Temples of Sri Lanka

පුද්ගලයෙක් වෙනස් කරන්න ධර්මයට පුලුවන්

අඳුරු කාමරයක් තුළ ඔබ තනිවී සිටී යැයි සිතන්න. එයට යම් පුද්ගලයෙක් ඇතුළු වූයේ නම් ඔහුව ඔබට නොපෙනේ. ඔහු හොරෙක් විය හැක. ඔහු ඔබ ආදරය කරන කෙනා විය හැක. ඒ පැමිණි කෙනා අනිවාර්යෙන් මේ දෙදෙනාගෙන් එක් අයෙක් වී නම්, ඔබට තවම ඔහු නොපෙනේ නම්…ඔබ සිත තුළ කවර සිතිවිල්ලක් ඇතිවේද ? සොරා නම් ඔබට බියක්, දුකක්, ඇතිවේ. ආදරය කරන කෙනා නම් ප්‍රීතියක් ඇතිවේ. නමුත් ඔබ තවම ඔහු හඳුනාගෙන නැත.

ක්ෂණයකින් විදුලි පහන දැල්වූ විගස ඔබ ඔහුව හඳුනා ගනී. ඒ හඳුනා ගැනීමත් සමඟම අති වේගයෙන් ඔබට වේදනාවත්, සංස්කාරත් නැවත නැවත විඥාණත් හට ගනිමින් වේගවත් ක්‍රියාවක නිරතවෙයි. ඒ පැමිණි පුද්ගලයා කිසිවක් කරන්නේ නැති නමුත් , ඔබ සිත තුළ ඒ හඳුනාගැනීමත් සමඟම ජනිතවන අනෙකුත් වේදනා, සංඥා, සංස්කාර , විඥණයන්ගේ ක්‍රියාව නිසා ඔබ සිතින් බොහෝ දුර යයි.
ඔබ කළුවරේ සිටියදී පැමිණි පුද්ගලයා හඳුනාගැනීමක් සිදු නොවුණ නිසා ඒ කිසිඳු සංස්කාරයක් ඒ ආකාරයෙන් ජනිත නොවුණි.
නමුත් ඒ පුද්ගලයා එතන සිටියේය. නමුත් ඔබ සිතින් දුර නොගියේය. වෙනස වූයේ ඔබ හඳුනාගැනීම පමණි.

සංඥා ස්කන්ධයේ ක්‍රියාවලිය යම්තාක් මේ උදාහරණයෙන් සරලව එසේ දැක්විය හැක. ඔබ මේ ජීවීතයේත්, සසර පුරාත් සිතට කවන ලද සංඥාවන් බොහෝමයකි. එය සත්‍ය වශයෙන්ම පවතින්නක් නොව, මනසේ ක්‍රියාවක් පමණි.

ඔබ ඉදිරියට කෙනෙක් පැමිණෙයි. ඔබට ඔහු පිළිබඳ විශේෂ හැඟීමක් ඇති නොවෙයි. නමුත් ඔහු ඔබට මතක් කර දුන්නොත්, මම අසවලා ඔබේ කුඩා කාලයේ මිතුරා ආදී ලෙසින්. ඒ හඳුනාගැනීමත් සමඟම ඔබ සිත තුළ වේදනාව, සිතිවිලි ජනිත වන ආකාරය දකින්න. ඔබ හඳුනාගැනීමට පෙරත් එම පුද්ගලයා ඔබ ඉදිරියේ සිටියේය. ඔබට සිනා වුණි. නමුත් ඔබට දැන් ඇතිවූ ප්‍රීතිය, සිතිවිලි ඇති නොවුණි. සංඥා ස්කන්ධයේ ක්‍රියාවත් , ඒ නිසාම ඒත් සමඟම ඇතිවන අනෙකුත් ස්කන්ධයන්ගේ ක්‍රියාවත් ඔබට සරලව මෙසේ විමසිය හැක.

සත්‍ය වශයෙන්ම නොපවතින, එහෙත් අප විසින් පුරුදු කරන ලද සංඥාවන් නිසා මෙලෙසින් කෙලෙස් ජනිත වන අයුරු අවබෝධ කරන්න. සත්‍ය වශයෙන්ම සත්වයෙක්, පුද්ගලයෙක් ආත්මයක් වශයෙන් පවතින දෙයක් නොමැති, එහෙත් අපගේ මුලාව හේතුවෙන්ම ඒ ආකාරයෙන් හඳුනාගන්නා දේවල් නිසා, සිතේ ඇතිවන ක්‍රියාදාමය දකින්න.

එය සත්‍ය වශයෙන්ම පවතින්නක් නොව, එක් එක් අයගේ සිතේ ස්වභාවය අනුවම ගොඩනගා ගන්නා දෙයකි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප සිත් තුළ පවතින සංඥාවත්, අන්‍ය ආගමිකයකුගේ සිතේ පවතින සංඥාවත් වෙනස්ය. ඒ හේතුවෙන්ම වෙනස් වූ වේදනාවන්, සිතිවිලි ජනිත වේ. නමුත් බුදුගුණයන්හි වෙනසක් නැත. වෙනස වූයේ එක් එක් කෙනා හඳුනාගත් ආකාරය පමණි.

කුඩා කාලයේදී අපට ” අම්මා” යන වචනයත් සමඟ ඇතිවූ සංඥා වෙනස්ය. අපට ආදරය කරන, කවන පොවන නාවන, ළඟින්ම සිටිනා කෙනාය. අප මුහුකුරායත්ම අම්මා යන අර්ථය ඊට වඩා වෙනස් වේ. ඇතැම් විට අපත් ඒ අත්දැකීම් ලබත්ම , අප වඩා ගැඹුරින් “අම්මා” දකිමු. ඇය කරන ලද කැපකිරීම්, දරාගැනීම්, දුක් වේදනාවන් ආදිය අපට අවබෝධ වත්ම ළඟින් නොසිටියත් ඒ එන සංඥා වඩාත් පෘථුල වේ. කෙසේ වෙතත් අපගේ මානසික මට්ටම් වල වෙනස් වීම් මත හඳුනා ගැනීම් වෙනස් වේ. ඒත් සමඟ බැඳුණු අනෙකුත් සිතිවිලිද එවිට වෙනස් වේ.
කුඩා කල අප ඉල්ලන දෙයක් නොදුන් විට අම්මා කෙරෙහි තරහ ගන්නා අප, වැඩිවියට පත් වූ විට දේවල් අවබෝධ වත්ම ඇතැම් විට ඒ ඉල්ලීම් පවා නොකරයි. කිසිඳු තරහක් ඇති නොවේ. අම්මා වෙනස් වූවා නොව , අප වෙනස් වූවා පමණි. අප සිතේ ස්වභාවය වෙනස් වූවා පමණි. අපේ සංඥාව වෙනස් විය. මෙසේ බලද්දී සංඥාව යනු තමන්ගේ සිතේම පවත්නා දෙයක් බව අවබෝධ වේ. එය බාහිර ලොව තුළ නොපවතී. බාහිර ලොව තුළ පවත්නා දෙයක් නම්, විවිධ අයට එකම දේ කෙරෙහි විවිධ සංඥා ඇතිවිය නොහැක.

අප මනසින් දුක් විඳින බොහෝ දේ අප සිතන ආකාරය සුළුවෙන් වෙනස් කරගත් විට සම්පූර්ණයෙන්ම එම දුක නැතිවේ.
අප යම් යම් දේවල් වැඩිය යුත්තේ එබැවිනි. නිතරම තරහ එන කෙනෙක් පිළිබඳව අප මෛත්‍රිය වැඩුවහොත්, ඔහු වෙනස් නොවූවද, අපට ඔහු ගැන තරහ වෙනුවට මිතුරු සිතිවිලි ඇතිවේ. නිතරම රාගය දනවන ලස්සන රූපයක් කෙරෙහි, අප අසුභය වැඩුවහොත්, නැතහොත් ධාතු මනසිකාරය වැඩුවහොත් පෙර ඇතිවුණු හැඟීම් ඉඳුරාම වෙනස් වනු ඇත. එය බාහිරය වෙනස් කිරීමෙන් නොව , අපේ සිත වෙනස් කිරීමෙන් වූවකි.

ධර්මය යනු එයයි. බාහිර ලෝකය බාහිරයෙන්ම පැවතුණාවේ. අප අපේ සිත වෙනස් කරගන්නට වීර්යය වැඩිය යුතුය. පළමුවෙන්ම අප අවබෝධ කරගත යුත්තේ සියළු සැප , දුක් , තරහා, රාග, ඊර්ෂ්‍යා බාහිර ලොවේ දේවල් නොව, තමාගේ සිතේ පවතින කෙලෙස් බවයි.

ධර්මය යනු තනිකරම තමන් වෙනස් වීමකි. ඇතැම් අය පවසන්නේ , මේ තරම් බණ භාවනා කළත්, කරදර එනවා නේද යනුවෙනි. ලෝක ස්වභාවය අපට වෙනස් කළ නොහැක. ඉපදුණා නම් අප දුක් විඳිය යුතුය. නමුත් ඒ දුක් වලට මුහුණ දෙන ආකාරය පමණක් අපට වෙනස් කරගත හැක. ධර්මයෙන් සිදුකරන්නේ එයයි. ධර්මය යනු ඔබට දුක් කරදර පැමිණීම වළක්වන විජ්ජාවක් නොවේ.
නමුත් එය සැබවින්ම විජ්ජාවකි. එය මෙලොව කිසිවෙකුටත් දෙවෙනි කොට නොසැලකිය හැකි විජ්ජාවකි. පෙර තරහ, ලෝභ, රාගය, ඊර්ෂ්‍යාව, තිබූ සිත මොන තරම් කරදර, අරමුණු ආවද ඒවා ඉදිරියේ කිසිදු දුකක්, පීඩාවක් නැති තැනට, කිසිඳු රාගයක්, ද්වේෂයක් , ඊර්ෂ්‍යාවක් , බයක් හට නොගන්නා තැනට පත්කළ හැක්කේ ධර්මයට පමණි. එය කිසිඳු දෙවියකුට, බ්‍රහ්මයකුට, මාරයකුට කිසිඳා යළි වෙනස් කර නොහැකි දෙයකි.
ධර්මයේ මහානුභාව සම්පන්න බව එයයි.
සතර දෙසින් හමන මේඝයට නොසැලී පවත්නා ඉන්ද්‍රඛීයලක් ලෙසට මේ සිත හදා දෙන්නේ ධර්මයෙන් පමණි.
එවැනි වූ අති පිරිසිදු ධර්මයක් වෙනුවෙන් ඔබ ලෞකික ජීවීතයේ මොනතරම් දේවල් කැපකළඳ ඒ ගැන කිසිඳා පසුතැවීමක් ඇති නොවේ.
මන්දයත් කිසිවෙකුටත් නොබිඳිය හැකි පරම සතුට ඔබ උදාකරගෙන සිටින බැවිනි..

හඬන වැළපෙන, දැවෙන තැවෙන මිරිකෙන, බියෙන් සලිත වන ලොව තුළ…නිවී සැනසී නොසැලී සිටින… සත්‍ය අවබෝධ කරගත් පුද්ගලයකු වන්න.
මේ ලද ජීවීතය තුළ ගතවන කිසිඳු මොහොතක් අපතේ නොයවන්න..
සියලු දේ තණ අඟ රැඳි පිණි මෙන් නැසී වැනසී යන ලොව තුළ ස්ථිරසාර සාමයක් උදාකරගත් පිරිසිදු සිතක් ඇත්තෙකු වන්නට….ඔබේ මේ වටිනා ජීවීතය කැපකරන්න…!

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X