න සූදානම් වුණා. දානයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ එම භික්ෂුවගෙන් ඇසුවා කොහොමද මේ දානය පිළියෙළ කළේ කියලා.
ඒ වෙලාවේ අර භික්ෂුව සියලු විස්තර බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳ දෝෂාරෝපණයන්, අප්‍රසාදය දක්වා දන් නො වළඳා ම නිවසින් පිට ව ගියා. ඒ පිළිබඳ අර මහලු භික්ෂුව වෛරයක්, ක්‍රෝධයක් ඇති කර ගත්තා.
එම මහලු භික්ෂුව තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිය දී අභද්‍ර වචනය ප්‍රකාශ කළ සුභද්‍ර භික්ෂුව. එම මහලු භික්ෂුව කොයි තරම් වෛරයකින් හා ක්‍රෝධයකින් පසු වුණා ද කියන එක එම ප්‍රකාශයෙන් ම පැහැදිලි වෙනවා.
“අලං ආවුසො මා සොවිත්ථ. මා පරිදෙවිත්ථ. සමුත්තා මයං තෙන මහා සමණෙන…”
මහණෙනි ශෝක කරන්න එපා. වේදනාවට ලක් වන්න එපා. මෙය කරන්න, මෙය නො කරන්න යැයි අපට නීති පැන වූ ඒ ශ්‍රමණයන් වහන්සේගෙන් අපි මිදුණෝ වෙමු. අපට කැමැති යමක් දැන් අපට කළ හැකි ය. අකමැත්තක් නො කළ හැකි ය.
ක්‍රෝධයේ ලක්ෂණය මෙය යි. තමාගේ ශාස්තෘවරයන් වහන්සේගේ පිරිනිවීම පවා සතුට දනවන කරුණක් බවට පත් කර ගන්නේ මෙම ක්‍රෝධයේ ඇති පහත් නිවට නියාලු ගතිය මොනවට පැහැදිලි කරමිනි.
මෙවැන්නකුට සසර ගමනින් මිදීම අතිශය අපහසු ය.
එසේ ම අප සිත් තුළ නිදන්ගත ව ඇති ක්‍රෝධය බැහැර කිරීම සඳහා නිහතමානී වීම ද අත්‍යවශ්‍ය ය. මානයෙන් තොර ව කටයුතු කරන්නේ නම්, එවැනි අයකුට වෛර, ක්‍රෝධ සිතිවිලි ඇති වන්නේ නැත. ශාන්ත සිතක් ඇති කර ගත හැකි ය. එසේ නො කළ හොත් නූපන් ක්‍රෝධය වැඩෙයි, උපන් ක්‍රෝධය වැඩි දියුණු වේ. එබැවින් ක්‍රෝධය පසෙකලා නිහතමානී ව මෛත්‍රී පූර්වකව ක්‍රියා කිරීම කළ යුතු ය.
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood