ටිබෙට් වැසියන් අති උත්කර්ෂවත්ව සමරන අලුත් අවුරුද්ද (ලොසාර් ලෙසද හැඳින්වේ) පසුගිය පෙබරවාරි 28 වැනිදායින් ආරම්භ වුණි.
එය ටිබෙටයේ ප්‍රධානතම උත්සවවලින් එකක් ලෙස සැලකෙන අතර නව වසරේ ආරම්භය සහ අස්වැන්න නෙළන සමය සිහිගැන්වීමට මෙම උත්සවය යොදා ගනියි.
ටිබෙටයට අමතරව ඉන්දියාව (විශේෂයෙන් සිකිම් ප්‍රාන්තයේ), නේපාලය සහ භූතානය ඇතුළු හිමාලය ආසන්න රටවල ලොසාර් උත්සවය සමරනු ලැබේ.
මෙම අලුත් අවුරුදු සැමරීම දින 15 ක් ( පෙබරවාරි 28 සිට මාර්තු 14 දක්වා) පවතින අතර, අලුත් අවුරුදු උදාව සහ ප්‍රධාන සැමරුම් සිදු කරන්නේ පළමු දින් තුනෙහි දී ය.
මෙම ලෝසාර් උත්සවයේ දී විවිධ චාරිත්‍රයන් ද සිදු කෙරේ.
ඔවුන් අලුත් අවුරුද්ද සඳහා ආහාර පිසීමේ චාර්ත්රය අනුගමනය කරන අතර එහිදී
“ගුතුක්” නම් සාම්ප්‍රදායික නූඩ්ල්ස් ආහාරයක් සකසයි. එමෙන්ම විවිධ අමුද්‍රව්‍ය සහිත ඩම්ප්ලින්ග් නම් ආහාරය ද, ලුණු හෝ සහල් වැනි සුදු පැහැති ආහාර අමුද්‍රව්‍ය යොදා කළ ආහාරයන් ද මෙම උත්සවයේදී සකසයි. එමඟින් වාසනාව නිරූපණය කරයි.
එමෙන්ම “මොන්ලම්” ලෙස හඳුන්වන (ටිබෙට් භාෂාවෙන් “පැතුම් මාර්ගය”) ලාසා හි ඩ්‍රෙපුන්ග්, සේරා සහ ගාන්ඩන් ආරාමවල පවත්වන ශුද්ධ ලියවිලි ගායනා කිරීම, යාච්ඤා කිරීම සහ විවාද කිරීම් සිදු කරන උත්සවය ද වැදගත් ය. ටිබෙට් භික්ෂූන් වහන්සේලා විශ්වාස කරන්නේ ගායනා කිරීම සහ යාච්ඤා කිරීම ආදිය මඟින් සියලු ජීවීන්ට සතුට ගෙන දෙන බවත්, ටිබෙට් සානුව ආශ්රිත පෙදෙසට එමඟින් සාමය සහ සමෘද්ධිය ගෙන දෙන බවත් ය.
එමෙන්ම ටිබෙට් වැසියන් අවුරුදු සැමරීම අවසන් කරන්නේ ආලෝක උත්සවයක් පැවැත්වීමෙනි. නව වසරේ අවසාන දිනය දා මල්, සතුන්, දෙවිවරුන් සහ අනෙකුත් චරිතවල රූප යොදා ගෙන, කැටයම් කළ, බටර් ගැල්වූ, විවිධ පහන් කූඩු ප්‍රදර්ශනය කරයි. පහන් උත්සවය අතරතුර නැටුම්, ගායනා වැනි සංස්කෘතික හා කලාත්මක ක්‍රියාකාරකම් ද පැවැත්වේ.
රංගන ශිල්පීන් වෙස් මුහුණු සහ එම්බ්‍රොයිඩර් කළ වස්ත්‍ර පැළඳ, ගව සම් බෙර ආදී සංගීත භාණ්ඩ වාදනය කරමින්, ගායනා කරමින් නටති.
මෙලෙසින් ටිබෙට් වැසියන් අලුත් අවුරුදු සැමරීම ඉතා විචිත්‍රවත්ව සිදුකරති.